මෙ ‘දිවිය මෙතනින් නවතමි මහාචාර්ය සරත් විජේසූරිය ලියූ අලුත්ම නවකතාවයි. ආත්ම භාෂණයක් පාඨක හදවතේ ගූඪ තැන් ස්පර්ශ කරන සාහිත්‍යයික වියමනක් කිරීම පහසු කාර්යයක් නොවේ. සදාචාරය හා සංස්කෘතිය විසින් සීමා කරන ලද ජීවිත ඇතුළාන්තවල ඇති ගැඹුරු මානුෂීය විදාරණය වීම් මෙහි කතුවරයා වියමන් කරන්නේ පාඨක සිත්හි ද යම් තිගැස්මක් ඇති කරමිනි. පිටතින් පෙනෙන ජීවිතවලට එහා ගිය ගැඹුරු අභ්‍යන්තරික කියැවීමක් සහිත මේ මෙ’දිවිය මෙතනින් නවතමි නවකතාව තරමක වෙනස් ආකෘතික අත්හදා බැලීමක් ද කරයි.
මෙවර සිළුමිණ සංවාදය ඔස්සේ මහාචාර්ය සරත් විජේසූරිය මේ සියල්ලට හේතු පාදක වූ කරුණු ගැන සනිදර්ශිතව දැක්වූ අදහස් හි සංක්ෂිප්තයයි මේ.
මෙ’දිවිය මෙතනින් නවතමි, ඔබේ නවතම නවකතාවෙන් මිනිස් සබඳතාවල විවිධ ස්වරූප ගැන ඔබ ඉඟි කරනවා?
මගේ පිළිගැනීම නම් සාහිත්‍යකරුවෙක් කරන්නෙ මිනිස් සබඳතාවල විවිධ ස්වරූප නිරූපණය කිරීමයි. මිනිස් සබඳතා ගොඩනැඟෙන හැටි- බිඳ වැටෙන හැටි හැම උසස් සාහිත්‍ය කෘතියකම නිරූපිතයි. පාඨකයා ජීවිතාවබෝධය ලබන්නේ ඒ අත්දැකීමෙන්. මා මෙතෙක් ලියා පළ කළ හැම නිර්මාණයකින්ම වගේ මා උත්සාහ කර තිබෙන්නේ මනුෂ්‍යයා සම්බන්ධව යම් අන්දමකට විග්‍රහ කිරීමටයි. මෙ’දිවිය මෙතනින් නවතමි නවකතාවේදී මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි තරමක් අන්ධකාර කලාපයක් වෙත අවධානය යොමු කෙරුණා. ඊට ප්‍රධාන හේතුව මේ නවකතාව සඳහා පාදක වුණු මූලාශ්‍රය සමඟ විවිධ මානවලින් කරුණු විග්‍රහ කර බැලීමයි. සදාචාරාත්මක මිම්මකින් බැලුවොත් කෙනකුට මේ කෘතියෙන් සාකච්ඡා කරන දේ, නිරූපිත චරිත ගැන විවේචනයක් තියෙන්න පුළුවන්. එහෙත් සාහිත්‍යකරුවකුට වැදගත් වෙන්නේ සදාචාරය සුරැකීම නොවේ, මනුෂ්‍යත්වය විෂයෙහි ආස්වාදනීය ඥානයක් පාඨකයාට අත්කර දෙන්න ප්‍රයත්න දැරීමයි.
