Home » ඕඩියන්ස් එක අල්ලන්න පුළුවන් වුණ එක සතුටක්

ඕඩියන්ස් එක අල්ලන්න පුළුවන් වුණ එක සතුටක්

දුලාන් ලියනගේ

by thanushika
May 25, 2024 12:30 am 0 comment
හර්ෂණී වීරරත්න

දුලාන් ලියනගේ කියන නම නුහුරු වුණාට මේ රූපය දැන් රූප පෙට්ටියට ටිකක් හුරුපුරුදු යි. ඔහු නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනවා. ලලයි ලිලයි ලයි නාට්‍යයෙන් මේ දිනවල ප්‍රේක්ෂක හමුවට සුකුමල් ලෙස එන ඔහු නළුවෙක් වෙන්න හීන දකින්නේ පුංචි කාලේ ඉඳලා. හැමෝගෙම ආදරේ ලබන්න ඕන කියන සිතුවිල්ල එක්ක නළුකමට එන ඔහු ගැනයි මේ.

මේ දවස්වල ඔබ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ලලයි ලිලයි ලයි නාට්‍යයෙන්. සුපුන් රත්නායක එක්ක වැඩ කරන තෙවැනි අවස්ථාව මෙය. කොහොමද ප්‍රතිචාර..?

ඔව්. මම සුපුන් රත්නායක මහත්මයාගේ නිර්මාණ දෙකකට මීට කලින් සම්බන්ධ වෙලා තියෙනවා, මේ තුන් වෙනි නිර්මාණ ය. ලලයි ලිලයි ලයි මේ දවස්වල විකාශය වෙන නිර්මාණයක්. එහි සුකුමල් තමයි මගේ චරිතය. මේ නාට්‍යට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ ආදරයක් ලබන්නේ ඒ වගේ චරිතයක් මම ලැබුණු නිසයි. ඒ නිසා සුපුන් මහත්මයාට ස්තුතියි කියන්න ඕන මාව ඒ තැනට රැගෙන ගියාට. එහි සියලුම කාර්‍යමණ්ඩලයට. මේ දවස්වල යූටියුබ් එකේ වැඩිම වීව්ස් තියෙන නාට්‍ය එය. ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා

සුකුමල් කියන්නේ බ්ලැක් කොමඩි චරිතයක් , ප්‍රේක්ෂකයන් හිනස්සනවා කියන එකත් ලෙහෙසි නැහැ නේද ..?

සුකුමල් චරිතය බ්ලැක් කොමඩි එකක්. අපි වැඩේ කරන්නෙත් විනෝදයෙන්. චරිතයක් ඔස්සේ තව කෙනෙක් හිනස්සන එක ලෙහෙසි නැහැ. ඒත් අධ්‍යක්ෂක තුමා ඒ අභියෝගය මට ලබා දුන්නා. මම හිතනවා ලැබෙන ප්‍රතිචාර එක්ක මම ඒ චරිතයට සාධාරණයක් කරනවා කියලා. සුපුන් මහත්තයා කියන්නේ රංගන ශිල්පීන්ට නිදහසේ වැඩ කරන්න දෙන අධ්‍යක්ෂවරයෙක්. එතුමාගේ සහායෙන් තමයි සුකුමල් මේ තරම් සාර්ථක වෙන්නේ. මට ලොකු සතුටක් දැනෙනවා. මම අවුරුදු දෙකකට පස්සේ තමයි මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. වයිරල් වෙමින් ඕඩියන්ස් එක අල්ලන්න පුළුවන් වුණ එක ගැන සතුටක්.

ඒ චරිතය වෙනුවෙන් ශරීරයේ බරත් වෙනස් කරගත්තා කියලා ආරංචියි..?

ලලයි ලිලයි ලයි නාට්‍ය ගිය අවුරුද්දේ අප්‍රේල් පටන් ගන්න හිටියේ. නමුත් ඒක මේ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. පිටපත ලැබෙද්දි මගේ බර 70ක් විතර. චරිතය සාමාන්‍ය පෙළ පන්තියක ශිෂ්‍යයන් විදිහට ඉන්න එක. ඒ විදිහට ඇඟ හදාගන්න මම කැපවීමක් කළා. අන්තිමට මම කිලෝ 17ක් අඩු කරගත්තා. නාට්‍ය පටන් ගන්න දින කිහිපයක් තියෙද්දි රසික සුරවීර අයියා කිව්වා මල්ලි ටිකක් කෙට්ටු වෙන්න වෙයි කියලා මම කිව්වා මම චරිතයට ඕන විදිහට බර අඩු කර ගත්තා කියලා

රූප පෙට්ටියට ඔළුව දාන්න පුංචි කාලේ ඉඳලා උණක් තිබ්බා කියලා ආරංචියි..?

