යශෝධරා දේවිය ගැන බෞද්ධයන් වූ අපට කිසි දිනෙක අමතක නොවන චරිතයකි. ඇය අප බුදුන් වහන්සේගේ ගිහි කළ ප්‍රියම්බිකාවයි. දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජුගේ හා අමිතා දේවියගේ දියණියයි. සුප්‍රබුද්ධ යනු මහමායා බිසවගේ සහ ප්‍රජාපති දේවියගේ සොහොයුරාය. අමිතා දේවිය යනු සුද්ධෝදන රජුගේ නැඟණියයි. ළඟම නෑ සබඳතාවන් ඇති ඔවුන් එක පවුලක ඇත්තන් මෙනි. යශෝධරා කුමරිය සිදුහත් කුමරුන් හා විවාහ දිවියට එළැඹෙන්නේ වයස අවුරුදු දාසයේදීය. දෙදෙනා දෙදෙනාටම ප්‍රේම කළහ. නමුදු සිද්ධාර්ථ කුමරු රාහුල පුතු ඉපදුණදා ගිහිගෙය හැර යන්නේ සියලු ලෝකවාසී සත්ත්වයන් වෙනුවෙන් බුදු බව පතාය.
සිද්ධාර්ථ කුමරු ගිහිගෙයින් නික්ම ගියදා සිට සිය සිඟිති පුතු සමඟ ඇය ගෙවුවේ පැවිදි දිවියකට සමාන දිවියක් යැයි පොතපතෙහි සඳහන් වේ. ඇය ආහාර ගත්තේ අඩු ප්‍රමාණයෙනි. වටිනා සළු පිළි අබරණ පසෙක දමා සරල ඇඳුමකට හුරුවූවාය. බුදු බව ලබා කපිල වස්තුවට පැමිණයදා යශෝධරා බුදුන් දැකීමට නොගියාය. උන් වහන්සේ තමන් දැකීමට එනු ඇතැයි යන විශ්වාසයෙන් ඇය මාලිගයට වී සිටියාය. ඇය සිතු සේම බුදුන් වහන්සේ ඇය දැකීමට පැමිණියහ.
සුද්ධෝදන රජු විසින් තම ලේලිය සිද්ධාර්ථ කුමරු වෙනුවෙන් කළ කැපවීම ගැන බුදුන් වහන්සේ ඉදිරියේ කියා සිටියාය. මේ සියල්ල අසා සිටි බුදුන් වහන්සේ ඇයට සඳ කිඳුරුදා ජාතකය දේශනා කළේය. එදවස සඳකිඳුරු දා කතාවේ කිඳුරිය යශෝධරාවන්ය. තම ඥාතීන් බැලීමට පැමිණි පළමු ගමනේදී බුදුන් වහන්සේ යශෝධරාවන්ගේ ගුණ, ඇය තමන් වෙනුවෙන් කැප වී සිටි අයුරු දේශනා කළහ.
සිදුහත් – යශෝධරා ප්‍රේමය එදා මෙදා තුරත් නොවෙනස්ව බෞද්ධ සමාජය තුළ පවතින්නකි. සිදුහත් – යශෝධරා ප්‍රේමය ගැන කවි ගී ලියා ඇත්තේ අතළොස්සකි. ඒ අතළොස්සට එක්වූ මෙය අලුත්ම ගීතයකි. ගීතය ලියන්නේ නව ගී පද රචිකාවක වන අමා කුමාරි ජයවීර යි.
ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ සංගීතවේදී අරුණ ගුණවර්ධනයි. ගීතය ගයන්නේ අපේ පරම්පරාවේ ගායන ශිල්පියකු වන ඉන්ද්‍රජීත් නිමල් පෙරේරාය.