කාන්තා චිත්ත සන්තානයේ ඇති අභ්‍යන්තරික ඝට්ටනය මේ ඔස්සේ ඔබ විදාරණය කරන්නට උත්සාහ කරනවා
මනුෂ්‍ය ජීවිතයක අති සංකීර්ණ ප්‍රශ්න කුඩා කාලෙ ඉඳලා තේරුම් අරන් තියෙන්නෙ කාන්තාවන්ගෙන්. මම වැඩිමල් සහෝදරියන් තිදෙනෙක් එක්ක හැදුණ කෙනෙක්. ගැමි සමාජයක හැදුණෙ. ගෘහණියක් හැටියට දරුවො ලොකු පිරිසක් ඇති දැඩි කරගෙන මගේ මව ජීවත් වූ අන්දම වයසින් වැඩෙද්දි මගේ හිතේ නිතර එකෙල මෙකෙල වුණා. විවාහය සමඟ කාන්තාවන්ගෙ ජීවිතවලට උරුම වෙන ‘සන්තාපය සහ නිශ්ශබ්ද වීම‘ මම වයසින් වැඩෙද්දි මගේ සහෝදරියන්ගෙන් වටහා ගත්තා. අනෙක් පැත්තෙන් මම මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. තරුණ වියට පත්වෙනකොට අප අතර ඇති වුණු සංවාද හැම එකකට ම සාහිත්‍ය කලාව මුල් වුණේ. සමහර මිතුරියන්ගෙන් ඔවුන්ගේ කතා විතරක් නොවෙයි, ඔවුන් දන්න කියන උදවියගෙ කතා හා ඒ ජීවිතවල අභ්‍යන්තර තතු දැන ගන්න පුළුවන් වුණා. ඒක සුහද කතා බස් අතරෙ සිද්ධ වෙච්ච දෙයක්. මං සාහිත්‍ය නිර්මාණයට අවතීර්ණ වුණාට පස්සෙ ඒ මතක අවදි වුණේ ස්ත්‍රිය විෂයෙහි සංවේදී හා ඉසියුම් ජීවන යථාව අවබෝධ කරමින්. වයසින් වැඩෙන විට, සම්ප්‍රදාය ඇතුළෙහි ජීවත් වෙමින් ජීවන ලාලසාව මැඬගෙන ඉන්න ස්ත්‍රීන්ගෙ අඳුරු අභ්‍යන්තරය මම තව තව තේරුම් ගත්තා. සමහර තේරුම් ගැනීම් නිර්ව්‍යාජ ආත්මභාෂණ.
ආත්මගත කම්පාව කාන්තාවකට ආවේණික ලක්ෂණයක්ද?
මගේ අවංක හැඟීම මේක අපේ සංස්කෘතිය සදාචාරය ඇතුළෙ උරුම කර තිබෙන ආකාරුණික දෙයක්. ජීවනයේ සන්තුෂ්ටිය හා නිදහස යන මැයෙන් මා ඈත කාලයක කතාවක් ඇහුවා. ස්ත්‍රීවාදී සාහිත්‍යය ගැන කතා කළ සම්මන්ත්‍රණයකදියි මං ඒ කතාව ඇහුවෙ. එතනදි අදහස් පළ කළ අය වැඩි දෙනෙක් මධ්‍යම පන්තියෙ උදවිය. ඉන් වැඩි දෙනෙක් ලංකාව ගැමි සමාජ පදනමනින් තමයි මතු වෙලා තියෙන්නෙ. ඔවුන්ගේ විවාහ බිඳ වැටීම, ලිංගික ජීවිතය නොසලකා හැරීම් කියන දේවල් ගැන අදහස් පළ කරන විට මට වැටහුණේ මනුෂ්‍යයකු විදියට ජීවත් වීමේ නිදහස හා සතුට සංස්කෘතිය හා සදාචාරය ඇතුළත ස්වාබාවික අන්දමින් උරුම නැහැ කියලා. යටත් වැසියන් සේ ජීවත්වීම සමාජය අපේක්ෂා කරනවා. අණසක පිළිගැනීමත් අපේක්ෂාව කරනවා. විවිධ හේතු නිසා විවාහය රැක ගැනීමේ බර හිස මතට පැටවිලා තියෙනවා. එනිසා පියවි ඇසට පේන ජීවිතය නෙමේ කාන්තාවකගේ සැබෑ ජීවිතය.
සාමාන්‍යයෙන් සදාචාර සීමාව නිසා ලාංකේය නවකතා ඇතුළෙ ලිංගිකත්වය; හරි පරිස්සමෙන් තමයි බොහෝ නිර්මාණකරුවන් සාකච්ඡා කරන්නේ. නමුත් ඔබ එය අතික්‍රමණය කරනවා?
