– හාස්‍යජනක රංගනයේ යෙදෙන්න හැම කෙනෙකුටම බැහැ
– මම අවුරුදු විසිපහ වෙද්දී ඉගෙන ගත් පාසලට ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා
– කොහෙන් බැලුවත් මම රඟපාන චරිත හාස්‍ය උත්පාදන චරිත
– මම පුද්ගලික ජීවිතේ දී සීරීයස් චරිතයක් ඒත් දරුවෝ එක්ක යාළුවෝ වගේ ජීවත් වෙන්නේ
– එයා ඒකාලේ නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියා එතැනදි තමයි මුලින්ම දකින්නේ මුල්ම දැකීමෙන් හිත ගියා
ප්‍රියන්ත සෙනෙවිරත්න. මේ නම, රූපය, හඬ ලොකු පොඩි කාටත් හුරුපුරුදු යි. වේදිකාව, සිනමාව, වගේම පුංචි තිරය එකසේ වැලඳගත් ඔහු ගායනයටත් දක්ෂයෙක්. ඔහුගේ මතකය තරුණයින්ව ළමා කාලයට රැගෙන යන්නේ වසර විස්සකට පමණ පෙර ඔහු ළමා වැඩසටහනක නිවේදකයෙක් වූ නිසයි. මේ කතාබහ ඔහු හා ඔහුගේ සුන්දර කුටුම්බය ගැනයි
වේදිකාවේ, සිනමාවේ වගේම පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබෙනවා. ඉස්සරට වඩා දැන් ඉල්ලුම අඩුද, ඒ ගැන කියලම කතාබහ ආරම්භ කරමු..?
ඉල්ලුමේ නම් අඩුවක් මම දකින්නේ නැහැ. ආරාධනා ලැබෙන විදිහට සම්බන්ධ වෙනවා. මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණ දෙකක් තිරගත වීමට නියමිතයි. ශමීර නාඔටුන්නගේ සිහින නෙළුම් මල් චිත්‍රපටය හා සුනිල් ප්‍රේමරත්නගේ අමුතු ගුරුකම කියන චිත්‍රපටය.
එතකොට පුංචි තිරයට තියෙන සම්බන්ධය..?
ටෙලි නාට්‍ය සඳහාත් සම්බන්ධ වෙනවා. මේ දවස්වල බේකරි ගෙදර හා කියා දෙන්න ආදරේ කියන නාට්‍ය විකාශය වෙනවා. කාලය හදාගෙන මම ලැබෙන ආරාධනා භාර ගන්නවා.
ඔය හැම නිර්මාණයකම ඔබේ රංගනය දකින්න ලැබෙන්නේ හාස්‍ය උත්පාදනය පැත්තෙන්..?
ඔව්. සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මම රඟපාන්නේ හොඳ නරක දේ එක්ක. ඔහුට අවශ්‍ය දේ නොලැබුණු තැන නයෙක් වගේ හඹාගෙන ගිහින් දේවල් ලබා ගන්න උත්සාහ කරන අකාරුණික මනුස්සයෙක්ගේ චරිතයක්. ඒ චරිතය ඇතුළේ පොඩි කොමඩි ගතියක් තියෙනවා.
ඒ වගේම අමුතු ගුරුකම වෙනස් කතාවක්. කරදර කරන වයිෆ්ලා ඉන්නවනේ. වයිෆ්ගේ කරදරෙන් බේරෙන්න යාළුවෝ ටික එක්ක ට්‍රිප් එකක් ගිහින් සිදුවෙන අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක් ඒ චිත්‍රපටයෙන් කියවෙන්නේ. හාස්‍ය එක්ක පොඩි සංවේදිකමක් කතාවේ තියෙනවා. කොහෙන් බැලුවත් මම රඟපාන චරිත හාස්‍ය උත්පාදන චරිත කියන්න පුළුවන්.
ඔබට විවිධ චරිත රඟපාන්න ලොකු වපසරියක් තියෙද්දි එක තැනක කොටු කිරීම ගැන දුකක් නැද්ද?
