Home » එක වැලට කොල්ලකෑම් කළ පාදුක්කේ ඩබලම ඇතුළට

එක වැලට කොල්ලකෑම් කළ පාදුක්කේ ඩබලම ඇතුළට

by thanushika
June 1, 2024 12:30 am 0 comment

හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූ අය සිදු කරන අපරාධ එන්න එන්න ටම ඉහළ යන බවක් සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වෙමින් පවතී. මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ ඒවා සොයාගැනීම සඳහා නොකරන දෙයක් නැත. පසුගිය කාලයේ සිදුවූ අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයන්ගේ පැටිකිරිය ගැන සොයද්දී අනාවරණය වූ ප්‍රධානම කාරණාව නම් මේ අපරාධකරුවන්ගෙන් 99% ක්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි.

මහමඟ ගමන් කරන කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගෙන පලා යන, දිවා රාත්‍රී නොමැතිව ගෙවල් බිඳ සොරකම් සිදු කරන, හුදෙකලා නිවාසවලට කඩා වැදී ඒවායේ තනිවම සිටින, විශේෂයෙන් කාන්තාවන් ඝාතනය කර මුදල් රන් අභරණ කොල්ලකන, කතුන්ගේ අත්බෑග් පැහැර ගන්නා අය පොලිස් සහ සී.අයි.ඩී. වෙසින් කොල්ලකෑම් සිදු කරන තුන්වැනි පන්තියට අයත් අපරාධකරුවන් මෙලෙස අපරාධ සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මිල මුදල් සොයාගැනීමේ අරමුණින් බව පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.

මීට අමතරව සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් මහා පරිමාණයෙන් සිදු කරන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ආදියේ නිරතව සිටින පළමු පෙළේ අපරාධකරුවන් අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් ද හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බව පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ.

‘මත්ද්‍රව්‍ය එදා වේල’ සරිකර ගැනීම සඳහා දෛනිකව අතට අහුවන ඕනෑම අපරාධයක් සිදු කරන මත්ලෝලීන් ගැනද පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරගෙන යයි. මේ අය එදිනෙදා මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට එක දිගට ‘අපරාධ වැලක්’ සිදු කර මුදල් සොයාගැනීමෙන් අනතුරුව එම මුදල් අවසන් වන තුරු මත්ද්‍රව්‍ය පානය කර නැවත ටික කලකින් සුපුරුදු අපරාධ සිදු කර නැවත ටික කාලයක් නිහඬව සිටින අයයි. මෙවැනි කල්ලියක ප්‍රධානියකු මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු කණ්ඩායමට පසුගියදා හසුවන්නේ මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදීය. එම කල්ලියේ පලා ගිය ප්‍රධානියා කොල්ලකෑම් 117ක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී වසර 15 පමණ සිර දඬුවම් විඳි පුද්ගලයෙකි. ඔහු ඇතුළෙන් එළියට ඇවිත් සිදු කරද්දී කලින් සිදු කරන ලද රන් මාල කොල්ලයක් මොරටුව පොලිසිය හෙළි කර ගත් අන්දමට මේ දෙදෙනා බස්නාහිර පළාතේදී රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ 50ක් පමණ සිදු කර තිබිණි.

එදිනෙදා තමන්ට අවශ්‍ය අයිස් සහ හෙරොයින් මිල දී ගැනීම සඳහා ‘එදා වේල’ අපරාධවල නිරතවූ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා හැකි විය. ඒ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදීය.

