රැය ගෙවෙයි
සඳුටත් හොරෙන් විත් එබිකම් කරන ඝනඳුර
තවත් දවසක් නිමාකළ බව කියයි අපහට සොවින්
වීදි කොන පටන්ගත් පිඟන්වැට දැල්වෙයි හෙමින්
හිරුගෙ රතු සෙවණැල්ල නිවාගෙන යන ලෙසින්
ළා එළිය මත එබෙන රුසිරු අබිසරු ලියන්
මුවාකොට විජිනිපත් රතු කොපුල් තල වසා
ඉඟි කරයි විටින් විට තුරුණු ගැටයකු බලා
නෙතු අගින් ඉඟි මවා සිවුරුහන් කොට සෙමින්
කලා සොලසින් සපිරි පුරා සඳ නුඹ මැදය
පුරඟනන් වෙහෙසකොට දැමුණු ඉඳුරන් වෙතින්
ගත පෙළන විඩාවට මී විතක් සොයා යයි
පිටුවහල් කළ ගෙහිමි අඳුරු සෙවණැලි මැදින්
බ / පල්ලියපිටියේ – සෝමරත්න හිටිහාමි
ස්වාමීනි
කවුළු, දොරගුළු, අසුන්
හඬ ද, පාට ද, මහා පොත් ද
වදන් හරබර,
නොවෙනස්ය.
නොදැනෙන, නොසොයන
යන එන උතුමන් බොහෝය,
එරෙහි උන් දුරක
නොපෙනෙන,
මහ පොළොව ඉර හඳ
සුළං අව් රැළි දිය බිඳු
ගමනක්ය, නොනවතින,
සතර දෙස සැරිසරන
අයුක්තියේ මහා හඬ
සිරකොට, සිරකොට
“යුක්තියේ දෙවඟන”
“තිස් අටයි, තිස් අටයි”
“අසු අටයි, අසු අටයි”
සමාවනු මැන,
“ස්වාමීනී”
“ස්වාමීනී”
නීතිඥ කීර්ති කපුවත්ත – රිදීගම
25 වැනි ගුණ සමරුව වෙනුවෙනි වතුගෙදර තුංග හෙට්ටිහේවා කිවිඳුනි!
උසස් ම කවියන් ඇසුර ලබා ඒ තැනට කිට්ටු වුවා
හදිස් සියේවත් කිසි දා නො කළෙහි වන්දි බට්ට සේවා
දෙඇස් කඳුළු තෙත් කළමුත් නො දනිති තවම රට්ටු ඒවා
සරස් වතී සෙවණින් පිට වී ගොස් තුංග හෙට්ටි හේවා
හදවත් නැති අය හදවත් රිදුමෙන් නො මියෙයි ඔබ වාගේ
ඔබටත් පපුවක් තිබුණ නිසයි අවි ගැටුණේ මරුවාගේ
සිඳුණත් ගිනි ගත් නියඟෙට හසු වී කවි ගඟ ගිය වේගේ
තවමත් හිනැහී කතා කරන හඬ රැව් දෙයි කවියාගේ
සඳුන් වනේ ගස් එක එක වැටුණොත් මේ ලෙස කොළඹ යුගේ
නැවුම් සුගන්දය ලොවට බෙදන්නේ කෙ ලෙස ද? අපට හැඟේ
අදින් පසු ව තව හොඳින් දැනෙනු ඇත කිවිඳුනි ඔබගෙ අගේ
නිවන් දකින්නට කලියෙන් හමුවෙමු නැවතත් සසර මගේ
ප්‍රධාන ලේකම් – ජී.ඇම්.අජිත්
පුතු දිලේවා
වැලක දැවටී දිලෙන රන් මලක් සේ පුතු දිලේවා
සතුට සාමය සමඟ සම්පත හදවතට ඔබෙ ළඟා වේවා
සරණ තෙරුවන් සමඟ දෙව් රැකවරණ ඔබ හට ලැබේවා
පොසොන් මස තුන්වෙනි දිනට සුබ උපන් දිනයක් වේවා
සුනේත්‍රා විජේරත්න
අතීතේ මොහොතක්
සුදු සඳ පිපෙන විට නිල් අහසේ ඉහළ
මුදු සිතුවිලි පිරේ හදවත තුළ නිසල
බිඳ බිඳ වැටෙන තුසරෙහි නැතුවා සිහිල
ඔබ මා හමුව සිහිවී ගැලුවා කඳුළ
අඩ සිය වසකි සිනහව මට අහිමි වෙලා
සැඬ හිරු කිරණ යයි මා හද පතුල පලා
සෙනෙහස පිරූ දිවියෙහි මල් මිලින වෙලා
යළි යළි සිත වසා මතුවෙයි අඳුරු වලා
සංහිඳියාව සංතෝෂය නිදන් කළ
මන්දිරයක් වීය හදවත පහන් කළ
සන්සුන් දිවිය කටු රැහැණින් වසන් කළ
අන්දම සිහිව නෙත වැසුවා කඳුළු වැල
කුසුමා වර්ණසුරිය
අම්මාවරුනි!
