Home » මෙවර ෆෝබ්ස් සඟරාවේ 30න් පහළ 30 ආසියානු ප්‍රබලයන්ගේ ලැයිස්තුවට තේරුණු අපේ ඩිනාරා

මෙවර ෆෝබ්ස් සඟරාවේ 30න් පහළ 30 ආසියානු ප්‍රබලයන්ගේ ලැයිස්තුවට තේරුණු අපේ ඩිනාරා

ඩිනාරා පුංචිහේවා

by thanushika
May 25, 2024 12:30 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදයේ ෆෝබ්ස් සඟරාව මඟින් ක්ෂේත්‍ර දහයක දක්ෂතා කේන්ද්‍ර කොට ගෙන 2024 වසරේ ලැයිස්තුගත කරන ලද ආසියාවේ 30න් පහළ 30 ලැයිස්තුවේ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයෙන් ප්‍රථමයා ලෙස ශ්‍රී ලංකාවේ රංගන ශිල්පිනියක වන ඩිනාරා පුංචිහේවා තෝරා ගෙන තිබීම ශ්‍රී ලාංකේය අපට මහත් ආඩම්බරයකි. ගාඩි, සහෝ සහ ආසු යන ජාත්‍යන්තරයේ අවධානයට ලක්වූ සිනමා නිර්මාණ ත්‍රිත්වයේම ප්‍රධාන භූමිකාව හරහා රංගනයෙන් දායකවුණු ඩිනාරා දෙස් විදෙස් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේගේ ගාඩි සිනමා නිර්මාණය වෙනුවෙන් ලබාදුන් දායකත්වය උදෙසා මෙම ඇගැයීම් සම්මානය ලැබුණු බව ඇය අප හා එක්වෙමින් කියාසිටියාය.

“ෆෝබ්ස් කියන්නෙ අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ලොකු ආයතනයක්. ඒ ආයතනයෙන් වාර්ෂිකව පළ කරන ෆෝබ්ස් සඟරාව ලෝකයම පිළිගත් සඟරාවක්. හැම වසරකම ඔවුන් විවිධ ක්ෂේත්‍ර 10ක් පදනම් කරගෙන ඒ ඒ ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වපු 10 දෙනෙක් තෝරනවා. 2024 වසරේ විනෝදාස්වාදය සහ ක්‍රීඩා කියන අංශයෙන් මාව තෝරාගැනීම ගැන නිහතමානීව ආඩම්බර වන අතරම තාම අත්දැකීම් ලබමින් යන කෙනෙක් විදිහට මාව තෝරාගැනීම සම්බන්ධයෙන් මං ෆෝබ්ස් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ප්‍රසන්න විතානගේගේ ගාඩි සිනමා පටය හරහා ජැජ් පැනල් එක බලාපොරොත්තු වුණු තරමේ රංගනයක් මා වෙතින් දකින්න ඇති කියලා මං හිතනවා. ඔවුන් ගාඩි ගැන තමයි විශේෂයෙන්ම කතා කරල තිබුණේ. ඒ වගේම ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට මං මගේ ‘පුංචි ඇක්ටර්’ ඇකඩමිය හරහා නොමිලේ පවත්වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු ගැනත් ෆෝබ්ස් ආයතනයේ විශේෂ අවධානය යොමු වෙලා තිබුණා. මීට මාසෙකට විතර කලින් මං නාට්‍ය හා රංග කලාව ගැන පොතක් ලියලා භාෂා තුනෙන්ම පරිවර්තනය කරලා එම්.ජි.ඕ. හරහා ලංකාව පුරා ඉන්න දරුවන්ට නොමිලේ බෙදලා දුන්නා. වැඩමුළු කරන විදිහ, පොඩි පොඩි එක්සසයිසස්, වේදිකාවේ රඟපාන්නෙ කොහොමද මෙන්න මේ වගේ දේවල් තමයි ඒකෙ අඩංගු වුණේ. මං ඉගෙන ගත්ත දේ, මගේ හැකියාව මං අනෙක් අයට බෙදලා දෙන්නෙ සමාජ සේවයක් විදිහට.

මේක මට ගොඩක් විශේෂයි. ඕනෑම කෙනෙකුට පෞද්ගලිකව තමන් ගැන ලැබෙන ඇගැයීම ගොඩක් වටිනවා. මෙතෙක් කල් මං දායක වුණු නිර්මාණ කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය යොමු වුණාට පෞද්ගලිකව මං ගැන ඇගැයීමක් කළ පළමු අවස්ථාව. මේ ඇගැයීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මගේ නම යටින් ශ්‍රී ලංකා කියල සඳහන් කරල තිබුණ එක මට ගොඩක් ලොකුවට දැනුණා. මේ වගේ ෆ්ලැට්ෆෝම් එකක ලංකාව ගැන කියන්න ලැබීම මට ලොකු සතුටක්. මීට කලින් වෙනත් අංශයන්ගෙන් මේ වගේ ඇගැයීමට පාත්‍ර වෙච්ච කිහිප දෙනෙක් ඉන්නවා. ඒත් මං දන්න තරමින් මේ අංශයෙන් පළමුවෙනියා වෙලා තියෙන්නේ මං.“

ජාත්‍යන්තරව ඇගැයීමට ලක්වුණු ප්‍රසන්න විතානගේගේ ගාඩි චිත්‍රපටයට තේරුණු ඒ අතීතය ගැන ඇය පැවසුවේ මෙවැන්නක්.

