Home » සිහිලැල් අරණක ගිනියම් සිහිනය

සිහිලැල් අරණක ගිනියම් සිහිනය

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

සාවියේ උස් වහල, කැරකෙන විදුලි පංකා, ඉන් සමහරකින් නැඟෙන කිරි කිරි නාදය, අන් සියල්ලම නිශ්ශබ්දයි.

ඇස්…. ඇස් දහසක් තුෂ්නිම්භූත වෙලා හෙලවෙන්නෙ නැති හිස් ගොඩක්, මොකද මේ රැස්වෙලා ඉන්නේ ජීවිතයකට තීරණයක් දෙන හැටි බලන්නද? කාලකන්නි දන්නවද මේ ජීවිතය ණයට ගත්ත එකක් බව මගේ වගේම උන්ගෙත්.

‘හිත නිවාගනින් ඇයි මේ කේන්ති ගන්නේ’

ආදරණීය මගේ හිත… තට්ටු කළා මගේම හිතට… ආදරණීය තට්ටුවක්, හැමදාම වගේම මගේ ළඟ හිටපු මගේම හිත… තනි කළේ නෑ කවදාවත් මාව,

‘මම උඹට ආදරෙයි හිත. මට ටිකක් කේන්ති ගියා. මේ ඔක්කොම ඇවිත් ඉන්නේ මගේ ජීවිතය තීරණය කරන්නද? ඒත් ඒක අයිති මට, මට විතරක්ම අයිති දේකට කොහොමද තවත් කෙනෙක් තීරණ ගන්නෙ’

හිත ආයෙමත් පිරිමදිනවා මගේ හිත, හිත කියනවා හෙමිහිට හිත හැදෙන්න.

‘එහෙම තමා මිනිස්සු, මේක අමුතු තාලේ නඩුවක්, ඒකයි මේ එයාලා බලන්න ආසාවෙන් ඇවිල්ලා ඉන්නෙ, එයාලා කැමතියි ලේවලට, කඳුළුවලට, බලන්න මොන තරම් මිල අධික ද? උඹට ඒකට මිලක් දෙන්න තියා හිතන්වත් බෑ, හිත හදාගනින් උඹ මේ දේට මූණ දෙන්නම වෙනවා’.

මීයට පිම්බාක් මෙන් සියල්ල නිශ්චලයි. හදවතින් ගලන උණු ලේ උසාවිය පුරා ගලා යනවා. මිනිස්සු මගේ පපුව දිහා බලනවා. පපුව මැදින් උනන ලේ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. සමහරුන්ගේ ඇස් ගිජුලිහිණියන්ගේ වගේ, පැමිණිලි කූඩුවේ ඉන්නවා මගේ හදවත පසාරු කළ මිනිහා, මලානික ඇස් දික් කරන් බලාගෙන ඉන්නේ. ඒ ඇස් බොර පාටයි. මූණ මහතයි. සුදු පාටයි. මම කිව්වෙ කිරි හොදි පාට කියලා. ඒත් මම කැමති වුණා ඒ පාටට.

මිනීමරුවෙක් පැමිණිලි කූඩුවේ, තමන්ට පණ වගේ ආදරය කළ ගැහැනිය අමු අමුවේ මරා දැමූ. එයා බලාගෙන හිටියා. බොර පාට ඇස් රතු පාට වුණා. එක අතක් හෙලවුණා. ඉහළට එසවුණ ඇඟිලි අතර කිණිස්සක්, ඒකෙ පුරාම ලේ, මගේ ලේ, මගේම ලේ.

මිනිමරුවෝ ආයුධ අරගෙනම උසාවියට ඇවිල්ලා. එයාගේ අතින් මැරුම් කාපු මම ජීවමානව උසාවි ඇවිල්ලා උත්තර දෙන්න. හිත හරි, පුදුම නඩුවක් තමයි මේ. මම කලබල නෑ, හිත කලබලත් නෑ. ඇයි කලබල ඇත්ත කියන්න, එයා මගේ දිහා ආපහු බැලුවා. ඒ ඇස්වල තිබුණේ දුක ද සතුට ද කියලාවත් මට හිතාගන්න බෑ. මොනවා උනත් මොකටද. දැන් මොනවටද, වෙන්න ඕන හරිය වෙලා ඉවර නේ.

දිවුරුම් දුන්නා හදවතට අත තියලා අත පුරාම ලේ, හරිම උණුසුමක් දැනුණා ඒ අම්මාගේ උණුසුම, කිසිම අඩුවක් නැතිව දැනුණ තාත්තාගේ ආදරය.