කොහෙත්ම දුකක් පසුතැවීමක් නැහැ. හාස්‍යජනක රංගනයේ යෙදෙන්න හැම කෙනෙකුටම බැහැ. ඒ හැකියාවට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. පිළිගැනීමක් තියෙනවා. ඉතිං මම හාස්‍යජනක චරිත ඔස්සේ ජනතාවට සමීප වෙන්න කැමතියි. මම ගුරුවරයෙක් විදිහට සේවය. ජනතාවට ඉතා සමීප විය හැකි රංගනයේ කොටසක් ඉසව්වක් හැටියට මම හාස්‍යජනක පැත්ත දකිනවා.
කැමරාව ඉදිරියේ වචන එක්ක හරඹ කරනවා වගේ සැබෑ ජීවිතයේදීත් ඔබ සැහැල්ලු චරිතයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ..?
විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. ඒ නමුත් චරිතවලින් දකිනවා වගේ ජීවිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ නැහැ. මම පුද්ගලික ජීවිතේ දී සීරියස් චරිතයක්. ඒත් දරුවෝ එක්ක යාළුවෝ වගේ ජීවත් වෙන්නේ.
අමුතු ගුරුකමේ වගේ ඔබටත් නිතරම වධ දෙන වධක භාර්යාවක්ද ඉන්නේ..?
නැහැ, හරිම නිදහසේ ජීවත් වෙනවා ඔළුවට බරක් නැතුව. ඇය කංචනා සෙනෙවිරත්න. ගුරුවරියක් විදිහට සේවය කරනවා. එයා මාත් එක්ක පොඩි පොඩි දේවලට තමයි රණ්ඩු කරන්නේ. එයත් එක්ක කතා කරගෙන ඉද්දි මම ඇහුම්කන් දෙනවා වගේ හිටියට අවධානය දෙන්නෙ නැහැ. මගේ ඔළුවේ දුවන්නේ වැඩ ගැන. එයා කියනවා ඔයාගේ අවධානය නැහැ කියලා. එයා ඇඳුමක් ඇඳලා පෙන්නලා හොඳ ද අහනවා. ඔව් හොඳයි කියනවා ඇඳුම් දෙක තුනක් ඇඳලා පෙන්නුවත් මම ඔක්කොම හොඳයි කියනව. අන්තිමට එයා එයා කැමති එක ඇඳගෙන යන්නේ. ඕවගේ පුංචි පුංචි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් නැහැ එයාගෙන්.
බිරියගේ උපන් දිනේ අමතක වෙනවා කියන්නේ ඇත්ත ද..?
මට නම් උපන්දින මතක තියා ගන්න හරි අමාරුයි. එයාගේ උපන් දිනේ වගේම දරුවන්ගෙ උපන් දිනත් මතක නැති වෙන අවස්ථා තියෙනවා. ඒත් මගේ උපන් දිනේට නම් නොවරදවාම තෑග්ගක් ලැබෙනවා. ඒ තෑගි මම පාවිච්චි කරන්නේ නැහැ කියලා ලොකුවට චෝදනා කරනවා. මම ආයේ නම් කිසිම දෙයක් අරන් දෙන්නෙ නැහැ කියලා අමතක නොකර ඊළඟ උපන්දිනේටත් තෑග්ගක් දෙනවා. සමහර ඒවා මට ගැළපෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ. පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ බැණුම් අහනවා.
විවාහ වෙලා අවුරුදු විස්සක් වෙනවා. වේදිකාවෙන් හමුවුණ ආදරේ එක්ක තවම ජීවත් වෙනවා නේද ..?
අපි විවාහ වෙලා අවුරුදු විස්සක් වෙනවා. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. එයා කැලණිය විශ්වවිද්‍යාලයට යන කාලේ අරුන්දති වේදිකා නාට්‍යට සම්බන්ධ වෙලා හිටියා. එතැනදි තමයි මුලින්ම දකින්නේ. මුල්ම දැකීමෙන් හිත ගියා. ඊට පස්සේ සාරංගා නැවෙන් ඇවිත් වේදිකා නාට්‍යයට තරුපති මුණසිංහ කාංචනාව රොඩ්නිට හඳුන්වා දෙනවා. එතැනින් තමයි හිතවත්කම් දුර දිග යන්නේ
නළුවෙකුට නම් දුව දෙන්නේ නැහැ කියලා ඒ මවුපියන් විරුද්ධ වුණේ නැද්ද ..?