“2018 වසරේ මං මාලා කියල කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒකට රංගනයෙන් දායක වුණෙත් මං. ගෘහ සේවිකාවක් පදනම් කරගෙන නිර්මාණය කළ විනාඩි 15ක කෙටි චිත්‍රපටයක්. ඒක මගේ පළමු අධ්‍යක්ෂණ අත්දැකීම. ඒක මං පොඩි පොඩි ජාත්‍යන්තර සම්මාන උලෙළවලට ඉදිරිපත් කළා. මගේ පළමු අධ්‍යක්ෂණයට ඒ වගේ ජාත්‍යන්තර උලෙළවලින් ආරාධනා ලැබීමත් මට ලොකු සතුටක් වුණා. ප්‍රසන්න සර් ගාඩි සිනමා නිර්මාණයට මාව තෝරගන්න හේතුවක් වෙන්න ඇත්තෙත් ඒක වෙන්නැති කියල මං හිතනවා. ඒ විතරක් නෙවෙයි ගාඩි චිත්‍රපටයට තෝර ගන්න ලොකු ඔඩිෂන් එකකුත් තිබුණා.“

මේ දිනවල රංගන කටයුතුවලින් මඳක් ඈත් වී සිටින ඩිනාරා රංගනයට පිවිසි ඒ අතීතයත් අමතක කළේ නැහැ.

“කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය සඳහා මං එංගලන්තයේ ක්වීන් මේරී විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදීත් මං විෂයයක් විදිහට කළේ නාට්‍ය හා රංග කලාව. බ්‍රිතාන්‍ය ටෙලි නාට්‍යයක ප්‍රඩක්ෂන් එකට සම්බන්ධ වෙලා වැඩ කළා. ලංකාවට ඇවිත් වේදිකා නිර්මාණවලට දායක වුණා. මහරාජා එකේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කළා. වැඩිපුරම සම්බන්ධ වුණේ රේඩියෝ එකට. රුවන්ති ද චිකේරාගේ වගේම අනුෂ්ක සේනානායකගේත් ඉංග්‍රීසි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඊටත් පස්සෙ තමයි ‘ගාඩි‘ හරහා සිංහල සිනමාවට සම්බන්ධ වුණේ. ඉන්දීය නිර්මාණයකටත් සම්බන්ධ වෙලා තියෙනවා.

ඩිනාරා පුංචිහේවා යනු හිටපු ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තිමුණිගේ පුත් සංජය වෙත්තිමුණිගේ ආදරණීය බිරියයි. ඩිනාරා – සංජය කැදැල්ලට අලුතින් පැමිණි අමුත්තිය ගැන සඳහන් කරමින් ඩිනාරා පවසා සිටියේ මවක වීමේ සිහිනය සැබෑ වීම තම ඉදිරි රංගන කටයුතුවලට බාධාවක් නොවන බවයි.

“මවක් වෙන්න මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි. මේ වෙද්දි මං පුංචි දුවෙකුගේ අම්මා කෙනෙක්. ඒ නිසා දැන් මගේ වගකීම් වැඩියි. අම්මා කෙනෙක් වීම රංගන ජීවිතේට බාධාවක් වෙන එකක් නැහැ කියල මට විශ්වාසයි. මගේ සැමියා සංජය වගේම ඔහුගේ පවුලේ, මගේ පවුලේ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබෙනවා. හිතපු නැති විදිහට ලැබුණු මේ ඇගැයීම් සම්මානයත් එක්ක ඔවුන් ගොඩක් සතුටෙන් ඉන්නේ. ඒ නිසා විශ්වාසයෙන් මේ ගමන ඉදිරියට යන්න පුළුවන් කියලා මට හිතෙනවා. නිර්මාණයක් ලැබුණම මං කොහොමත් ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙනවා. ඒ චරිතය තුළ ජීවත් වෙනවා. ඒ නිසා මේ අගය කිරීම මට ගොඩක් වටිනවා. මං රංගනයෙන් දායක වුණු සංජීව පුෂ්පකුමාරගේ විහඟ ප්‍රේමය වගේම රුක්මාල් නිරෝෂ්ගේ අවාලු පැහැ වලාකුලක් චිත්‍රපට දෙක මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. තව මාස දෙක තුනකින් අලුත් වැඩක් පටන් ගන්නවා. තව ආරාධනාත් ලැබිලා තියෙනවා.“

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division