ප්‍රශ්න කිරීම පටන් ගත්තා, පළමුව මගෙන්

“යුෂ්මතිය වැරදිකරු ද නිවැරැදිකරු ද”

‘කුමක් සම්බන්ධයෙන් ද ස්වාමීනි’

පැමිණිල්ල දෙසට හැරෙමින් ‘මේ අහිංසක මිනිසා මිනීමරුවෙක් කළ කාරණයට’ ශාලාව පුරා ශෝකී රාවයක් නැඟුණි. අනුකම්පා ඇස් දහසක් එයා වටකරගෙන, අනේ සමහර ගැහැනුන්ගේ ඇස්වලත් කඳුළු,

‘නිවැරදිකරු ස්වාමීනී’ මම බොහෝම හෙමින් පැවසුවා. උසාවි භූමිය නොසන්සුන් විය. නොයෙක් ශබ්ද කෝප දීප්ත ඇස් මා වෙත එල්ල විය.

‘නිශ්ශබ්ද වනු’ සියල්ලෝම හැකිළිණි.

‘නිවැරදිකරු වීමට හේතු’ විනිසුරුගෙ බැල්මත් හරහට වගේ

‘මම ඔහුට ආදරය කළා ඔව් හදවතින්ම’

‘හහ්’ අවඥා බැල්ම හා සිනහව එයාගෙ මුව පුරා මා නිරතුරුවම දුටු,

‘මැය පවසන්නේ සත්‍යයක්ද?’ ප්‍රශ්නාර්ථ දෑසින් පැමිණිල්ලෙන් විමසූ විනිසුරුවරයා දුටුවේ වියැකී යන සිනාවක් සහිත මුහුණකි. මුහුණ ගස්සා කිණිසි අත මඳක් ඔසවා

‘ඔව් එයා මට ආදරෙයි… ඒත් මම කැමති වුණේ නෑ… ඒ ආලයේ ආලවට්ටම් නෑ; ඒක නීරසයි. කොටින්ම කියනවා නම් ස්වාමීනී එයා කොන්දේසි මාලාවක් දැම්මා, මම එකඟ නෑ’

‘පැහැදිලි කරන්න තව ටිකක්’ පැහැදිලි කිරීම් දෙපැත්තට විසි වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. අමුතු මාදිලියේ නඩුව,

මට ඉකිබිඳිණි. ‘මට බෑ එයා පාවා දෙන්න ඒකට මට හිත හදාගන්න බෑ මම කවදාවත් එයාට විරුද්ධව කතා කරලා නෑ, එයාත් ඒක දන්නවා, මට බෑ’ මං හිත බදාගෙන ඇඬුවා.

‘ඒත් ඒක කරන්නම වෙනවා’ හිත මහිත පිරිමැදීය. මං හිස ඔසවා අමාරුවෙන් මිමිණුවා. විනිසුරුතුමාට ඇහුණෙ නෑ. එතුමාට තරහා ගියා

‘කට ඇරලා හයියෙන් කියනවා’ කිසිම තෙතමනයක් නැති හඬ, මං තිගැස්සුණා. එයාට තරහා ගියාමත් ඔහොමයි. මං විනිසුරුතුමා දිහා බැලුවා.

‘එදා ලස්සන හැන්දෑවක් ඉර බැහැගෙන යනවා. කුරුල්ලො අහස පුරාම, උන් කූඩුවලට ඉගිලෙනවා. නිල්වන් ගොයම උඩින් උන් රංචු පිටින් කුරුල්ලො ඉගිලුණේ තුඩක් වගේ හැදිලා පේළියට. කුරුල්ලො ගියේ ආදරය උණුසුම හොයාගෙන. අහස රන්වන් පාටයි. මං රන්පාට අහස ලස්සනයි කීවාම එයාට හොඳටම තරහා ගියා.’

‘ඇත්තනේ ඔය වැල්වටාරම් අහන්නයැ ඔය වගේ තැනකට යන්නෙ විකාර, ඊට පස්සෙ’ විනිසුරුතුමාගේ කතාවට එයා ඉපිලුණා සතුටෙන්,

‘එයා මුළු අහස පුරාවටම ගෑවා අමිහිරිම දම්පාට’

‘ඔව් මම එහෙම කළා; මට ඕන වුණේ එයාගේ කම්මුල්, නළල, තොල්, දිගු ගෙල, දම්පාටින් හැඩ කරන්න. එයා ඒකට කැමති වුණේ නෑ. මට කේන්ති ගියා මම කේන්තිය නිවෙනකම් අහස පුරාම ගෑවා ඒ ලස්සනම දම්පාට’ එයා හිනාවෙවී කිව්වා.

