සකල සතට දුකින් මිදීමේ නිවන් මග හෙළිකළ බුදු රජාණන් වහන්සේ නීරෝගී බව උතුම්ම ලාභය බව දේශනා කළා පමණක් නොව ගිලනුන්ට උපස්ථාන කිරීම සත් ක්‍රියාවක් මෙන්ම උතුම්ම පින්කමක් බව ද දේශනා කළහ. එම උතුම් දහම් කරුණු දේශනා කිරීමෙන් නොනැවතී උන්වහන්සේ සිය ජීවිත ආදර්ශයෙන්ම එය පෙන්වා වදාළ සේක. පැවිද්දකු ගිලන් වූ අවස්ථාව අන්‍ය පැවිද්දන්ගේ මෛත්‍රී කරුණා ගුණය ක්රියාවේ යෙදවීමට ලැබෙන හොඳ අවස්ථාවක් බව තථාගතයන් වහන්සේ සිය ශ්‍රාවක පරපුරට අවධාරණය කරනු ලැබුවේ කිහිප වරක් උන්වහන්සේ ද ගිලානෝපස්ථානයේ යෙදීමේ පූර්වාදර්ශය සපයමිනි. පූතිගත්ථතිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම ඊට එක් නිදහසුනකි.
ඒ උතුම් බුද්ධ දේශනාව ජීවමාන කරන්නට දිවි හිමියෙන් කැපවූ බුද්ධ පුත්‍රයන් වහන්සේ එදා මෙන්ම අදත් මේ පින් බිමේ වැඩ වසති. ඒ බව සාක්ෂාත් කරන තවත් අසිරිමත් පුණ්‍යකර්මයක් පිළිබඳ විවරණයකි මේ.
රට දැය මෙන්ම සැදැහැවත් ජනතාව වෙනුවෙන් එදාමෙදාතුර මහසඟරුවන විසින් ඉටු කරන්නේ අනුපමේය වූ සේවයකි. එසේවුවද සංඝයාවහන්සේ වෙනුවෙන් පහසුකම් සම්පාදනය කර දීම අත්හල නොහැකි වගකීමකි. විශේෂයෙන් සංඝ සමාජයේ කායික හා මානසික නීරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහාම වෙන් වූ භික්ෂු රෝහලක් යනු මේ දක්වා මෙරටට පැවති අඩුපාඩුවක් යැයි කීම වරදක් නොවේ. ඊට හේතුව රජයේ රෝහල්වල පවතින භික්ෂු වාට්ටු හෝ භික්ෂු විවේකාශ්‍රම අතළොස්ස පමණක් රටේ සමස්ත සංඝ සමාජයේම සෞඛ්‍ය අවශ්‍යතා නිසි ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන නිසා වෙනි. එබැවින් ඒ අඩුපාඩුව සපිරෙන අවස්ථාවක් පුණ්‍යවන්ත වන්නේමය.
එම අභිනව භික්ෂු රෝහල නම් කර ඇත්තේ ‘ගුරුදෙව් සුව අරණ භික්ෂු රෝහල’ නමිනි. හෝමාගම කිරිවත්තුඩුව පුරාණ රජමහා විහාරයට යාබද පන්සල පාරේ අංක 286 /1 දරන ස්ථානයේ පිහිටි ඒ ගිලානෝපස්ථාන භික්ෂු රෝහල පිළිබඳ වැඩිදුර තොරතුරු විමසන්නට ඉකුත් දින අපි එහි යනවිටත් එහි ඉදිකිරීම් කටයුතු යුහුසුලුව සිදු වෙමින් තිබිණි. මේ භික්ෂු රෝහලේ නිර්මාතෘ සහ අධ්යක්ෂ කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමියෝය. මෙවැනි රෝහලක් ඉදි කිරීම පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.
” මෙම භික්ෂු රෝහල ඉදිවන්නේ කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසූ අපගේ ගුරු දේවයන් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි, බුද්ධ ශාසන උත්තරීතර අනුශාසක මණ්ඩලයේ සාමාජික, විචිත්‍ර ධර්මකථික, ග්රන්ථ කතෘවර, අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍යතර මාපලගම සිරි සෝමිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුවයි. උන්වහන්සේ අපවත් වීමට පෙර ජපානයේ එකල වැඩ විසු පූජ්‍යතර කැප්පෙටියාගොඩ ගුණවංස ස්වාමින් වහන්සේට ලිපියකින් දන්වා තිබුණා, ජපානයේ පවතින ආකාරයේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් සහ විශ්‍රාම ශාලාවක් ඉදිකරන ලෙසට. ඒ අදහස සාක්ෂාත් කර ගැනීමට පෙර 1992 ජුනි මස 01 වැනිදා අප ගුරු දේවයන් අපවත් වූ නිසා උන්වහන්සේට පින් අනුමෝදන් වනු සඳහාත් රෝගී භික්ෂුන්වහන්සේලාට උපස්ථාන කිරීම සඳහාත් මෙම භික්ෂු රෝහල ඉදි කිරීමට කටයුතු කරනු ලැබුවා. උන්වහන්සේ අපවත් වී වසර 32ක් සපිරෙන මෙම වසරේ ජුනි 01 වැනිදා මෙම රෝහල විවෘත කිරීමට ලැබීමත් විශේෂත්වයක්.”