මගේ වටහා ගැනීම අනුව මනුෂ්‍ය ජීවිතවල වැදගත්ම පදනම පවතින්නෙ ලිංගික ජීවිතය තුළ. එහෙත් කවදාවත් අපට ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අධ්‍යාපන ක්‍රමේ ඇතුළෙ සාධනීය ප්‍රයත්න දරලා නෑ. තරුණයෙක් හා තරුණියක් විවාහ ජීවිතයක් පටන් අරන් ලිංගික ජීවිතය අත්විඳින්නෙ ඒ සම්බන්ධ නිසි අවබෝධයකින් නෙමෙයි. තරුණ වයසෙදි කුහුල ශාරීරික ශක්තිය නිසා කායික අවශ්‍යතා පිරිමැහෙනවා ඇති. එහෙත් ලිංගිකත්වය මොළේටයි අදාළ. අනික සොබාදහමෙන් මනුෂ්‍යයාට උරුම ජීවන ආහ්ලාදයක් තමයි ලිංගික සංතෘෂ්ටිය. ඒක විවෘත හා ගෞරවනීය අන්දමින් දෙදෙනෙක් ලබනවද? විඳිනවද? මේ කාරණා ගැන මම මේ නවකතාවෙදි මාන හතරකින් සාකච්ඡා කරලා තියෙනවා. එදිනදි ප්‍රදීප්ගෙ මහප්පා හා ලොකු අම්මා, ග්‍රේස් නෝනා හා ඇගේ සැමියා, ප්‍රදීප්ගේ සහෝදරිය, ප්‍රදීප්ගෙ මවුපියො, ප්‍රදීප් හා විනීතා යන චරිත මම එක තලයක අදාළ වර්ණවලින් පාඨකයාගේ කල්පනයට නතු කරන්න උත්සාහ කළා. මේ වගේ වැඩක් සදාචාරයට බියෙන් කරන්න බැහැ. විවිධ මානවලින් මිනිස් ජීවිතවල අභ්‍යන්තරය නිරීක්ෂණය කරනකොට දකින්න ලැබෙන බොහෝ දේ සංකීර්ණයි. ස්ත්‍රී පුරුෂ සම්බන්ධ විෂයෙහි ප්‍රබලම සාධකය වෙන ලිංගිකත්වය විෂයය කොටගත් කාරණා සාහිත්‍යයේවත් කතා නොකරනවා නම් ඒ සමාජය කොතරම් අඳුරක ද තියෙන්නේ
ිනිසුන්ගේ චින්තනයට බලපෑම් කරනු ලබන පරිසර සාධකවලට මේ නවකතාවේ ප්‍රමුඛත්වයක් ලැබෙනවා. උදාහරණයක් විදියට මහප්පාගේ පවුල සහ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කෙරෙන විග්‍රහය ගත හැකියි.
කිසිම මනුෂ්‍ය ජීවිතයක් හුදෙකලාව පවතින්නෙ නෑ. හැම චරිතයකට ම අදාළ පසුබිමක්, පදනමක් තියෙනවා. එකම දේ ඒ පසුබිම හෝ පදනම ආවරණය වෙලා, නැත්නම් ආවරණය කරගෙනයි මිනිස්සු කටයුතු කරන්නෙ. මේ නවකතාවේ නිරූපිත විනීතාගෙ මවගේ චරිතය මෙහි සංකීර්ණ පැත්තක් විදහා පානවා. එතන මූලික සාධකය දුප්පත්කමයි. දුප්පත් තැනැත්තියකගේ රූප ශෝභාව නිසා ඇය බලයෙහි ගොදුරක් වෙන අන්දම හරිම ශෝචනීයයි. විනීතාගේ මවට එහෙම වුණාට ඇය ඇගේ දරුවන්ගේ ඉරණම සම්බන්ධයෙන් වෙන තැනක ඉන්නවා. දරුවන්ගේ අධ්‍යාපනයෙන් පිබිදීම ඔස්සේ තමයි ඒ ස්වාධීනත්වය හිතන්නෙ. එහෙත් අභාග්‍ය විනීතා එහිදි ධන බලය ඇතුළත ගොදුරක් වීමයි. එහෙත් ඇය තීරණාත්මක අවකාශයකදි කල්පනා කරනවා මගේ ජීවිතය මගේ කියලා. ඒ කල්පනය පිබිදෙන්නෙ අධ්‍යාපනයෙන්. අධ්‍යාපනය කියන වචනය මං භාවිත කරන්නෙ අවබෝධය කියන අර්ථයට මුල් තැන දෙමින්.
