Home » රට වටේ කරක් ගැසූ පිළියන්දල හරක් හොරු

රට වටේ කරක් ගැසූ පිළියන්දල හරක් හොරු

by thanushika
June 1, 2024 12:30 am 0 comment
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

“සර් මාර ගේමක් ගහන කල්ලියක් ඉන්නවා. මුං ගහන්නෙ එසේ මෙසේ ඒවා නෙමෙයි. රජ ගේමක්” පිළියන්දල පොලිසියේ කොස්තාපල් 86543 ජයතිලකට මෙම තොරතුර ලබා දුන්නේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි.

“ඒක මහා පරිමාණ ‘හරක්’ ජාවාරමක් සර්. ලංකාව පුරාම මුං ‘කරක්’ ගහනවා” ඔත්තුකරුවා මෙම කල්ලිය පැමිණෙන වාහනයේ ලියාපදිංචි අංකය ඇතුළු අනෙකුත් අවශ්‍ය විස්තර ද කොස්තාපල්වරයාට ලබාදීමට කටයුතු කළේය. එම ලියාපදිංචි අංකය සහිත වෑන් රථය පිළියන්දල අලුත් පාරේ පැමිණෙන බව සැරයන් ජයතිලක දුටුවේ මේ පිළිබඳ විමසිල්ලෙන් සිටියදීය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පිළියන්දල නගරයේ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටි පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු නිලධාරින් කණ්ඩායම මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ සීරුවටය.

“ආ ඔන්න එනවා. ඕක තමයි වාහනේ. නොම්මරෙත් හරි” ඔත්තුකරු ලබාදුන් නොම්මරය සහිත වෑන් රථය පිළියන්දල නගරයට පැමිණීමත් සමඟ පොලිස් නිලධාරීන් එය නතර කිරීමට සංඥා කළේය. එහෙත් එය නොනවත්වා ධාවනය කළේ පොලිසිය කළ සංඥාව තඹ සතයකටවත් මායිම් නොකරමිනි. ක්ෂණිකව යතුරුපැදිවලින් පසුපස හඹා ගිය නිලධාරීහු එය අල්ලා ගත්තේ පිළියන්දල මොරටුව පාරේ දෙණිය හන්දිය ප්‍රදේශයේදීය.

එම අවස්ථාවේ රියැදුරු සමඟ ඉදිරි අසුනේ පුද්ගලයෙකු සිටි අතර තවත් තිදෙනෙකු සිටියේ වෑන් රථයේ පිටුපසය. ඔවුන් සියලු දෙනා පොලිස් නිලධාරින් විසින් පරීක්ෂාවට ලක්කළේ ඔවුන් පොලිසිය මඟහැර පලා යාමට හේතුව සොයා ගැනීමටය.

ඉදිරි අසුනේ සිටි දෙදෙනා සතුව තිබුණේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකකි. පොලිසියේ සැකය නිවැරදිය. සැඟවීමට බොහෝ රහස් මොවුන් සතු බව පැහැදිලිය. පිටුපස සිටි තිදෙනා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6510, 7700, 7050 ආදී වශයෙන් තිබුණේ මෙම කල්ලියේ වැඩ ගැන මොනවට පැහැදිලි කරමිනි. වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි යට ගොම තැවරී තිබීමත් ලණු තිබීමත් නිසා පොලිස් නිලධාරීන්ගේ සැකය තවදුරටත් සනාථ කෙරිණි.

මේ කතාවේ ‘නායකයා’ වූයේ හිටපු යුද හමුදා සෙබළෙකි. ඔහුගේ මඟපෙන්වීම මත පිළියන්දල, ගම්මාන පාරේ බෝඩිමක රැඳී සිටි කල්ලියේ තවත් සාමාජිකයින් දෙදෙනකු ගැනද තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය. පොලිසිය එම නවාතැන්පොළ සොයා යෑමේදී එහි සිටි දෙදෙනෙකු පලා යාමට උත්සාහ කළද එය අසාර්ථක වූයේ පොලිසිය ඔවුන්ට පෙර ක්‍රියාත්මක වීම නිසාය. එහි සිටියේ කිඳෙල්පිටියේ කළු නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ හපුගොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙහිදී ‘කළු’ සන්තකයේ මෙරට නිෂ්පාදිත තවත් ජීව අත්බෝම්බයක් ද අනෙක් පුද්ගලයා සන්තකයේ අයිස් මිලිග්‍රෑම් 5750ක් ද තිබියදී අත්අඩංගුවට ගැනිණි.