මේ සත් ක්‍රියාව අපූර්වතම ගුරු දේව වන්දනාවක් මෙන්ම කෘතගුණ සැලකීමකි. මෙම රෝහල ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ 2016 වසරේදීය. ඒ සඳහා භූමිය පූජා කර ඇත්තේ කොට්ටාවේ බෝධි චිත්තාශ්රමයෙහි අනුශාසක කඩවත සමින්ද ස්වාමින් වහන්සේ විසින් වන අතර, උන්වහන්සේට එම ඉඩම පූජා කර තිබූ සැහැදැවත් දායකයන් විසින් ඔවුන් ජීවත් වන භූමියෙන් කොටසක් ද මෙම රෝහල ඉදිකිරීම සඳහා පූජා කර ඇත. ඒ වෙනුවෙන් අතපත්තුගේ මැගිලින් නෝනා උපාසිකා මාතාව සහ ඇයගේ දියණිය සන්ධ්‍යා කාන්තිලතා කරුණාරත්න සහ ඇයගේ සැමියා සිසිර කුමාර කරුණාරත්නටත් පින් අනුමෝදන් කිරීමට ද කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමියෝ කෘතවේදී වූහ.
“බුද්ධ ශාසනයට ඇතුළත් වී ඒ වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කොට ලෝක ස්වාභාව ධර්මයට මුහුණ දෙමින් ගිලන් වන භික්ෂුන්වහන්සේලාගේ කායික හා මානසික සුවතාවට පත්කර ගැනීම වෙනුවෙන් ඉදිකළ මෙය අංග සම්පූර්ණ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට වැඩ විසීම සඳහා කාමර 20කින් සහ වාට්ටු කිහිපයකින් සමන්විත ගුරුදෙව් සුව අරණ භික්ෂු රෝහලේ එකවර පනස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකියි. ඊට අමතරව විදුලි සෝපානයක්, හදිසි ප්‍රතිකාර ස්ථානයක්, ගිනි නිවීමේ ඒකකයක්, බෙහෙත් ගබඩාවක්, වෛද්‍යවරුන් සඳහා නේවාසික පහසුකම්, කාර්යාලීය කාමර, මුළුතැන්ගෙය, දන්ගෙය ආදී රෝහලකට අවශ්‍ය වන සියලු පහසුකම් මෙම රෝහල සතුයි. මෙහිදී මූලික වශයෙන් සිදු වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මඟින් ප්‍රතිකාර කිරීමයි. අංග සම්පූර්ණ රෝහලක් සතු සියලුම අංග මීට ඇතුළත් වන අතර ළඟදීම රෝහලක් ලෙස ලියාපදිංචි කිරීමට නියමිතයි. “කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
පස් මහල් සහ තෙමහල් ලෙස ප්‍රධාන ගොඩනැඟිලි ද්විත්වයකින් සමන්විත මෙම රෝහල පිහිටා ඇත්තේ වෙල් යායකට මැදිවූ මනරම් පරිසරයකය. විශේෂයෙන් මෙම රෝහල් සංකීර්ණයේ පිහිටි පස් මහල් ගොඩනැඟිල්ල ඉතා දැකුම්කලුය. එහි ඉහළ මහලේ කොතැනක සිට බැලුවත් සිව්දෙසින්ම පෙනෙන්නේ නිල්වන් ගොයමින් සැරසුණු වෙල්යායයි. ඇසට ප්‍රිය උපදවන හරිත පැහැය මෙන්ම වෙල්යාය පිස හමන මුදු මඳනල ගතටත් සිතටත් සුවදායකය. ගිලන් වූ සිතත් කයත් සනසාලන අපූරු වාස්තු අංග කිහිපයක්ම එම ගොඩනැඟිල්ලට අයත් බව ද දුටිමු. එම වාස්තු විද්‍යාත්මක අදහස්වල හිමිකරුවා වන්නේ ද කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමිපාණන් ය. ඒ පිළිබඳ උන්වහන්සේ පැවසුවේ මෙවැන්නකි.
