ස්ටාලින්ක් සැටලයිට් තාක්ෂණය අපේ රටටත් හිමි වෙන්න යනවයි කියන කතාවට නැවත වතාවක් පණ ආවේ පසුගිය මාසේ 24 වැනිදා දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා එහි තරුණියක විසින් නැඟූ පැනයට ලබාදුන් පිළිතුරුත් සමඟය. එහිදී “මම ඉලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා. අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා. ඒ වගේම “Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. බොහෝ දුරට එහි වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණක් බව” ජනාධිපතිවරයා එහිදී හෙළි කළේය.
ඉන්දුනීසියාවේ දී පැවති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉලොන් මස්ක් (Elon Musk) අතර පැවති හමුවේදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කර තිබිණි.
පසුගිය වසරේ සිට මෙම සේවාව අපේ රටටත් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබුණේ ඉන් රටට වන යහපත ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටින නිසාය. එනිසා මේ “Starlink” ජාලය පිළිබඳ තතු විත්ති දැනගැනීමේ කුතුහලය හැමෝතුළම දැල්වී තිබේ.
ඉකුත් වසර කිහිපය පුරාම ලෝකයට අලුත් දේවල් එකතු කරපු ඉලොන් මස්ක්ගේ අධීවේගී අන්තර්ජාල සැපයුම හෙවත් “Starlink” ජාලය ඉලෝන් මස්ක් විසින් ආරම්භ කරපු ටෙස්ලා (Tesla) සහ ස්පේස් එක්ස් (Space X) යන සමාගම් දෙකට විශේෂයෙන්ම ස්පේස් එක්ස් සමාගමට අනුබද්ධිත තවත් එක් ප්‍රධාන ව්‍යාපෘතියකි. ස්ටාර් ලින්ක් සැටලයිට් සමාගම මේ වන විට ලෝකයේ රටවල් 50කට වැඩි ප්‍රමාණයකට අන්තර්ජාල පහසුකම ලබාදෙන අතර ඉලොන් මස්ක්ගේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරි වර්ෂය වන විට ලෝකයම ආවරණය වන ආකාරයට ගෝලීය ජංගම දුරකතන(Tesla) සේවාවක් හඳුන්වා දීමයි. 2023 වසරේ පෙබරවාරි මාසය වන විට ඔවුන් ඉහළ අභ්‍යාවකාශයේ 12000 අධික සැටලයිට් ප්‍රමාණයක් ස්ථාපිත කර තිබිණ. කාලයත් සමඟ මේ සැටලයිට් ප්‍රමාණය 42000 දක්වා වර්ධනය කිරීමට ඔවුන් පියවර ගත්තේය. 2022 වසරේ දෙසැම්බර් මාසය වන විට ස්ටාර්ලින් අන්තරජාල පහසුකම් භාවිත කරන පිරිස මිලියනය ඉක්මවා තිබිණ.
අෙමරිකාවේ වොෂින්ටන් නගරයේ ඉදි කර ඇති ස්පේස් එක්ස් සමාගම තුළ අන්තර්ජාල සේවය සම්බන්ධ පර්යේෂණ සංවර්ධනය කිරිම හා නිෂ්පාදන කටයුතු සිදු වේ.
වසර 10 පුරාවට සිදු කෙරෙන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් 2018 වන විට වියදම් කර තිබූ මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 10ක් විය. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මේ ව්‍යාපෘතිය මඟින් 2025 වන විට ඩොලර් බිලියන 30ක් ඉපයීමය. ඒ වගේම 2025 වන විට ඩොලර් බිලියන පහක සැටලයිට් ප්‍රමාණයක් විකුණන්නත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිති. අමෙරිකා එක්සත් ජනපදය තුළ අතිශයින් ජනප්‍රිය ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ සැටලයිට් තැටිය ඇතුළු හාඩ්වෙයාර් කට්ටලය සඳහා අමෙරිකානු ඩොලර් 599ක් අය කරන අතර මාසිකව ඩොලර් 120ක සේවා ගාස්තුවක් ද අය කරනු ලබයි. එයට ශ්‍රී ලංකාවේ මුදලින් පරිශීලකයෙක් මාසිකව ගෙවිය යුතු මුදල රුපියල් 39000ට ආසන්න මුදලකි.
