මෙවර සොයාගෙන කියවන්න කියා යෝජනා කරන්නේ එක පොතක් නොවේ. පොත් දෙකකි. එසේ කීවා නිවරදි නොවේ. එකම පොතේ පරිවර්තන දෙකකි. සංස්කෘත බසින් රචිත මුල් කෘතියේ නම ‘රත්නාවලී’ ය. එය මුල් බසින් ම සිංහලට නඟා ඉදිරිපත් කරන්නේ පියදාස නිශ්ශංක සහ පුලතිසි අලගියවන්න විසිනි. අලගියවන්න මහතාගේ කෘතියේ වම් පැත්තේ පිටුවල සංස්කෘත මුල් පිටපත ඇති අතර දකුණු පස පිටුවල ඒවායේ පදානුගත පරිවර්තන තිබේ. ඒ පොතේ නම ‘රත්නාවලී නාටිකාව’ වෙයි. නිශ්ශංක මහතාගේ කෘතියේ ඇත්තේ මනරම් සිංහල පරිවර්තනයයි. එහි ‘නාටිකාව’ වැනි විශේෂ සඳහනක් නොමැත.
ඉතින් මොකක්ද මේ ‘නාටිකාව’?
අපි බොහෝදෙනා නාට්‍ය ගැන දන්නෙමු. එහෙත් නාටිකා? ශ්‍රී හර්ෂ (ක්‍රිව 606 – 648) නම් රාජකීය නිර්මාණකරු විසින් රචිත රත්නාවලී වර්ගීකරණය කැර ඇත්තේ නාට්‍යයක් ලෙසින් නොව නාටිකාවක් ලෙසිනි. ඊට හේතු අලගියවන්න මහතාගේ කෘතියේ මෙසේ දැක්වේ.
“සකු ලකරැදුරන්ගේ බෙදීම අනුව සාහිත්‍යයේ දෘශ්‍යය හා අසන්නේ ශ්‍රව්‍යය’යිකොටස් දෙකකි. නරඹන්නේ දෘශ්‍යයයි; අසන්නේ ශ්‍රව්‍යයයි. රඟදැක්වෙන්නේ දෘශ්‍ය කාව්‍යයයි. ඒවාට රූපක යන නම ද වහර වෙයි. රූප හෙවත් නායක චරිත නළුවන්ට ආරෝපණය කර දැක්වෙන හෙයින් රූපකය යයි කියනු ලැබේ. නාටක, ප්‍රකරණ, භාණ, ප්‍රහසන, ඩිම, ව්‍යායෝග, සමාවාකාර, වීථි, අංක, සහ ඉහාමෘගා යයි රූපක (නාට්‍ය) වර්ග දහයකි.
ඒ හැර උපරූපක ද 18ක් වේ. නාටිකා ඉන් එකකි. එම ලක්ෂණ අනුව රත්නාවලිය නාටිකාවකි. සාහිත්‍ය දර්පණයෙහි නාටිකාවට දී ඇති විස්තරය රත්නාවලියට කොතරම් අනුකූල දැයි කිවහොත් එහි කර්තෘ රත්නාවලිය පමණක් ගුරුකොට ගෙන එය කරන ලද්දේ යැයි සිතෙන සුලු ය.
එම විස්තරය අනුව නාටිකාවක කතන්දරය අලුත් එකක් විය යුතු අතර සන්දර්භය කවියාගේ මැවීමක් විය යුතුය. උදයනගේ පුවත ධම්මපදට්ඨ කතා, කතාසරිත් සාගරය වැනි පැරණි වෘතාන්තවල එතත්, රත්නාවලියේ සඳහන් විදියේ කතාවක් ඉතිහාස වීරකාව්‍ය වැනි කිසි තැනක නැත. රත්නාවලියේ සඳහන් සිංහල රජු, රත්නාවලී කුමරිය, සිංහල රජ පවුල හා අවන්ති (උදේනී නුවර) රජ පවුල අතර නෑකම ලංකා ඉතිහාසයේ සොයාගත නොහැකි ය. උදයන, ප්‍රද්‍යෝත යන රජුන් විසූයේ ලංකාවට සිංහලයන් එන්නටත් පෙරය.
නාටිකාවක ගැහැනු චරිත වැඩි විය යුතු ය.
