Home » ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිගන්නවද නැද්ද යන්න තීරණය වන්නේ එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිගන්නවද නැද්ද යන්න තීරණය වන්නේ එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම්

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථීක පරිවර්තන පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කර තිබෙනවා. මේ ගැන ඔබේ පක්ෂයේ ස්ථාවරය කෙබඳුද?

මේ ගැන හරියටම දැන්ම කියන්න බැහැ; ආර්ථික පරිවර්තනයක් කිරීම සඳහා මේක අවශ්‍යයි කියලා හිතලා ගෙනාපු එකක්ද, ආර්ථික පුනර්ජීවනයට අත්‍යවශ්‍ය දෙයක්ද, නැත්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන් ගෙනාව එකක්ද කියන එක හිතන්න ඕන සහ බලන්න ඕන. මේ පනත අපි පක්ෂයක් හැටියට අපේ ආර්ථික කමිටුව හරහා අධ්‍යයනය කරන්න ඕන. එහෙම බලලා ඉදිරි සතියේ අපේ ස්ථාවරය රටට කියන්න බලාපොරොත්තු වෙනවා .

ආයෝජන මණ්ඩලය මේ මඟින් අහෝසි වන බවත්, ඒ වගේම ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවිමටත් රජය මින් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය මොකක්ද ?

ආයෝජන මණ්ඩලය ඇති කළේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ කාලෙ. ග්‍රේටර් කළම්ඹු ඉකොනොමික්ස් කොමිෂන් සභාව පටන් අරගෙන එය ආයෝජන මණ්ඩලය බවට පරිවර්තනය කළා. ලෝකෙ වෙනස් වෙනවා, ඒ වගේම ආයෝජකයන්ට ලබාදිය යුතු අවස්ථාවන් සහ රටට ආයෝජනයන් ගේන්නට කළ යුතු දේවල් වෙනස් වෙනවා. සමහර විට ආයෝජන මණ්ඩලයත් කාලයක් තිබුණු එකක් ඒක අලුත් කරන්නත් වේවි. ඒ අරමුණින් කරනවා නම් හොඳයි. ආයෝජන මණ්ඩලය පිළිබඳ විවිධ චෝදනා තියෙනවා. දැනට ආයෝජකයන් පැමිණි විට ඒ අයට අනුමැතියක් ලබා ගැනීමට ඩොලර් බිලියන ගණනක් ගෙනල්ලා අනුමැතියක් ලබා ගැනීමට ගියත් ඒ අයට ලේසියෙන් අනුමැතියක් ලබාගැනිමට නොහැකියි වෙලා තියනවා. බොහෝ වෙලාවට ඒ අයට සිද්ධ වෙනවා එක් එක් අයට කොමිස් ගෙවන්න. එවැනි චෝදනා දැනටමත් ඕන තරම් තියෙනවා. ආයෝජනයේ ප්‍රගතිය බලන විට ඩොලර් බිලියන එකහමාරක් දෙකක් තියෙන ඉතා සුළු ආයෝජන ප්‍රමාණයක් තමයි විදේශ ආයෝජන ලබාගන්නේ. වියට්නාමය වගේ රටක ඩොලර් බිලියන 200ක් 300ක් වගේ විදේශ ආයෝජන ලැබෙනවා. ඒ රටවලට සමාන්තරව ඒ මට්ටමට අපේ රට යන්න නම් අපි අලුතෙන් ක්‍රමවේද හොයන්නට ඕනෑ, නීති රීති ගේන්නට ඕන. මේවා පහසු කළ යුතුයි. මේ පනතේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් පැහැදිලිව තියෙනවා නම්; මෙය ධනාත්මක නම් රටට හොඳ විය හැකියි. දැනට මේ ගැන අපට කිසිවක් කිව නොහැකියි. අපේ ආර්ථික කමිටුව මේ ගැන හරියට බලලා පිළිගත යුතු කරුණු තියෙනවද නැද්ද තීරණය කරනවා.

මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට කුමනාකාරයෙන් බලපෑම් කරයිද . ඒ අයට විශාල අර්බුද කාරීතත්තවයක් ඇති කරයි කියලයි ඇතැම් පක්ෂ කියන්නේ.