දෙවනුව මහප්පා හා ලොකු අම්මා. ඒ උදවියගේ ජීවිතවල දියුණුවට අදාළ වෙන්නෙත් අධ්‍යාපනය නැත්නම් අවබෝධය. අවබෝධය ඇතුළත සැඟවුණු කසළ ගොඩක් තියෙන්න බෑ. විවෘත වීම කියන්නෙ දියුණුවක්. පටු දෘෂ්ටිවාදවල සිරකාරයන් නොවීමට පුළුවන් එතනදි. මම දැඩිව විශ්වාස කරනවා මනුෂ්‍ය ජීවිතවල දීප්තිය උදෙසා අධ්‍යාපනය; අවබෝධය තමයි පදනම කියලා
පාපොච්චාරණ නිසා පොතට ආකෘතිකමය වෙනසක් ආරෝපණය වී තිබෙනවා?
පොතේ ආකෘතියෙහි වෙනස කතා වස්තුව තුළින්ම ඉල්ලා සිටි එකක්. කතා වස්තුව ආත්මභාෂණයක්. එහෙත් එය සාහිත්‍යමය වියමනක් බවට පත් කිරීමේදී පාඨකයා හා චරිත අතර සම්බන්ධතාවක් ගොඩනැඟීම අවශ්‍යයයි. එහෙත් ආරම්භයේ සිටම පාඨකයා තරමක් නොසන්සුන් වූ බව වැටහුණා. ඡේද නෑ. සංවාද තියෙන්නෙත් ආත්මභාෂණ ඇතුළෙ. පාඨකයාට ඒක හුරු නෑ. එහෙත් මුල් පිටු පහළොව කියවපු පාඨකයෝ ආකෘතිය අවුලක් කර ගත්තෙ නෑ.
සහෝදරයාගේ සෘජු යටිකය දැකීමත්, සැමියාගේ අප්‍රාණික යටිකය දැකීමත් නිසා පීඩාවට පත් වෙන ලොකු අක්කා ගැන ඔබ සැලකිය යුතු විග්‍රහයක් කරනවා. ඔබ ඉඟි කරනවා, ඇය තම මල්ලීට දක්වන අධිකාරිය ඒ ඔස්සේ ගොඩනැඟෙන බව
ප්‍රදීප් හා ඔහුගේ සහෝදරිය සම්බන්ධ සංකීර්ණ අත්දැකීම මේ කතාවේ තීරණාත්මක සාධකයක්. පුතා සහ මව වගේම බැඳීමක්; සහෝදරයා සහ සහෝදරිය සම්බන්ධයෙන් පවතින බවට මගේ ප්‍රබල නිරීක්ෂණ ගණනාවක් මෙතනදි අදාළ වුණා. එතනදි ස්ත්‍රියක පුරුෂයකු සමඟ දිවි ඇතිතුරා ගත කරන්නට කල්පනා කරන ජීවිතයට පොදු කාරණාවක් මං අරන් ඇවිත් තියෙනවා. ගැමි සමාජයේ ගැහැනියක් නිශ්ශබ්ද කෙනෙක් වුණාට, ඇගේ ජීවන ලාලසාව ජීවයෙන් උතුරන එකක්. ඒක මගේ නිරීක්ෂණය. ප්‍රදීප්ගෙ අක්කට ඉතා ප්‍රබල අත්දැකීමක් තියෙනවා. මම ඒක යටිපෙළෙන් මතු කළා. ඒක තමයි මව පියාට දැඩිව ආසක්තව සිටීම. ඒක ඉතාම ප්‍රබල හා සියුම් කාරණාවක්. මෙබඳු පසුබිමක ඕනෑම චරිතයක් ජීවිතයට අදාළ කාරණා නිහඬව කියවනවා. ඉතින් වයසින් මුහුකුරා ගිය තරුණ කෙනකු ලෙසයි ඇය, සිය සහෝදරයාගේ නිරුවත දකින්නෙ. එතැනදී ඇය තිගැස්සෙනවා. ඒකයි ඇය ප්‍රදීප්ට පහර දෙන්නෙ. ඒක සංකීර්ණ රූපකයක්.
මේකෙ අනික් පැත්ත ඇය තම සැමියා ලෙස තෝරා ගන්න කැමැති වුණු පුද්ගලයා ආරෝහපරිණාහ දේහයකින් යුක්ත පුද්ගලයෙක්. ඇයි ඇය ඒ පුද්ගලයාට කැමැති වෙන්නේ. එහෙත් ඇයට අත්විඳින්නට ලැබෙන්නෙ අභාග්‍ය සම්පන්න අත්දැකීමකට. ජීවත්වීමේ ආශාවෙන් මඬනා ලද ගැහැනියකගේ ශෝචනීය ඉරණම මෙහිදී මතු කරන්න මම උත්සාහ කළා. මිනිස් සිත පිළිබඳ සංකීර්ණ තත්ත්වයක් තමයි මෙහි නිරූපණය වෙන්නේ.