” ශරීරය නීරෝගී වීමට පිරිසිදු වාතාශ්‍රය අත්‍යවශ්‍යයි. මේ පස් මහල් ගොඩනැඟිල්ල හදලා තියෙන්නේ මනුෂ්‍යයන් හෙළන අපිරිසිදු වාතය පිට කිරීමටත් පිරිසිදු වාතය ඇද ගැනීමටත් හැකිවන ආකාරයටයි. ඉහළ සම්පූර්ණ ගොඩනැඟිල්ලටම පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ආකාරයට මේ ගොඩනැඟිල්ල ඉදිකර තිබෙනවා. විශේෂයෙන් එහි ඇති පිරමීඩාකාර වහලය විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමට වැඩි අවකාශයක් සලසනවා. එම වහලයේ සොල්දරයේ තැන්පත් කරන ඖෂධ විශ්ව ශක්තියෙන් තවත් ශක්තිමත් වීම නිසා රෝගී භික්ෂූන්ට ඉක්මනින් නීරෝගී සුව සැලසෙනවා. ඒ වගේම භාවනාවෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. පස් වැනි මහල සම්පූර්ණයෙන්ම ශාලාවක් ලෙස ප්‍රියමනාප ආකාරයට ඉදිකර තිබෙනවා. එහි පන්සිය නමකට එකවර භාවනා කිරීමේ පහසුකම තිබෙනවා. ”
මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට කැමැති භික්ෂුන්වහන්සේලාට ඒ සඳහා අවස්ථාව ලබාගත හැක්කේ කෙසේද යන්න ගැන ද අපි උන්වහන්සේගෙන් විමසුවෙමු.
” සාමණේර සහතික සහ උපසම්පදා සහතික පරීක්ෂා කර රෝගී තත්ත්වය සලකා බැලීමෙන් පසුව භික්ෂුන් වහන්සේ මේ සඳහා ඇතුළත් කර ගන්නවා. ඇතුළත් වීමට කැමති භික්ෂුන් වහන්සේලාට අපට කතා කර වැඩි විස්තර දැන ගැනීමට පුළුවන්. ඉතා අසාධ්‍ය රෝගවලින් පෙළෙන ස්වාමින්වහන්සේ පමණක් අප මේ රෝහලට ඇතුළත් කරගන්නේ නැහැ.
රෝහල ඉදිකිරීම සඳහා දෙස් විදෙස් දායක දායිකාවන්ගේ සහ දානපතින්ගේ මූල්‍ය පරිත්‍යාග ලැබී ඇති අතර, ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසිනි. කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමිපාණෝ ඒ සඳහා දායක වූ සියලු දෙනාටම නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් කෘතවේදීත්වය පළ කළහ. රෝහලේ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන අතර, රෝහල් කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම, පවත්වාගෙන යෑම සහ නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා රෝහල වෙනුවෙන් අරමුදලක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වටහාගත් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයකට අනුව ‘ගුරුදේව් ස්වාමි භික්ෂු රෝහල් භාරය’ නමින් අරමුදලක් පිහිටවූ බව ද පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමිපාණෝ පැවසූහ. ඒ සඳහා රුපියල් දෙදහසක මුදලකින් ඕනෑම අයකුට සම්මාදම් විය හැකිය.
ශ්‍රී ලංකා බුද්ධ පුත්‍රයන්ගේ නීරෝගි සුව වෙනුවෙන් ඉදිවූ ‘ගුරුදෙව් සුව අරණ භික්ෂු රෝහල’ මෙම ජුනි මස 01 වැනි සෙනසුරාදා පස්වරු 03.00ට ජාතියට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත් වෙන්නේ මීරිගම මිණි ඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංස හිමියන්ගේ ආරාධනයෙන් දකුණු කොරියාවේ උසොන් නුවර JUNGTOHMAR බෞද්ධ රෝහලෙහි අධ්‍යක්ෂිකා NEUNHAENG භික්ෂුණියගේ විශේෂ සහභාගීත්වය ඇතිව පැවැත්වෙන එම අවස්ථාවට ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ ද සහභාගි වේ.
හෝමාගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්රමුඛ මැති ඇමැතිවරු ප්‍රධාන මහජන නියෝජිතයන්, තානාපතිවරු සහ දෙස් විදෙස් පැවිදි, ගිහි ආරාධිතයන් රැසක් ඊට සහභාගි වීමට නියමිතය.
කොහුවල ශ්‍රී ධාතූමළු විහාරස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන ගුරුදේව් සුව අරණ භික්ෂු රෝහල පවත්වාගෙන යෑම සඳහා ඕනෑම කෙෙනකුට දායක විය හැකිය. මේ මස එනම් ජුනි මස 02 වැනිදා සිට එම රෝහලේ උදේ, දවල් සහ රාත්‍රී ගිලන්පස දාන භාර ගත හැකි අතර, රෝහලේ මාසික හෝ වාර්ෂික නඩත්තුව සඳහා බර පැන ද දැරීමට ද කැමති පරිදි දායක විය හැකිය. පින් කැමති ඕනෑම අයකුට 0112-853415, දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්