සැටලයිට් තැටිය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය වුවහොත් රුපියල් 8000ට ආසන්න මුදලක් ගෙවිය යුතුවේ. මේ අන්තර්ජාල සේවා ලබා ගන්නා පුද්ගලයන්ට තත්පරයට මෙගාබයිට් 50ත් 150ත් වේගයකින් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇත. ඒ වගේම ස්ටාර්ලින්ක් බිස්නස් කියා හඳුන්වාදී ඇති පැකේජය මඟින් තප්පරයට මෙගාබයිට් 150 සිට 500ක් දක්වා වේගය ඉහළ නංවා තිබීම විශේෂය. මෙම සේවාව ලබා ගැනීම සඳහා ස්ථාවර ගාස්තුවක් ලෙස ඩොලර් 2500ක් සහ මාසිකව ඩොලර් 500ක මුදලක් පරිශීලකයන්ට ගෙවීමට සිදු වේ.
එහෙත් ලංකාවට මේ සේවාව ලැබුණොත් එය දැරීමට පහසු පිරිවැයක් වේවි යැයි විශ්වාස කළ හැකිය. ඒ ස්ටාර්ලින්ක් ආයතනය ඉදිරියේදී ඒ ඒ රටවල පවතින ආර්ථික තත්ත්ව සමඟ සාධාරණ මිලක් යටතේ මෙම සේවාව ලබාදීමට කටයුතු කරමින් සිටින නිසාය.
ස්ටාර්ලින්ක් සේවාව මඟින් පරිශීලකයන්ට සීමා රහිතව ඩේටා භාවිත කිරීමට හැකියාව ලැබෙන අතර අධිවේගී අන්තර්ජාල සම්බන්ධයක් ද ලබා දේ. මේ නිසා මෙම සේවාව කා අතරත් වේගයෙන් පැතිර යන්න තිබෙන ඉඩකඩ වැඩිය. මෙය පුද්ගලිකව අත්පත් කරගන්නවා වෙනුවට ආයතිනකව මෙම සේවාව භාවිත කිරීම විශාල වාසියක් වේ. මෙම සේවාව ලංකාවේ ස්ථාපිත වුවහොත් සීමා රහිත අධිවේගී අන්තර්ජාල සේවාවක් අත් විඳින්න ලාංකික අපට හැකි වන අතර අයිටී ක්ෂේත්රයේ විශාල ප්‍රගතියක්ද අපේක්ෂා කළ හැකිය. එසේම මෙය අනෙකුත් අන්තර්ජාල සේවාවලට පැහැදිලි අභියෝගයක් විය හැකි අතර එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙනු ඇත.
2023 වසරේ සිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවට මේ සේවාව ලබා ගැනීමට සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණි. ස්ටාර්ලින්ක් සමාගමට තම සේවාව ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නම් ඔවුන් අන්තර්ජාල සේවා සම්පාදකයෙක් විදිහට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු රටේ අමාත්‍යාංශ ගණනාවකින් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමත් අවශ්‍ය කාරණයකි. මේ වනවිට ඒ සියලු කටයුතු අවසන්ව ඇති බවත් ඉතිරිව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබාදීම පමණක් බව ඉකුත් දා ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබුණි. එය ලෝකය සමඟ ඉදිරියට යාමට බලාපොරොත්තු වන මෙරට අනාගත පරම්පරාවට ඉතාම සතුටුදායක පුවතකි.
මීට පෙරත් ගෝලීය සේවා රැසක් ශ්‍රී ලංකාවට පා තබන්න උත්සාහ කළද ඒවා ව්‍යර්ථව ගියේ අපේ ඇතැම් දේශපාලඥයන්ගේ අදූරදර්ශි ක්‍රියාකාරකම් නිසාය. උදාහරණයක් ලෙස පේපෑල්, ගූගල්ලූම් වැනි පහසුකම් අපට ලැබීමට තිබූ සේවාවන්ය.
වත්මන් ජනාධිපතිවරයා කිසියම් සැලැස්මක් ඇතිව රට මෙහෙයවමින් සිටින නිසා මේ පිළිබඳව අපට බලාපොරොත්තු තබා ගත හැකිය.
රසික කොටුදුරගේ