දැන් පවතින ව්‍යුහය තුළ දේශීය ආයෝජකයන්ට බරපතළ බාධා තියෙනවා. අපේ රටේ ලොකු ව්‍යාපෘති ලොකු ආයෝජන විදේශිකයන්ගේ සහයත් අපට ඕනෑ කියලා පිළිගන්වා. මුළු ප්‍රාග්ධනයම ලාංකිකයකුට දරන්න බැරි නම් විදේශ ආයෝජන අපිට වටිනවා. ඒවාහි ප්‍රාග්ධන වියදම අඩු විය හැකියි. විදේශීකයන්ගෙන් අපිට ලැබෙන තාක්ෂණ දැනුම අපිට අවශ්‍යයි; නමුත් අපි විශ්වාස කරනවා ලංකාවේ ඕන තරම් දේශීය ව්‍යවසායකයින් ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපෘතීන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සුළං, විදුලි බල ශක්ති ක්ෂේත්‍රයේ සුළං බලාගාර ඇති කිරීමට, සෝලා බලාගාර ඇති කිරීමට ලංකාවේ අයට අවස්ථා තිබෙනවා. දැන් වුණත් ඒ අයට ලැබෙන්නේ නැහැ. මේ පනතෙන් එය පහසු කරනවද නැද්ද කියන එක අපි බලන්න ඕනෑ. ඒක පහසු කරනවා නම් ඒක හොඳයි. පහසු කරන් නැත්නම් ඒක ප්‍රශ්නයක්. මේ පනත හොඳයි හෝ නරකයි කියලා අපිට පූර්ව නිගමනයකට එන්න බැහැ රට ගැන හිතලා තමයි මේ ගැන ප්‍රකාශයක් ඕන.

මෙම පනත් කෙටුම්පත ගේන්නේ ආයෝජකයන් සමඟ මීට පෙර කිසිදු විමසීමක් සිදු නොකර බව කියනවා .

දේශීය ආයෝජකයන්ට මෙය අනතුරුදායකයි කියලා දකිනව නම් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ප්‍රධානීන් සහ ආයෝජකයන් සහ ආයතන ප්‍රධානීන්ගේ මතය ඉදිරියේදී කියයි. ඒ අයට ප්‍රශ්නයක් තියෙනවද කියලා කියලා එහිදි හෙළිදරව් වෙයි.එතකොට එහිදි අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවාද නැද්ද කියලා.

1978 අංක හතර දරන ජාතික ආයෝජන මණ්ඩල පනත මේක නිසා ඉවත් වීමක් සිදු වෙනවා නේද, ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස…

පනත් කෙටුම්පත් නිතර නිතර ඉවත් කර අලුත් පනත් රටට ගේනවා. ව්‍යවස්ථාවන් පවා අලුතින් ගේනවා. ඉවත් කරන එක මොනවා හරි අඩුපාඩුවක් නිසා ඉවත් කරනවා නම් ගේන එක ඊට වඩා ප්‍රගතිශීලී විය යුතුයි.

අපි හැම වෙලේම අලුතෙන් හිතන පක්ෂයක්, අභියෝගයන් එක්ක අපි ඉන්නවා .පරණ විදිහට ගියපු නිසා තමයි අපි බංකොලොත් වුණේ. අපි නිතරම මතක් කරන්නේ කුමාරතුංග මුනිදාස සූරීන්ගේ අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී යන්න. අලුත් වෙන්න අපි බය නැහැ. හැබැයි අලුතෙන් ගේන පනත් කෙටුම්පත කණ්ඩායමකට වාසි වෙන ආකාරයෙන් ගේන නීතියක්ද පනතක්ද නැත්නම් සමස්ත රටට දායක වන එකක්ද යන්නයි සොයා බැලිය යුත්තේ.

ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා IMF ඇතැම් කොන්දේසි ක්‍රියාත්මක කිරිමටයි මේ පනත ගෙනත් තියෙන්නේ කියලා …

ඒක නියමාකාරයෙන් අධ්‍යයනය කළ පසු අපට පැහැදිලි වෙයි. මෙ පනත් කෙටුම්පත . IMF එකේ න්‍යාය පත්‍රයක්ද අපේ රටේ න්‍යාය පත්‍රයක්ද කියන එක. IMF එකේ න්‍යාය පත්‍රයක් නම් අපි කිසිම දවසක ඒකට යටත් වෙන්නේ නැහැ. IMF එක වුණත් මාර්ගෝපදේශකයෙක් හැටියට ඉන්නවා; මිසක් ඒ අයට අයිතියක් නැහැ, රටකට බලපෑම් කරන්න. මම හිතන්නෙ නැහැ IMF එක එහෙම කරයි කියලා. . IMF. එකට වඩා අපේ රටේ විශේෂඥයන්ට මේ රටේ දියුණුව තකා ගන්න ඕන පියවරයන් සම්බන්ධයෙන් දැනුම ඊට වැඩියි. සමස්තයක් වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති න්‍යායන් ගත් විට ඒ න්‍යාය හෝ ප්‍රතිපත්ති ගළපවා ගන්න පුළුවන් දේශිය ආර්ථිකයකට ඒ රට තුළ තියෙන ලක්ෂණ මත රට තුළ තියෙන සම්පත්, රට තුළ තියෙන දේශපාලන ව්‍යුහය මත. ජනතාවගේ නිපුණතා මත. ඒ නිසා IMF කියන ඔක්කොම අපිට කරන්න බෑ. IMF එක දෙන උපදෙස් වැදගත්, ගත යුතු තැන් සහ ගත නොහැකි තැන් තියෙයි. ඒ නිදහස රටේ රජයට තියෙන්නට ඕනෑ.

මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණහොත් අධිකරණයට යෑමේ සීමිත ඉඩකඩක් තියෙන්නේ කියලා ඇතැම් අය කියනවා…

මම විශ්වාස කරනවා කලිනුත් පනත් කීපයක් අපේ අධිකරණයට ගිහිල්ලා අපට පුළුවන් වුණා ඒවා නවත්වන්න සහ සංශෝධනය කරන්න. මහ බැංකු පනතේ වගන්ති කීපයක්ම අධිකරණයෙන්ම ඉවත් කළා. මං හිතනවා අපේ අධිකරණයෙන් සාධාරණයක් ඉටුවෙයි කියලා. එහි මොනවා හරි තියෙනවා නම් අපිත් අධිකරණයට යා යුතුද නැද්ද කියන එක තීරණය කරනවා.

මේ පනත හමුවේ රට හැර නොගිය ආයෝජකයන් රට හැරයාමේ තත්ත්වයක් ඉදිරියේදි ඇති වෙතැයි ඇතැම් අය කියනවා…

ඔය දේවල් කියන්නේ විදේශ ආයෝජකයන්ට විරුද්ධ වුණ අය. ඒ අයනේ කිව්වෙ ඒ අය එළවන්න කියලා.එක කාලෙක ඒ අයගෙ සටන් පාඨ වුණේ විදේශිකයො ඔක්කොම පන්නන්න ඕනැ කියලා. ඒ ගොල්ලො එහෙනම් ඉහළින්ම කැමති වෙන්න ඕනෑ. ඒ විදේශ ආයෝජකයෝ මේ පනත නිසා යනවා නම් මේ පනතින් යවන්න ලේසියි කියල හිතනවා නම් අත් දෙකම උස්සලා කැමැති වෙන්න ඕන. ඒ අය හිටියෙ ඒ ස්ථාවරයේ. ඒ අයගෙ සමාජවාදී ප්‍රතිපත්ති තියෙන්නේ කියලා ඒ පක්ෂයේ නායකයො කියනවනෙ.

මේ පනත මඟින් ආර්ථික පරිවර්තනයක් ඇති වෙනවා කියල ඇතැමුන් කියනවා. ඒ ගැන මොකද කියන්නෙ?

අනිවාර්යයෙන්ම ආර්ථික පරිවර්තනයක් රටේ සිද්ධ විය යුතුමයි. හැබැයි මේ පනත හරහා එය සිදු වෙයිද කියන්න මා දන්නෙ නැහැ. ඒකට අපි තවම කියන්න ඉක්මන් වැඩියි. ඒ ගැන හරියට කියන්න බැහැ. ආර්ථික පරිවර්තනය අනික් පැත්තට වෙයිද දන්නෙ නැහැ. ආර්ථීකය ආපස්සට යයිද ඉදිරියට යයිද කියන එක දන්නෙ නෑ. එනිසා මෙය හිතල බලල කියන්න ඕනැ. අපි දේශපාලන වාසියට හෝ ජනප්‍රියතාවයට හෝ ප්‍රතිත්ති වෙනස් කරන අය නොවෙයි. පක්ෂයක් හැටියට අපි යම් යම් ස්ථාවරයන්හි ඉඳලා තියනවා. ප්‍රතිපතත්ති හොඳ නම් එය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන ස්ථාවරයේ අපි හැමදාම ඉඳලා තියෙනවා. අපි . IMF. එක ගෙනා හොඳ යෝජනා ක්‍රියාත්මක කරන්න කිව්වා. යහපාලනය ඇති කරන්න දූෂණ විරෝධී පනත් ගේන්න බල කළා රජයට. රජයත් එවැනි පනත් ගෙනත් සම්මත කර තිබෙනවා.තව සමහර ඒවා සම්මත කරන්න යනවා. හොරාකාපු සල්ලි ආපහු ගේන්න පනතක් ගේන්න නියම වෙලා තියනවා. ඒවා හොඳ දේවල්. අපි හොඳ දේවලට අත උස්සනවා කැමැත්තෙන්. සමහර දේට අපි එකඟ නෑ. මේ පනතත් හොඳ නම් අපි අත උස්සලා කැමැත්ත ප්‍රකාශ කරනවා නරක නම් විරුද්ධතාවය පෙන්වනවා. එසේ නැතිනම් එවැනි දේට විරුද්ධව සංශෝධනය කරන්න කියනවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division