මොවුන් රැඳී සිටි බෝඩිං කාමරය පරීක්ෂා කිරීමේදී කඩු, මන්නා පිහි, මුගුරු, ගවයින් අල්ලා ගැනීමට යොදාගන්නා ලණුවලින් සකස් කළ මන්දක්, ව්‍යාජ අංක තහඩු ඇතුළු දෑද සොයාගත් අතර ‘බොලේරෝ‘ වර්ගයේ කුඩා ලොරි රථයක්ද එම ස්ථානයේ තිබී නිලධාරීන් සිය භාරයට ගත්තේ නඩු භාණ්ඩ වශයෙනි.

මෙම කල්ලියේ ප්‍රධානියා 2017 දී පමණ නීත්‍යනුකූලව යුද හමුදාවෙන් ඉවත්ව පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයට ද එක්ව තිබුණි. මෙහි ‘ප්‍රධාන චරිතය’ මෙහෙයවන්නේ ඔහුය. මේ කල්ලියේ ජාවාරම රටපුරා සැරිසරා සොරකම් කරන ගවයින් රැගෙන ගොස් ගව ඝාතකාගාරවලට අලෙවි කිරීමය. ඒ සඳහා ගෝලයෝ රොත්තක්ද ඔහු ළංකර ගත්තේය. හරක් වෙළෙඳාමේ නියුතු ‘කිඳෙල්පිටියේ කළු’, පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ ඔරලෝසු කාර්මිකයෙක්, කළුතර, පල්ලිය පාරේ කුලී රැකියාවල නියුතු අයෙක්, ගිංතොට, හපුගොල ප්‍රදේශයේ රියැදුරෙක්, කැස්බෑවේ රියැදුරෙක් සහ පිළියන්දල මඩපාත කුලී රැකියාවේ නියුතු ‘පොකට් නිශාන්ත’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඇතුළු පිරිස මොහු වටා එකතු වූයේ ඉක්මනින් පොහොසතුන් බවට පත්වීමේ ව්‍යාපාරයේ කොටස්කරුවන් ලෙසිනි. මේ ගමන්බිමන් සඳහා ඔහු තෝරාගත්තේ සුපිරි වාහනය. මාවනැල්ල සහ කොට්ටාව ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ආයතනවලින් ඔහු කුලී පදනම මත එම වාහන ලබාගෙන කාලයක් තිස්සේ ගව සොරකමේ යෙදුණේ කිසිවකුටත් හසු නොවන අයුරිනි. සකස් කරගත් මන්දක් ගවයා වෙත විසිකර ඌ ඇදගෙන වාහනයට පටවා ගැනීම මොවුන්ට කජු කන්නා වැනි ක්‍රියාවක් බවට පත්ව තිබිණි.

මෙලෙස අල්ලා ගන්නා ගවයින් වත්තල, මාබෝල, මාවනැල්ල, ගාල්ල ආදී ප්‍රදේශවල ගව ඝාතකාගාරවලට විකුණා ලබාගන්නා මුදල් අයිස් මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව අනාවරණය වී තිබේ. පොලිසිය මොවුන් අල්ලාගත් ආරංචියට ගවයින් අහිමි වූ පුද්ගලයින් 19 දෙනෙකු පමණ පොලිසියට පැමිණි අතර මේ ආකාරයට මී ගවයින්, එළ ගවයින්, ගැබ්බර එළදෙනුන්, දින දෙක තුනක් වයසැති පැටවුන් සිටින මවු එළදෙනුන් ඇතුළු සීයකට ආසන්න ගවයින් මෙම කල්ලිය විසින් සොරාගෙන ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.

පිළියන්දල, හොරණ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, මහරගම, බණ්ඩාරගම, කහතුඩුව ආදී ප්‍රදේශවල ගව සොරකම් පිළිබඳ තොරතුරු රැසක්ම අනාවරණය වූයේ මෙම කල්ලියේ හපන්කම් පිළිබඳ ලොවටම පහදා දෙමිනි.

මෙම සැකකරුවන් මහනුවර වෙළම්බඩ, කිඳෙල්පිටිය, පිළියන්දල කොළමුන්න, කළුතර, ගිංතොට හපුගොල, කැස්බෑව සහ මඩපාත, මාකන්දන පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 32, 42, 38, 33, 44, හා 42 වයස්වල පසුවන අය වේ.

ගවයන් සීයකගේ පමණ ජීවිත විනාශ කර මුදල් ඉපයීම රැකියාව කරගත් මෙම පව්කාර සැකකරුවන් සියලු දෙනාටම අවසානයේදී සිදුවූයේ මහඋළු ගෙදර අඳුරු කුටියට වී අනිත්‍ය මෙනෙහි කිරීමට නොවේද?

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, කොස්තාපල්වරුන් වන (90068) රත්නායක, (86543) ජයතිලක, (93729) වීරසිංහ, (1003153) මධුරංග, (1003759) පෙරේරා, කාන්තා කොස්තාපල් (12548) ඉෂිනි ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division