යුක්තිය මෙහෙයුම මාස පහ සම්පූර්ණ කළේ පසුගියදාය. මෙහෙයුම ආරම්භ වන්නේ ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදාය. පාතාල කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන්, සොරුන්, කප්පම්කරුවන්, මංකොල්ලකරුවන්, මත්කුඩු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් ඇතුළු විවිධ අපරාධ සහ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් එක්ලක්ෂ දහදාහකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට යුක්තිය මෙහෙයුමට හැකි වී තිබේ.
යුක්තිය මෙහෙයුම සිදු කරද්දී පාතාලය සහ සංවිධානාත්මක අපරාධකරුවන් නිකම් සිටියේ ද නැත. ඔවුන්ද සිය කටයුතු වේගවත් කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා යුක්තිය මෙහෙයුමට අලුතින්ම කණ්ඩායම් 20ක් එක්කාසු කැරුණේ 2023 මාර්තු මාසයේ 19 වැනිදාය. එම කණ්ඩායම්වල ඉලක්කය වූයේ පාතාල කල්ලිවලට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට ඕනෑම මොහොතක ‘ප්‍රතිචාර’ දැක්වීමයි.
මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවකට ගණන් නොගෙන ටී 56න්, පිස්තෝලයෙන්, තුවක්කුවෙන්, අත්බෝම්බයෙන්, ගල්කටස් එකෙන් මහමඟදී චණ්ඩිකම් පෙන්නන දිගට හරහට වෙඩි තැබීම් සිදු කරන පාතාල කල්ලි මර්දනය සඳහා මේ පොලිස් කණ්ඩායම්වල සහය ලබා ගැනීමට පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කළේය. මේ කණ්ඩායම් 20 සඳහා අධිවේගී මෝටර් බයිසිකල් සියයක් සහ දක්ෂ නිලධාරීන් රැසක් අනුයුක්ත කැරිණි.
මහමඟ වෙඩි තබමින් මිනිස් ජීවිත නසන, මහ දවාලේ වෙඩි තබා කොල්ලකෑම් සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ජාවාරම් සිදු කරන සංවිධානාත්මක අපරාධ සිදු කරන කල්ලි කණ්ඩායම් ඒ මොහොතේම හඹා ගොස් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම මේ සුවිශේෂී පොලිස් කණ්ඩායම්වල රාජකාරිය බවට පත්විය.
විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවට හඳුනා ගන්නා ලද පාතාල කල්ලි කණ්ඩායම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය මේ සුවිශේෂී කණ්ඩායම් 20 ට පැවැරිණි. මේ කණ්ඩායම් එලෙස බස්නාහිර සහ දකුණු පළාත්වල මාර්තු මාසයේ 19 සිට මැයි මාසයේ 19 දක්වා සිදු කරන ලද මෙහෙයුම් ගණනාවකදී පාතාල කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 1007 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවීම සුවිශේෂීය. මේ අතර කාන්තාවන්ද සිටින බව දැන ගැනීමට ඇත.
මෙසේ අල්ලා ගන්නා ලද පුද්ගලයන් අතරේ අපරාධවලට අනුබලදුන් අය හා සෘජුව සහාය දුන් අයද සිටිති.
දැන ගැනීමට ඇති අන්දමට මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් පාතාල ක්‍රියා, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් පොලිසිය ඇතුළු සෙසු ආරක්ෂක අංශවලින් හෙළි කරගෙන ඇත. මෙසේ අත්අඩංගුටව ගත් පුද්ගලයන් සිදු කළ පාතාල ක්‍රියා, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් ගණනාවක් ද මේ වන විට නිරුපද්‍රිතව සිටින අතර ඔවුන් සම්බන්ධව ද දීර්ඝ විමර්ශන සිදු කැරේ.
කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර උතුර – දකුණ අපරාධ කොට්ඨාස, මාතර සහ ගාල්ල අපරාධ කොට්ඨාසවල නිලධාරීන් දීර්ඝ විමර්ශන සිදු කරගෙන යන බවද දැනගන්නට ඇත. විශේෂයෙන් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් කොට්ඨාස ආශ්‍රිතව පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූ වෙඩි තැබීම්, වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම් ඇතුළු අපරාධ ගණනාවක් පිළිබඳව ගාල්ල අපරාධ කොට්ඨාසය මේ වන විට දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායද ඊට සහය දක්වයි.
එලෙසම ගතවුණු මාස 5 දී යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 1583ක අනීතික දේපළ තහනම් කරන ලද අතර රුපියල් ලක්ෂ 7341 ක් පමණ වටිනා රථ වාහනද සොයා ගැනිණි. එමෙන්ම මේ ජාවාරම්කරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද රත්තරන්වල වටිනාකම රුපියල් ලක්ෂ 180 කි. එලෙසම රුපියල් ලක්ෂ 187 අනීතික ලෙස ඉපැයු මුදල් ද ජාවාරම්කරුවන් සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගැනුණේ යුක්තිය මෙහෙයුමේදීය. එලෙසම රුපියල් ලක්ෂ 15,836 ක් වටිනා අනීතික දේපළ රාජසන්තක කැරිණි.
මේ වන විට හඳුනාගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5914 දෙනෙකුගෙන් 5004 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වීමද සුවිශේෂීය. පොලිස් ඇස යොමු වී ඇත්තේ සෙසු 910 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහාය. යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද 3804 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරගෙන යයි. රුපියල් මිලියන දසදහස් එකසිය හැත්තෑපහක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබීමද සුවිශේෂිය.
පොලිස් වසම් 283 කින් හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ද යුක්තියට හැකි වී ඇත. මේ පොලිස් වසම් එම මත්ද්‍රව්‍ය භාවිත නොකරන කලාප බවට පත්වී තිබීම ද ලොකු ජයග්‍රහණයකි. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමෙන් වාර්තාවක් තබා ඇත්තේ උතුරුමැද පළාතයි. උතුරුමැද පළාතේ පොලිස් බල ප්‍රදේශ 55 කින් 43 ක් මේ වන විට හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය මුලිනුපුටා ඇත. එමෙන්ම මධ්‍යම පළාතේ පොලිස් බල ප්‍රදේශ 61න් 42ක හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීම මුළුමනින්ම නතර වී තිබේ. ඌව පළාතේ පොලිස් බල ප්‍රදේශ 48න් 31 තුළ සහ නැඟෙනහිර පළාතේ පොලිස් වසම් 57න් 29ක් තුළ හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. සබරගමුව පළාතේ පොලිස් වසම් 49න් 24ක මත්ද්‍රව්‍ය ජාවාරමට තිත වැටී ඇත. දකුණේ පොලිස් වසම් 69කින් 19ක මත්ද්‍රව්‍ය ජාවාරම නතර වී ඇත. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 126කින් මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම නතර වී ඇත්තේ පොලිස් බල ප්‍රදේශ 10 ක පමණි. එම පළාත් 9 හෙරොයින් ජාවාරම් සිදු කරන ලද පුද්ගලයින් 39084ක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ 25,908කට විරුද්ධව නඩු පවරා තිබේ.
යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇතැම් සැකකරුවන් බන්ධනාගාරගත කරන නිසා බන්ධනාගාරවල තදබදය වැඩිවී තිබේ. බන්ධනාගාරවලින් දෛනිකව අධිකරණවලට ඉදිරිපත් කිරීමට රැගෙන යන සැකකරුවන්ගේ ප්‍රමාණය 1000 සිට 2000 දක්වා වැඩිවී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ බන්ධනාගාරවලින් දෛනිකව අධිකරණවලට ඉදිරිපත් කරන රැඳවූවන්ගේ සංඛ්‍යාව 500 සිට 1000 දක්වා වැඩිවී ඇති බවද දැන ගන්නට ඇත.
දීපාල් සමරසේකර