‘එයා කිව්වා නා දලු ලස්සනයි කියලා’ මං මිමිණුවා.

‘ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ’ විනිසුුරුතුමා ඇසීය.

මට කෑ ගැසිණි ‘මට ඕන උනේ ඒක ගහේ තියෙනකොට ඒවායේ ලස්සන බලන්න. ඒවා එක්ක කතා කරන්න එයාට ඕනේ වුණේ ලස්සන බලන්න නෙවෙයි පොඩි කරන්න, කීතු කරන්න’

‘සාමාන්‍ය දෙයක්’ විනිසුරුතුමා අවධාරණයෙන් පැවසුවා. මට පුදුම හිතුණා.

මං විනිසුරුතුමා දිහා රවලා බැලුවා මට කෑ ගැස්සුණා ‘ස්වාමීනී ඔබත් පිරිමියෙක්; වෙනසක් නෑ’

‘උසාවියට චෝදනා කරනවද…? යුෂ්මතිය’ පිරිස නොසන්සුන් වුණා.

‘උසාවිය නිහඬ වෙනු’

මං හැමදාම වගේ කතා කළා හෙමින් හිතට. වෙනදා වගේම අහගෙන හිටියා හිත. මට ඕන වුණේ මගේ දුක කියන්න, සතුට බෙදා ගන්න, ජීවිතේ බෙදා ගන්න. කවියක් කතාවක් චිත්‍රයක් රස විඳින්න, සින්දුවක් කියලා සතුටෙන් ඉන්න. ඇයි ඒක තේරුම් නොගත්තේ. ඒ අතරේ එයාගේ උරහිසට හේත්තු වෙලා ඉන්න, ඉන වටේ අත ඔතාගෙන පපුවට හිස තියාගෙන ඉන්න, ඒ වෙලාවට එයා මාව සිපගත්තට කමක් නෑ, මං කවදාවත් ඒක එපා කියන්නෙ නෑ, මමත් ඒකට කැමතියි,

මට ඉකි ගැහුණා. මේ ටික මං හැමදාම කිව්වා. මගේ හිතට හිත මගේ හිස හෙමිහිට පිරිමදිනවා, ආදරෙන් කියනවා ‘එයාලට බෑ තේරුම් ගන්න, මේ දේ තේරුම් කරන්න ගියාම හැමදාම වගේ දැන් මා එක්ක රණ්ඩු කරන්න එපා. ඇත්ත ඒකයි. හුඟාක් කලාතුරකින් එහෙම කෙනෙක් ඉන්න පුළුවන් ඒත් බහුතරයට බෑ. දැන්වත් මේ අවසන් තත්පරේදීවත් තේරුම් ගන්න. ඔයා හොයන මටසිළුටු ආදරේ හැමෝ ළඟම නෑ. හැමෝටම ඒක දෙන්නත් බෑ, දෙන්න ගොඩක් අයට තේරෙන්නෙත් නෑ, තේරුම් ගත්තත් එයාලා ආත්මාර්ථකාමීයි.

පුරුදු ලෙසම මං හිත තල්ලු කළා, මට කේන්ති ගියා. මට කෑ ගැහුණා. මට ඕන වුණේ නෑ එයාගේ දණහිස්වල කිටි කිටියේ හිරවෙන්න. මට බෑ එහෙම වෙන්න. මට පුළුවන් නම් ඇයි එයාට බැරි, හැඟීම්වලට වහල් නොවී ඉන්න, ඇයි ආදරය ආධ්‍යාත්මිකව විඳින්න බැරි, කඳුළු මේ තරම් සීතල බව මට අද තමයි දැනුණේ. මං ආයෙමත් මගේ හිත බදා ගත්තා. සුපුරුදු ලෙසම හිත සුසුම් හෙලමින් මගේ හිස පිරිමැද්දා.

ජීවිතේ හැමදාම තිබුණු හිඩස ඒක ඒ විදියටම හිස්ව තිබුණා නම්, ඒ රික්තයට එයා ඇතුළු නොවුණා නම්, ඒත් ඒක සිද්ධ වෙලා ඉවරයි, ඒ හිඩසෙ බිත්ති පහුරු ගෑ තරමට තාමත් කකියනවා.