“අවර ගිය හිරුත් අඹරට
අරන් වැඩිය සිරිවමියේ
සවන පිනන මධු භාෂිත
මුව තඹරින් ගිලිහුණියේ
රුවනුදුලින් ඔපැති උවන
දුටු සිසිලිය සැඟවුණියේ
කප් සුවහස් කලක් පෙමින්
එක මඟ ආ දේහිණියේ…. “
‘මට යශෝධරාවන් ගැන පද පෙළක් ලියන්න කියලා ආරාධනය කළේ ඉන්ද්‍රජිත් සොයුරා. ඔහු බොහෝම අගය කරන චරිතයක් යශෝධරාවන් කියන්නේ. යශෝධරා කියන චරිතය අපට කවදාවත් කියවා අවසන් කරන්න බැහැ. ඇය ගැන ඇගේ ගුණ ගැන කියැවෙන වචන බොහොමයි. මම ඇය ගැන බොහෝ දේ සොයා කියවූවා. ඉන් කාලෙකට පසුව තමයි මේ පද පෙළ ලියැවුණේ‘
ගීතයේ පද රචිකා අමා කුමාරි පවසන්නේ එවන් අදහසකි.
ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියකු වන ඉන්ද්‍රජිත් හැමවිටම සාර්ථක පද පෙළ සොයන්නෙකි. යශෝධරා දේවිය ගැන ගැයෙන
“සසර සර දුටිමි පියවින්
කිඳුරු සඳ පුරාතනයෙන්
කින්නරාවියේ
බෝසත් කින්නරාවියේ“ ගීතය පිළිබඳ ඉන්ද්‍රජිත්ට ඇත්තේ මෙවන් අදහසකි.
“මම මගේ ජීවිතයේ දැනුම් තේරුම් ඇති දා පටන් බොහෝම ගරු කළ චරිතයක් තමයි යශෝධරා දේවිය කියන්නේ. අපි ඇයව දැකලා නැහැ. නමුත් අපි බෞද්ධ පොතපතින්, බෝසත් සිරිතෙන් ඇය ගැන අහලා තියෙනවා. ඇගේ රූපය කොයි වගේ ද කියලා දැක නැතත් ඇය මේ වගෙයි කියලා බොහෝම හැඩරුව ඇති කාන්තා රුවක් හිතේ ඇඳිලා තියෙනවා. මට වුවමනාව තිබුණා මේ ශ්‍රේෂ්ඨ කාන්තාව ගැන ගීතයක් ගයන්න. ඒ ඇයට උපහාරයක් වශයෙන් වගේම අපේ කාන්තාවන්ට ආදර්ශයක් ලෙස. ගී පද රචිකා අමා කුමාරිට මම කිව්වා මට මෙන්න මේ විදිහේ ගීතයක් ලියැවෙන්න ඕන කියලා. ඒ අනුව තමයි ගීතය ලියැවුණේ. සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තමයි ඇය සිද්ධාර්ථ කුමරාගේ බිරිය වෙන්නේ.
ඇය එක් කුලයක සඳකිඳුරිය. මෙන්න මේ ඇසුරින් තමයි “සසර සර දුටිමි පියවින්“ ගීතය ලියැවෙන්නේ.. ඇය තම ජීවිතයේ උතුම්ම කැපකිරීම් කළ මවක්, ගැහැනියක්, බිරියක්, දියණියක්. ඉවසීම දරා ගැනීම මෙන්ම තම සැමියාගේ පවුලේ අයට තමන්ගේ පවුලේ අයට මෙන්ම සැමට යුතුකම් ඉටු කළ කාන්තාවක්. අපේ කාන්තාවන්ට යශෝධරා කියන්නේ ආදර්ශයට ගතහැකි චරිතයක්. නමුත් එහෙම වෙන්නේ නැහැ.
එදා බුදුසිරිතෙන් දුටු යශෝධරා චරිතය අපට හැමදාමත් අමරණීය වෙන්නේ ඒ නිසයි. ගීතය සඳහා බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා“
ඉනෝකා සමරවික්‍රම