බිංගිරිය පාදක කොටගෙන ඉදි කරන ශ්‍රී ලංකාවේ විශාලතම අංග සම්පූර්ණ අපනයන සැකසුම් කලාපයෙන් වයඹ පළාත්වාසීන්ට පමණක් නොව මුළු මහත් රටටම ආර්ථික සමාජයීය ප්රතිලාභ රාශියක් අත්වේ. වයඹ පළාතේ දියුණුවට මහත් පිටුවහලක් වන ලෙස ඉදිවන බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන කලාපය පිළිබඳ සහ ඉන් අත්වන ප්රතිලාභ පිළිබඳ හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සමඟ කළ සාකච්ඡාවකි මේ.
ජනාධිපතිවරයා විසින් යෝජිත බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ජනාධිපතිතුමා විසින් වයඹ පළාතේ ආර්ථික දියුණුවට, සමාජ සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමට පුළුල් දැක්මක් ඇතිව ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස මෙය මා දකිනවා.
බිංගිරියේ දැනට ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාපයට අමතරව එහි පුළුල් වීමක් නව යෝජනාවෙන් සිදු වනවා නේද?
විශේෂයෙන්ම බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සහ ඒ අවට ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තමයි දැන් යෝජනා වී තිබෙන්නේ. ඒ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය පවා ලැබුණා. ඉඩම් අක්කර 157ක් සහ ඉඩම් 282ක් වශයෙන් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සංවර්ධනය වුණා. මීට අමතරව තුන්වැනි අදියර ලෙස මේ කලාපය සංවර්ධනය කිරීම නව යෝජනාවේ මූලිකත්වය ගත් කරුණක්.
ඒ සඳහා අක්කර 666ක් හඳුනාගෙන තිබෙනවා. මුලින්ම කුලියාපිටිය ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් කර්මාන්ත පුරයකට ගැළපෙන පරිදි සොයා දෙන්නැයි ජනාධිපතිතුමා මගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව දුම්මලසූරිය ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශ සොයා බැලුවා. අනතුරුව තමයි බිංගිරිය ප්‍රදේශය මේ සඳහා හඳුනා ගත්තේ.
බිංගිරිය පාදක කරගත් ඒකාබද්ධ සංවර්ධන සැලැස්මේ මූලික අරමුණ කුමක්ද?
මෙහි මූලික අරමුණ වයඹ පළාතටම පමණක් නොව ඊට යාබද පළාත්වලට පවා නව ආයෝජන රැගෙන ඒමයි. එමඟින් නව කර්මාන්ත, සේවා සහ තවත් විවිධ ක්‍රියාකාරකම් ආර්ථික වශයෙන් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට බලාපොරොත්තු වනවා. මෙහිදී ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර දීමට හැකියි.
මෙම සංවර්ධන කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගන්නෙ කොහොමද?
කර්මාන්ත හා ආයෝජන කලාප, පොදු පහසුකම්, ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කිරීම සඳහා රජය විශාල මුදලක් වැය කරනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස එම අංශ දියුණු කිරීමට ඉඩකඩ ලබා දෙනවා. මේ සියලු දේවල් සමඟින් දැනට වඩා විශාල සංවර්ධනයක් ප්‍රදේශයේම ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
වර්තමානයේ ක්‍රියාත්මක බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ක්‍රියාත්මක වන්නේ කෙසේද?
දැනටමත් එහි විශාල ප්‍රමාණයක් රැකියා උත්පාදනය කරමින් කර්මාන්ත කටයුතු සිදු වෙනවා. ලෝකයේ නම් දැරූ වෙළෙඳ නාම සහිත කර්මාන්ත එහි පිහිටුවා තිබෙනවා. මෑතකදී දකුණු ආසියාවේ නැතිනම් ආසියාවේ විශාලතම යැයි සැලකෙන ඖෂධ නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමට මුල්ගල තැබුවා. ඊට අමතරව ලෝකයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ඉහළම නම රැන්ඳූ ආයතනයක් සඳහා ද මුල්ගල තැබුවා. මෙවැනි ආයතනවල නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යොමු කිරීම, ඒ තුළින් විදේශ විනිමය මෙරටට ගෙන ඒම ඉලක්කයයි.
මෙම දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළට සංචාරක අංශය දියුණු කිරීම ඇතුළත් කර නැද්ද?
ඒ සඳහා විශාල ඉඩක් වෙන් කොට තිබෙනවා. යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට සමඟාමීව වයඹ පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන වැඩි දියුණුව සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඉරණවිල සහ හලාවත ප්‍රදේශ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩ නැඟීමට බලාපොරොත්තු වෙනවා.
මෙම කර්මාන්ත පුරයෙන් ආයෝජකයන්ට හිමිවන විශේෂ වරප්‍රසාද මොනවාද?
ග්‍රාමීය කර්මාන්තකරණයක් ඇති කිරීම සඳහා රජය හැකි තරම් ග්‍රාමීය වශයෙන් යටිතල පහසුකම් දියුණු කරනවා. එහි ප්රතිලාභ කර්මාන්තකරුවන්ට ලැබෙනවා. ඒ වගේම රජයේ විවිධ බදු දිරිගැන්වීම් සහ වෙනත් දිරිගැන්වීම් ද ආයෝජකයන් වෙනුවෙන් සිදු කරනු ලබනවා.
ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමක් ගැනත් සඳහන් වී තිබෙනවා නේද?
හලාවත ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක් ඉදි කිරීමටත් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සහ ඉරණවිල සංචාරක කලාපය සමඟ සම්බන්ධ කරමින් නව මාර්ගයක් ඉදි කිරීමටත් ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා. එය ඉතා වටිනා යෝජනාවක්.
මෙම සැලැස්මට අනුගත වීමට කැමැත්ත පළ කරන ආයෝජකයන් දිනා ගැනීමට රජය සූදානම්ද?
එක්සත් ජාතික පක්ෂ රජය වසර 1977දී මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. ඊට අමතරව ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපනයන සැකසුම් කලාප සහ නව ආර්ථික දැක්මක් ඇතිව ඒවා වැඩි දියුණු කිරීම පිළිබඳව විශාල පරිචයක් තිබෙන නායකයෙක්. එතුමාගේ දූරදර්ශී නායකත්වය තුළින් ආයෝජන දිනා ගැනීම අපහසු වන්නේ නැහැ. එම දැක්ම ඇතිව ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ තුළින් අපට වටිනා ආයෝජන අවස්ථා දිනාගත හැකියි.
ජයසිරි මුණසිංහ