ඒක ඇත්ත. ඒ හීනය ඔළුවට එන්නේ මම හය වසර ඉගෙන ගන්න කාලේ. මමයි අයියයි තාත්තයි නිතරම චිත්‍රපට බලනවා. ඒ චරිතවලට මිනිස්සු කොච්චර ආදරේ කරනවද කියන එක දැක්කා. මට ඕන වුණා මමත් නළුවෙක් වෙලා ඒ වගේ හැමෝගෙම ආදරේ ලබන්න. ඊට පස්සේ මට ඕන වුණා බැංකුවක වැඩ කරන්න. ඒක මගේ ආසාව වුණා. උසස් පෙළ කරන කාලේ ආසාවක් ආවා ඉංජිනේරු පැත්තට යන්න. මම ඉගෙන ගත්තේ ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ. පාසලේ නාට්‍ය පැත්ත නැති නිසා මම අයි ටී පැත්ත ඉගෙන ගත්තා. ටෙක්නිකල් කොලෙජ් ගිහිං ඇක්සස් එකේ ජොබ් එකක් කළා. එතකොට තමයි අර යට ගිය නළු උණ ආයේ ආවේ. ඒත් එක්ක තියෙන ඔඩිෂන්වලට සම්බන්ධ වුණා. මගේ පළමු නාට්‍ය වුණේ බටහිර අහස නාට්‍ය. ඒකේ කොටස් හතරකට වගේ මම හිටියේ. එතැනින් තමයි හීනේ සැබෑ වෙන්නේ,

‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ හි පැංචි වෙන්න ඇති ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ..?

ඔව්. ඒ නාට්‍ය තමයි මාව වෙනස් කරන්නේ. මාව දිගින් දිගටම නළුවෙක් විදිහට ක්ෂේත්‍රයේ තියන්නේ, නිර්මාණවලට ආරාධනා ලබන මට්ටමට මාව ඔසවා තබන්නේ. කැලුම් උඩුවාවල අයියට මම කිව්වා අයියේ කොහේ හරි නාට්‍යයක ඔඩිෂන් තිබ්බොත් මට කියන්න කියලා. කැලුම් අයියා තමයි කිව්වේ සුනිල් කොස්තා මහත්මයාගේ නාට්‍යයක ඔඩිෂන් තියෙනවා යන්න කියලා. ඒ විදිහට තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. ඔඩිෂන් දෙක තුනක් තියලා දෙසිය දෙනෙකු‍ෙගන් හතර දෙනෙක් තෝරා ගත්තා. මම ට්‍රේන් එකේ ගෙදර යද්දී කෝල් එකක් ආවා. මාව තෝරා ගත්තේ නැහැ කියලා. මට මාර අප්සට්. විනාඩි දහයකින් විතර ආයේ කෝල් කරලා කිව්වා මල්ලී ඔයාව තෝරා ගත්තා විහිළුවට කිව්වේ තෝරා ගත්තේ නැහැ කියලා කිව්වා. මට අවස්ථාව දුන් සුනිල් මහත්තයාට ගොඩක් ස්තුතියි කියන්න ඕන ,

මිෂෙල් එක්ක වැඩ කරන්න පහසු වුණාද..?

ඊට කලින් මම මිෂෙල් ගැන දන්නේ නැහැ. අපි එකට මුණගැහෙන්නේ සුදු ඇඳගෙන නාට්‍යයෙන්. එයත් මේ නාට්‍යයෙන් පස්සේ තමයි ජනතාව අතරට ගියේ. එයා එක්ක වැඩ කරන්න අමාරු නැහැ. මට ගොඩක් ප්‍රවීණ ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඔවුන්ගේ ගුරුහරුකම් ලැබුණා.

වැඩිපුර ම ප්‍රතිචාර ලැබෙන්නේ ගැහැනු ළමයින්ගෙන්ද..?

මගේ ෆෑන් බේස් එක මැදිවියේ අය. ඒක වෙනස්ම ප්‍රතිචාර ලැබෙන තැනක්. ගැහැනු පිරිමි කියලා නැහැ. නාට්‍ය කිහිපයක හිටපු නිසා එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා

දුලාන්වත් එකම චරිතයකට කොටු වෙයිද?

මම කැමති නැහැ මාව කොටු වෙනවට. ලොකුකමකට කියන දෙයක් නෙමෙයි, මම ආසයි මමවත් දන්නෙ නැති මගේ ඇඟේ තියෙන රංගන හැකියාව එක එක චරිත ඔස්සෙ අධ්‍යක්ෂවරුන් එළියට ගන්නවා නම්. මට එකම වගේ චරිත කිහිපයක් ලැබුණා. ඒවා මම ප්‍රතික්ෂේප කළා. වෙනස් චරිත ලැබෙයි කියලා විශ්වාස කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division