මවත් විතර නැත වෙන සෙනෙහස දෙන්න
ඇතත් වැරදි මවකට දොස් නොකියන්න
දුකක් නොදී දිවි ඇති තෙක් සුරකින්න
පිනක් ඒක ඔබෙ දිවි මග සරුවෙන්න
හඬා වැටෙන වැඟිරෙන උණු කඳුළු නෙත
සැබෑ සෙනේ මව් සෙනෙහස අතර ඇත
දිවා රැයේ වෙහෙසෙන දරු සුවඳ මත
වැදු මවට සමකළ හැකි කෙනෙක් නැත
විෂමයි සමාජය ගුණ දම් ඈත් වෙලා
දූ දරු මාපියන් සෙනෙහස දුරස් වෙලා
වියපත් මවගෙ සුන්දර සුදු මුහුණ වෙලා
මහ මඟ දමන්නට දරු සිත් කෲර වෙලා
පානදුර – වඳුරන්මුල්ල වත්තේ
ලයනල් ජයලත්
අම්මා මට සසරක්
පෙර පාසලෙන් දුන් දිග නිවාඩුවක් ළඟ
අම්ම කිව්වා උදේ අහස කළු කරන් වග
සතුට උතුරන් හිතේ තුරුළු උනෙ අම්ම ළඟ
හිතින් මැතිරුවෙත් මම වැහැල උතුරන්න ගඟ
අම්මා ඇතිදා ගෙදර හිතට හරි හයියක්
නොකඩවා වැස්ස වැහි පුරාවට සතියක්
හාමතේ ඉන්න කොට ඉදහිට රොටියක්
අන්තිමට ඉතුරු වුණේ කෝප්පයෙ කහටක්
රබර් කට්ටියේ දැන් කූඩැල්ලො පිරීලා
අම්ම කීවේ දෙපා සබන්වල පොගෝලා
ගඟේ වතුරත් කෙමෙන් ටිකෙන් ටික අඩු වෙලා
නොදැනීම මටත් දිග සුසුම් පිට කළා
රබර් කිරි චීත්තෙට ගුලිවෙලා තවමත්
හිටිය හැටි සිහිවෙද්දි ඒ දවස් අදටත්
ජීවිතේ කම්කටුලු වැටුණු කඳුළකටත්
අදත් මගෙ ළඟ ඉන්න අම්ම මට සසරක්
ශම්මි ගයාන්
ජීවිත සරදම
වැරදුණු තැන් තිබේ නිවැරදි කළ නොහැකී
මේ ආ ගමන් මග රහසකි ලොව ට නොකී
නිකැළැල් සොඳුරු පිවිතුරු බව ලොවම දකී
එනමුදු මගේ දිවියම මට සරදමකී
බැඳුණා අහෝ බැඳුණා විඳවන පහසේ
වැටුණා හඬා වැටුණා ලොවටම රහසේ
මැවුණා මැවී මැකුණා සිතිවිලි සහසේ
බිඳුණා බිඳි වැටුණා මන්දිර අහසේ
මිතුරු තුමෝ බිතු සිතුවම් සේ පැවති
එකෙකා දිනෙන් දින ලොව හැර දමා යති
ආ ගිය තැනින් තැන පියවර ලකුණු ඇති
මට තව දුරක් යනු බැරි තරමටම හති
සාලිය ගුණවර්ධන – පූජාපිටිය
නොමිනිස්සු
බත්පත එකට එක තැන හිඳ කන අයම
ගිනිදලු දිය යටින් අරගෙන යන අරුම
තිබහට දිය පොදක් අයදින අත් දෙකම
තොලකට තෙමුණු පසු ගෙල මිරිකන පුදුම
එක ඉර එකම හඳ එළියේ සිනහ වෙතී
ඉර හද නොදැන අඳුරේ උන් මරා ගතී
මව්කම පවා මිල මුදලට අලෙවි වෙතී
මිනිසා මිනිස් ගති අතහැර පළා යතී
යටිවාවල – ගාමිණි චන්ද්‍රසේන
ඒ අපේ පළමු මුහුදු සවාරිය
ඉන්දියන් මුහුද නිසලව තිබුණ
යාත්‍රා කරන්න පුළුවන් විඳියට
ඕනෑම නැවකට
ඒත් රුවල් ඔරු
නිසලයි
හුළඟ සැර නෑ පැද්දෙන්න
මම නිසල මුහුදට ආසයි
වතුර බොරවෙනව කුණාටුවකට
නිසල මුහුදක් කියන්නේ
කුණාටුවක අවසානය
ඒ තමයි ඔහුගේ උත්තරය
අපිට බැරිද වැල්ලේ වැතිරිලා
ඔහේ බලන් ඉන්න
ඒ මගේ ආසාව
මුහුද තියෙන්නේ කිමිදෙන්න
ගිලෙන්න පාවෙන්න
වතුර පෙවිල වමාරන්න
කවුද ළමයෝ
පනිට්ටුවෙන් වතුර හලාගන්නේ
නාද්දී මුහුදේ ඔලුවට
අවසන් වචන ඇහෙන්නත් ඉස්සෙල්ල
එයා මාවත් ඇදන් පැනල මුහුදට !
රසිකා මුහන්දිරම්ගේ