ලොකු විරුද්ධත්වයක් තිබ්බේ නැහැ. කාංචනාත් කලාවට සම්බන්ධ බොහෝ අය දැනගෙන හිටිය. නමුත් එයාගේ මවුපියන් කිව්වා ඕනවට වඩා යන්න එපා කියලා. ඒත් පවුලත් එක්ක හිතවත් වුණාට පස්සේ අකමැති වුණේ නැහැ. ඊට පස්සේ විවාහ වුණා
දරුවෝ දැන් ලොකුයි, ඔවුන් කලාවට සම්බන්ධ නොකරන්නෙ ඇයි..?
දුව පුජානි මානික්යා. එයාගේ වයස අවුරුදු 19ක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. පුතා චිරාත් ගගන. එයත් ඉගෙන ගන්නවා. මේ දෙන්නට රඟන්න ගයන්න පුළුවන්. ඔහු දක්ෂයි. නමුත් මම හිතන්නේ ඊට කලින් හොඳින් ඉගෙන ගන්න ඕන කියලයි. මොකද අධ්‍යාපනය හරි වැදගත්. ඊට පස්සේ පුළුවන් කලාවට සම්බන්ධ වෙන්න.
දරුවෝ බිරිය කවදාවත් චෝදනා කරලා නැද්ද තාත්තා කාර්යබහුල වෙද්දී තාත්තා නැතුව පාළුව දැනිලා තියෙනවා කියලා ..?
නැහැ. මම ගොඩක් කාර්යබහුලයි. ඒ කාලේ දරුවෝ පුංචි නිසා ඒතරම් තේරුමක් නැහැ. ඒත් දැන් ලොකු නිසා ආදරේ රැකවරණය ඕන. ඒ නිසා එයාලව විශ්වවිද්‍යාලට ගිහින් දාන්නේ මම. එයාලා එක්ක වැඩිපුර කාලයක් ඉන්නවා. මමයි පුතයි ඇඳුම් මාරු කරගෙන අඳිනවා. එක විදිහට අඳිනවා. පුළුවන් විදිහට දරුවෝ බිරිය එක්ක ඉන්නවා. මම ලංකාවේ හිටියොත් රෑ වෙන්න කලින් ගෙදර යනවා.
නළුවෙක් නොවුණා නම් ගුරුවරයෙක් විදිහට තවදුරටත් ඉන්න ඉඩ තිබ්බා නේද ..?
මගේ තාත්තා මට කිව්වා රංගනයට සම්බන්ධ වෙනවා නම් පහසුම රස්සාව තමයි ගුරු රැකියාව කියලා. මම ඔටෝ මොබයිල් ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තේ. මම අවුරුදු විසිපහ වෙද්දී ගුරුවරයෙක් විදිහට ඉගෙන ගත් පාසලට සම්බන්ධ වෙනවා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට. මගේ ගුරුවරු එක්ක මම දරුවන්ට ඉගැන්වීම් කළා. ඒ පාසලේ සහකාර විදුහල්පති වෙලත් අවුරුදු පහක් හිටියා. අවුරුදු තිහක් ගුරු රැකියාවේ ඉඳලා 2020 අවුරුද්දේ විශ්‍රාම ගත්තා.
දැන් ඇති, මහන්සියි, විඩාවයි කියලා දැනෙන්නේ නැද්ද ..? ඒ ගැනත් කියලම අපි කතාව අවසන් කරමු..?
මට හරි මහන්සි යි. ඒත් රඟපෑම කියන්නේ මට ලැබුණු ගිෆ්ට් එකක්, ඒක හරියට පාවිච්චි කරන්න ඕන. හැමෝටම නොලැබෙන දුර්ලභ අවස්ථාවක් කලාවට සම්බන්ධ වෙනවා කියන්නේ. ඒ නිසා ඒක හරියට කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා.
හර්ෂණී වීරරත්න