එයා කවදාවත් දැනගෙන හිටියෙ නෑ. මේවා එයාට කවදාවත් අහන්න ඕන කමක් තිබුණෙත් නෑ, ඒක නිසා මං කිව්වෙත් නෑ. හැමදාම උදේට මම ඇස් දෙක ඇරියෙ එයාගේ මතකයෙන්. මං නින්දට ගියෙත් එයාගෙ මතක අරගෙන, මට පෙනුණෙ එයාගේ හිනාව. මගේ උණුසුම එහෙ මෙහෙ වෙනකෙට පුංචි දෝණි නිදිමතේ මාව හොයන එකවත් මට දැනුණෙ නෑ. මං හිටියෙ වෙනමම තැනක එයා ළඟ,

දෝණිගෙ එහායින් ඔහු වැතිරිලා මගේ නීත්‍යානුකූල අයිතිකාරයා, තද නින්දක, හෙමිහිට හුස්ම ගන්නවා, ඇයි මට ඒ හුස්මක රිද්මය නොතේරුණේ ඇයි මං ඒ රිද්මය තේරුම් ගන්න උත්සාහ නොගත්තෙ, මට මැදහත් සිතින් ඒ හුස්ම ගණන් කරන්න බැරි වුණේ ඇයි, ඔහු හොඳ කෙනෙක් බව මට දැනගෙන හිටියේ, ඒත් අවාසනාවට ඔහු මට ඕනම දේ දැනගෙන හිටියෙ නෑ.

මොකක්ද? මට ආදරය ඕන විදිය, මට ආදරය කරන විදිය, මගේ පාළුව, තනිකම, මට ඒක දරාගන්න බැරි වුණා, මම හිත එක්ක කියවන්න පටන් ගත්තා. මට පාළුයි මම හිත බදාගෙන අඬන්න පටන් ගත්තා, එදා හිත හොඳටම බය වුණා. හිතවත් දැනගෙන හිටියෙ නෑ මම ඒ තරම් ආදරය හොයන බව.

‘යන්න එපා. මම මේ තරම් කාලයක් පරිස්සම් ක‍ෙළ් මේ දේ කර ගන්නද? නවතින්න, රත්තරනේ නවතින්න, මම කියන දේ අහන්න, ඔය ගිනි ගොඩකට පනින්නේ ඔහොම නවතින්න’ හිත වාවගන්න බැරිව ලතෝනි දෙන්න ගත්තා. මට ඇහුණා, මං නෑහුණා වගේ ඈතටම ගියා. මට පාර නොපෙනී ගියා. මීදුමක් වගේ අඳුරක් තිබුණා. හිරිගඬු පිපෙන සීතලකුත් තිබුණා. මං පහුකරගෙනම ගියා. මං ගියේ අරණකට, සඳ දිලිහි දිලිහී තිබුණා. පුදුම ලස්සනක්, බිම් කඩම සඳ එළියෙන් නෑවිලා. මට හිතාගන්න බෑ. පුදුම සතුටකින් හිත පිරිලා.

මම හැමදාම දැකපු හීනෙ අද හැබෑවෙලා කියලා මං හිතුවෙ, හිත යට හිත නොදැකම මගේ මේ සඳ රැසින් නැහැවුණු අරණ නිසංසලව තිබුණා, එයා හෙමින් හෙමින් හිතට හොරාම හඬ නොනැඟෙන්න ඇවිද ගෙන ආවා, එතකොට මම සිටියේ ගල් තලාව මත දිගාවෙලා අහස දිහා බලාගෙන. සුරංගනාවියො තරු අතර ඇවිදිනවා, තරු කඩලා මාල ගොතනවා, ඒත් එක පාරටම සුරංගනාවියො කලබල වෙලා ගිහින් සඳට මුවා වුණා, මට පුදුම හිතුණා. මම වටපිට බලනකෙට දැක්කෙ එයාව, ළඟට එනකම් මම දැක්කෙත් නෑ. ඒත් ඇයි සුරංගනාවියෝ එයාට බය වුණේ, මං එයා දිහා බලලා හිනා වුණා, මගේ ඇස්වලින් ආදරය උතුරන්න ගත්තා, සඳ එළිය වගේමයි, මං දුටු අසිරිය එකින් එක කියන්න පටන් ගත්තා, ඒත් එයාට ඒවා අහන්න ඕන වුණේ නෑ, එයාගේ ඇස් දිළිසෙන්න ගත්තා. මම කවදාවත් දැකලා නොතිබුණු ඒ ඇස්වලට මං බය වුණා. ඒවා රතු පාටයි. අහසේ තරු එකින් එක නිවෙන්න පටන් ගත්තා. මෙතෙක් වෙලා හෙමි හෙමින් හමා ගිය සුළඟ මගේ ඇඳුම් සී සී කඩ දාන්න සූදානම් වුණා. එයාගේ ඇඟිලි තුඩු මගේ උරහිස් තෙරපන්න ගත්තා, ඉවසීමක් නැතුව එයාගේ හුස්ම මගේ මුහුණේ අතොරක් නැතිව වදින්න වුණා, සඳ කළු වළාවක හැංගෙනවා මං යාන්තමින් දැක්කා. කහපාට මාළුවගේ ඔලොක්කු හිනාව සුරංගනාවියෝ දුව ගොස් සැඟවුණ හැටි යළිත් මට මැවී නොපෙනී ගියා, උන් කලින්ම දැනගෙන, මම දෑත් විසිකර වේගයෙන් නැගී සිටියා මතකයි, ඔහු විසිවෙලා ගියා. මං දැක්කා ඒ දෙ ඇස් රතුම රතුපාටයි. කෝපයෙන් පිරිලා.