මෙහි වඩාත්ම යොදාගෙන තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. සාමාන්‍යයෙන් එය පක්ෂපාතී බවට දක්වන නැඹුරුව වැඩියි. නමුත් ඔබ නවකතාව වියමන් කිරීමේදී පරිස්සම් වෙනවා එහෙම නොවෙන්න?
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයේ යම් සීමා තිබෙන බව පිළිගන්නවා. එහෙත් නූතනවාදී සාහිත්‍යය ඇතුළෙ ඒ සීමා මැනවින් අතික්‍රමණය කර තිබෙනවා. මේ කතාව කියන ප්‍රදීප්ට අවශ්‍ය වන්නෙ තමන්ගෙ කතාව කියන්න. ඒ කතාව කියන්නෙ ඇත්ත කීමේ උවමනාවෙන්. එනිසා ඔහුට තමන්ගේ ප්‍රතිරූපය මතු කිරීමේ උවමනාවක් නෑ. ඔහු ඔහුට අවංකවයි කතා කරන්නෙ. එනිසාම උත්තම පුරුෂයේ මතු වෙන්න පුළුවන් සීමා අතික්‍රමණය වෙනවා. අනික් කාරණය තමයි, උත්තම පුරුෂයෙන් තමයි ආත්මභාෂණයක් ජීවමානව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නෙ. විරාගය, මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා යනාදි නවකතා අද වුණත් අපට කියවන්න හිතෙන්නෙ ඇයි? ඊට අදාළ වැදගත්ම කාරණේ තමයි පාඨකයා හා කෘතිය අතර අන්තරය තුනිවී යෑම. ඒක සාධාරණීකරණය වෙන්නත් පුළුවන්.
නවකතාව ඇතුළත සෑම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කිරීමට යෑම ඇතුළත පාඨක පරිකල්පනයට සීමා පැනවීමක් සිදු වෙනවාද?
මේ කතා වස්තුව ප්‍රබන්ධ කතා කාරයෙක් විදියට මං ප්‍රතිනිර්මාණය කළා. හුදු පරිකල්පනයේම නිර්මිතයක් නං කිසිම චරිතයක් සම්බන්ධ අනවශ්‍ය බරක් නිර්මාණකරුවකු ඔළුවට ගන්නෙ නෑ. සිදු වුණු දෙයක් ප්‍රබන්ධ අවකාශය ඇතුළෙ ගොඩනඟන කොට වැදගත් වෙන කරුණක් තමයි, පාඨකයාගේ විනිශ්චය. හොඳ පාඨකයෙක් තමන් කියවන නවකතාව කියවන ගමන් ම තමන්ගේ මානයෙන් ලියනවා වගේ දෙයකුත් කරනවා. ඒක ඒ කෘතියෙන් ම ලැබෙන උත්තේජනයක්. පාඨකයාගේ ප්‍රශ්න කිරීම් ගැන නිර්මාණකරුවෙක් නිර්මාණයේදී හිතන්න ඕන ද නැද්ද කියන එක සාපේක්ෂ කරුණක්. කාලයක් තිස්සෙ ප්‍රබන්ධ කතා රචනය අභ්‍යාස කළ කෙනකු විදියට මම ලියන කොට ලේඛකයා ලෙසත්, කෘතිය සංස්කරණය කොට පාඨකයා ලෙසත් භූමිකා දෙකක ඉන්න පුරුදු වුණු කෙනෙක්. නිර්මාණකරණයේදී මම නිදහස් රචකයා. සංස්කරණයේදී මම විනිශ්චයකාරයා. මගේ හැම කෘතියක්ම වරින් වර සංස්කරණය කරන එක මගේ පුරුද්දක්. මේ නවකතාවෙදි මට තව බාහිර බලපෑමකුත් තිබුණු බවත් කියන්න ඕනෑ. ඒක තමයි ප්‍රදීප්ගෙ කතාව මා අතට පත් කළ අයගෙ අදහස් හා විනිශ්ච.
සුමුදු චතුරාණී ජයවර්ධන