රත්නාවලියේ ඒවා අටකි. නාටිකාව අංක හතරකින් යුක්ත විය යුතුය. රත්නාවලිය එබඳු ය.
ඔබ මේ නරඹන්නට යන්නේ ශ්‍රී හර්ෂ රජ විසින් රචිත නාට්‍යයක් බව නාට්‍යයේ පළමු දර්ශනයේදී ම ප්‍රේක්ෂාගාරයට දැනුම් දෙනු ලැබේ.
මෙහි ප්‍රධාන චරිතය වන උදයන හෙවත් වත්ස රජ කොසඹෑ නුවර අගනුවර වූ රාජ්‍යයක පාලකයෙකි. දක්ෂ රණකාමී රජකු වූ ඔහුගේ රාජධානිය විශාල එකකි. ඔහුගේ බිසව වාසවදත්තා නමි. වික්‍රමබාහු නම් සිංහල රජු ඇගේ මාමා බව පැවසේ. මේ කියන ‘සිංහල රාජධානිය’ ලංකාවම ද යන කුකුස මෙතැන දී ඇතිවෙයි. උදයන රජුට තවතවත් රාජ්‍ය අත්පත් කැර ගන්නට නම් එවැනි හිමිකමත් ඇති වංශවත් තරුණ ළඳක් සරණ පාවා ගන්නට වෙති’යි අගමැති යෞගන්ධනාරායන රජුට දන්වයි. ඒ සඳහා සුදුසුම කුල කුමරිය වනුයේ යට සඳහන් වික්‍රමබාහු රජුගේ දියණිය වන රත්නාවලී බව පැවසේ. ඇය තමාට පාවා දෙන ලෙස දන්වා උදයන, වික්‍රමබාහු වෙත දූත පිරිසක් යවයි. එහෙත් ඒ රජුගේ අග බිසව සිය ලේලිය වන හෙයින් වික්‍රමබාහු එයට අදිමදි කරයි. මේ අතර හදිසි ගින්නකින් වාසවදත්තා මළ බව පණිවුඩකරුවෙක් පැමිණ පවසයි. එවිට සිය දුව උදයන රජු වෙත යවන්නට වික්‍රමබාහු රජු කැමැති වෙයි. ඒ අනුව පියා අගනා මිණිහරක් ගෙල පළන්දා පිරිවර සමඟ නැවක නංවා ඇය කොසඹෑ නුවර වෙත එවයි. අතරමග දී නැව මුහුදුබත් වේ. ලෑල්ලක එල්ලී පීනා එන කුමරිය ගලවා ගනු ලැබ යෞගන්ධනාරායනට භාර දෙනු ලැබේ. සියල්ල දන්නා යෞගන්ධනාරායන ඇය සාගරිකා ලෙස නම් කොට රජමාලිගාවේ සේවයට එක් කැර ගනියි.
වසන්ත සමය ඇරැඹේ. කොසඹෑ නුවර උත්සවශ්‍රීයෙන් ඇළලේ. නොයෙක් උත්සව පැවැත්වේ. ඒ අතර අනංග උත්සවය ප්‍රමුඛ ය. ඒ උත්සවයේ දී සාගරිකා උදයන දකින අතර ක්ෂණිකව ඔහුට ආදරය කරයි. සාගරිකා උයනක හිඳ උදයනගේ චිත්‍රය අඳිමින් ඔහු ගැන මනසින් එක්වෙමින් සිහින මවන්නී ය. ඇගේ විචක්ෂණ යෙහෙළිය වූ සුසංගතා ඇය සොයාගෙන පින්තූරය සියතට ගෙන රජුගේ පසෙකින් සාගරිකාගේ රුව අඳින්නී ය. සාගරිකා සුසංගතාට තම ආදරය ගැන හෙළි කරන අතර මාලිගාවේ සැළලිහිණියාට සංවාදය ඇසෙයි. එකෙණෙහිම පැන ගිය වඳුරකු නිසා වනයේ කලබලයක් ඇති වන අතර තරුණියෝ එතැනින් ඉවතට යති.