‘මොකක්ද මේකෙ තේරුම පිස්සුවක් නේ’ එයා බෙරිහන් දුන්නා. මං කන් දෙක තදින් වසා ගත්තා. දුවන්න ලෑස්ති වුණාට මගේ දෙපා වෙව්ලන්න ගත්තා, ඒත් මං දහිරිය ගත්තා. ඒ වෙලාවෙම මගේ හිත මගේ ළඟට ඇවිත් මාව බදා ගත්තා, මම හිතට තුරුලු වුණා. හිත දාඩියෙන් නෑවිලා. හති අරිනවා තවමත්, කොයි තරම් දුරක් මගේ පසුපස ඇවිත් ද, ඉකි බිඳ බිඳ හිතෙන් සමාව ඉල්ලුවා, හිත ආදරෙන් මගේ හිස අතගෑවා. ආදරයෙන් ඇහුවා

‘ඇයි මගෙන් මේ දේවල් හැංගුවෙ ඇයි මට හොරා ආවේ.’ කියන්න ලැබුණේ එච්චරයි, එයා සාක්කුවෙන් ගත්ත කිණිස්සකින් මගේ පපුවට ඇන්නා. ඒක කොහොම වුණාද කියලා හිතට හිතන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. ලේ ගලාගෙන ගියා. ගිනි බෝල අහසින් වැටුණා. විල ගිනියම් වුණා.

මම මේ කිසිම දෙයක් උසාවියට කිව්වෙ නෑ, ඒ හැමදේම දන්නෙ මගේ හිතයි මමයි විතරමයි. මම දෑස් දිග හරින විට සියල්ල සිදුවී හමාරයි. උසාවිය නිශ්චලය. ඒත් හැමෝගෙම මුහුණු සතුටින් විකසිත වෙලා. පුදුමයක් නෑ තීන්දුව කලින්ම මං දැනගෙන හිටියා.

තීන්දුව දුන් විනිසුරුතුමා පිටවෙනවා දැක්කා. කබාය එහෙ මෙහෙ විසි වුණා, එයා නිදහසේ හිනහා වෙනවා, මම හැමදාම ආදරය කළ හිනාව, මිනිස්සු එයාව වටකරගෙන, හැම මූණකම හිනාව සතුට, එයා මිනී මැරීම සම්බන්ධයෙන් නිදොස්කොට නිදහස් කරලා, එතකොට මම වැරදිකාරිය ලෙස ජීවිතාන්තය දක්වා සිරගත කොට ඇත. ඔව් ආදරය කිරීමේ වරදට මා හසුවී ඇත.

හිත හූල්ලලා වැටුණා. මගේ මූණ දෝතින්ම අරගෙන කඳුළු නැහැවුණ ඇස් දිහා බලාගෙන හිටියේ විමතියෙන් මගේ හිත මා කිසිදා තනි නොකළ මගේ හිත. හිත හෙමිහිට අහනවා

‘මේ තරම් දෙයක් වෙලත් තරහක් ඇත්තෙම නැද්ද…. පුදුමයි’

මං ලස්සනට හිනා වුණා. ඒ හිනාවේ ගොඩක් දේ ලියවිලා තිබුණා හිත මාව ආදරෙන් තුරුලු කර ගත්තා.

‘කොහේ හරි එයා සතුටෙන් ඉන්නවා නම් මට ඒ ඇති’

ගැහැනිය…. ගැහැනු සිත…

ඉරාණි නිල්මිණි අබේකෝන් – පානදුර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division