‘පච්ච රොෂාන්’ සහ ‘සකුන්ත’ නමින් හඳුන්වන මේ අපරාධකරුවන් දෙදෙනා තවත් පුද්ගලයකු සමඟ මාවතගම ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි හලකට කඩා වැදී ඇත්තේ පසුගිය දිනෙක රාත්‍රී 7ට පමණය. මේ කල්ලිය එහි කළමනාකාරිනියට මරණ තර්ජනය කර ඇය පැලඳ සිටි රුපියල් 1,75,000ක් පමණ වටිනා රන් මාලය සහ රුපියල් 1, 60,000ක් පමණ මුදල් තිබුණ ලාච්චුව මුදල් සමඟ පැහැරගෙන ගොස් තිබිණි. කල්ලියේ අයකු කළමනාකාරවරියගේ එක් අතකට කඩුවකින් පහර දී තුවාල සිදු කර අත්තේද ඒ අවස්ථාවේදීය. කොල්ලකරුවන් තිදෙනා පලාගොස් ඇත්තේ ‘ස්කූටි’ මෝටර් බයිසිකලයකිනි.

මේ කොල්ලය ගැන වෙළෙඳසල් හිමියා පාදුක්ක පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. පාදුක්ක පොලිසියේ විමර්ශන කණ්ඩායමක් සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගෙන මේ අපරාධය ගැන සොයා බලන්නේ පොලිසියට තවත් පුද්ගලයෙකුගෙන් ද ලැබුණු තොරතුරුවලට අනුවය.

මේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස තුන්නාන ගම්බැද්ද ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

මෙලෙස සැකපිට අල්ලා ගන්නා ලද්දේ පච්ච රොෂාන් සහ සකුන්ත නමැති පුද්ගලයන් දෙදෙනෙකි. පච්ච රොෂාන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධරයන් ඔහු සතුව තිබූ අඟල් 22ක් පමණ දිගැති කොපුව සහිත මාළු කපන පිහියක් සොයා ගන්නා ලද අතර, සැකකරු අවස්ථා කිහිපයකදීම වර්ණය වෙනස් කර භාවිතයට ගන්නා ලද ස්කූටි මෝටර් බයිසිකලයක් ද පොලිසිය විසින් සොයාගන්නා ලදි. මීට අමතරව මේ දෙදෙනා සතුව තිබුණ ජීව අත්බෝම්බයක් සහ කොල්ලකෑම් සිදු කරන ලද අවස්ථාවේදී පැලඳ සිටි ජැකට් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

මාවතගම යකඩ බඩු කඩෙන් රුපියල් එක්ලක්ෂ හැටදාහක මුදල් ලාච්චුව පිටින් කොල්ලකෑම සහ එහි අයකැමිවරියට කඩුවකින් කොටා රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා රන් මාලය කොල්ල කෑ ‘පච්ච රොෂාන්’ කල්ලියේ දෙදෙනාම දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෝ වෙති. මුදල් ලාච්චුවේ තිබුණු රුපියල් එක්ලක්ෂ හැට දහස ඔවුන් බෙදාගෙන ඇති අතර, එම මුදල්වලින්ද මත්ද්‍රව්‍ය මිලදී ගෙන පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

මාවතගම යකඩ බඩු කඩේට වැදී මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමට පෙර මේ දෙදෙනා තුන්නාන ප්‍රදේශයේ වෙළෙඳසලකට කඩා වැදී එහි මුදල් කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී එහි සිටි කතකගේ කට මිරිකා ඇය සතු රන් මාලයක් ඉල්ලා තර්ජනය කර ඇති අතර, තමන් සතුව රන් මාලයක් නැති බව ඇය මේ කල්ලියට පැවැසීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන්ද පලාවිත් තුන්නාන පන්සල ප්‍රදේශයේ මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු සතු රුපියල් අසූදාහක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකා පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් කොල්ලකෑ රන් ආභරණ සහ කොල්ලකෑම සඳහා ගමන්බිමන්වලට යොදාගත් ස්කූටි මෝටර් බයිසිකලය සහ මන්නා පිහි පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ජයසිංහ, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක ප්‍රදීප් රණසිංහ, සැරයන්වරුන් වන (42946) සමන් කුමාර, (31353) චමින්ද, (51544) සම්පත්, (70679) සත්‍යසිරි, කොස්තාපල්වරුන් වන (60782) මධුරංග, (92513) මධුෂංක, (9695) චමෝද යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – මීගොඩ බී.කේ කත්‍රිආරච්චි

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division