නොබෝ වේලාවකින් උදයන සහ ඔහුගේ මිතුරු විදූෂක උයනට ඇතුළු වන අතර සැළලිහිණියා තරුණියන්ගේ සංවාදය පුනරුච්චාරණය කරනු ඇසේ. සාගරිකා සහ සුසංගතා ඇඳ ඇති චිත්‍රය ඔවුන්ට පෙනෙන අතර එය උදයනගේ සිත පැහැර ගත් සෙයකි. මේ වන විට තරුණියන් දෙදෙනා ආපසු පැමිණ සැඟවී රජුගේ සහ විදූෂකගේ සංවාදයට සවන් දෙන අතර රජු සාගරිකා කෙරෙහි උනන්දු බව වටහා ගනිති. සුසංගතා උදයන සහ සාගරිකා එක් කරන්නට සැලසුමක් සකස් කරයි. එහෙත් වාසවදත්තා ද උයනේ ඇවිදින අතර ඇය චිත්‍රය දකින්නී ය. කෝපයට පත් වාසවදත්තා සුසංගතාගේ සැලැස්ම විනාශ කරන අතර උදයනගේ සැනසුම් බස් පිළිකෙව් කොට උයනෙන් පිටව යයි.
තුන්වන යාමයේදී විදූෂක සහ සුසංගතා උදයන සහ සාගරිකා හමුවකට සැලැස්මක් සකස් කරයි. සාගරිකා වාසවදත්තා ලෙසත්, සුසංගතා ඇගේ සේවිකාව ලෙසත් වෙස්වලාගෙන සිටිති. කෙසේ හෝ වාසවදත්තා බිසව මෙම සැලසුම ගැන දැනගන්නා අතර උදයන හමුවීමට ද යයි. මුලින් ඔහු වෙත ළඟා වන්නේ වාසවදත්තා ය. එහෙත් උදයන ඇය සාගරිකා ලෙස වරදවා ගෙන තමා ඇයට ආදරය කරන බව ප්‍රකාශ කරයි. වාසවදත්තාට දෙවන වරටත් උදයන කෙරෙහි දැඩි කෝපයක් ඇති වී ඔහුට නින්දා කර පිටව යයි. තම සැලසුම නැවතත් ව්‍යර්ථ වී ඇති බව දැනගත් සාගරිකා ගෙල වැලලා ගෙන සියදිවි නසා ගන්නට තැත් කරන්නී ය. මේ අතර උදයන සැබෑ වාසවදත්තා සොයමින් සිටින අතර මරු වෙත යමින් සිටින සාගරිකා සොයාගනී. ඒ වාසවදත්තා කියා සිතන ඔහු ඇය ගලවා ගනී. පසුව එකිනෙකා හඳුනා ගන්නා දෙදෙනා අන්‍යෝන්‍ය ආදරය පළ කැර ගනිති. හරියට ම ඒමොහොතේ ම වාසවදත්තා සන්සුන් වී උදයන වෙත පෙරළා පැමිණෙන්නේ සංහිඳියාවක් සඳහාය. සාගරිකා සහ උදයන එකට සිටිනු දැකීමෙන් තුන්වන වරටත් කෝපයට පත් ඇය සාගරිකා සිරගත කරයි.
හතරවැනි අංකය ඇරැඹෙන විට වාසවදත්තා විසින් සාගරිකා සිර කරනු ලැබ ඇත්තේ කොහේද’යි කිසිවෙක් නොදනිති. හදිසියේ ම රාජකීය අන්තඃපුරය ගිනි ගන්නා පුවතක් අසන්නට ලැබේ. තමා සාගරිකා එහි සිර කළ හෙයින් වාසවදත්තා පසුතැවිලි වන බව පෙනේ. සාගරිකා බේරා ගන්නා ලෙස ඇය උදයනගෙන් අයැද සිටියි. උදයන සාගරිකා සමඟ ගින්නෙන් නිරුපද්‍රිතව එළියට එයි. මුළු ගින්නම මැජික්කරුවකුගේ උපක්‍රමයක් බව පසුව අනාවරණය වේ. මෙම ආතති සහගත මොහොතේ සාගරිකා යනු සිය ඥාති සොහොයුරිය වන රත්නාවලී බව වාසවදත්තා හඳුනා ගන්නී ය. යෞගන්ධරායන පෙනී සිටිමින් මෙය තමාගේ සැලසුමක් බව හෙළි කරයි. අවසානයේ බිසව මැදිහත් වී සිය සැමියා වන උදයනට ඔහුගේ පෙම්වතිය පාවා දෙයි.