අභ්‍යවකාශය සම්බන්ධව දැනගැනීමට පෘථිවිවාසීන්ට ඇත්තේ අමුතුම තාලයේ කුතුහලයකි. මේ කුතූහලය විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ විශ්වය ගවේෂණය කිරීමේ මෙහෙයුම් දක්වා ඉහළ ගොස් තිබිණි. මීට වසර 65කට පෙර අමෙරිකානු රජයේ අධිකාරිය යටතේ ජාතික අභ්‍යවකාශ තරණය සහ අභ්‍යවකාශ පරිපාලනය (නාසා) ආරම්භ වීමෙන් පසු විශ්වය ගවේෂණය කිරීමට නිත්‍යනුකූල බලයක් ද ලැබිණි. 1969 ජූලි මාසයේදී පළමු සඳ තරණය සිදු වූයේ ඒ අනුවය.
අනතුරුව දශක ගණනාවක් පුරා ලොව දියුණු රටවල් රැසක් සඳ තරණයට සහ සඳ මත රොකට්ටු පතිත කර එහි ගවේෂණ කටයුතු සිදු කිරීමට ගන්නා උත්සාහය මේ වන විට තරගයක් බවට පත්වී තිබේ. එහි සාර්ථක අසාර්ථකභාවය අඩු වැඩි නැතිව සිදුවන අතර, තවදුරටත් විශ්වය තරණය කිරීමේ මෙහෙයුම් ද සුලබව සිදු කෙරේ.
සඳ තරණයෙන් සෑහීමකට පත් නොවූ පෘථිවි වැසියෝ ඉන් නොනැවතී සූර්යග්‍රහ මණ්ඩලය ගවේෂණය කිරීමට ද පටන් ගත්හ. එහි පෙරමුණ ගනු ලැබුවේ ද නාසා ආයතනය විසිනි. දෛනිකව විවිධ පර්යේෂණ කරමින් ද, වරින් වර චන්ද්‍රිකා සහ වෙනත් ගුවන් වස්තූ විශ්වයට මුදා හරිමින්ද නාසා ආයතනය පෘථිවියට අමතරව මිනිස් වාසයට සුදුසු වෙනත් ග්‍රහ ලෝකයක් සොයමින් සිටී. ඒ සඳහා පර්යේෂණ පවත්වමින් සිටී. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් නුවර ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවමින් නාසා ආයතනය දීර්ඝ පර්යේෂණ කාර්යයක නිරත වන්නේ අඟහරු ලෝකය විපරම් කිරිමටය. ඒ සඳහා මානව ගවේෂණ පර්යේෂණ ආකෘතියක් (Human Exploration Research Analog – HERA) නිර්මාණය කර විවිධාකාර පර්යේෂණ හා ආදර්ශ මෙහෙයුම් අරඹා ඇත්තේ එබැවිනි.
ලොව පුරා අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව පුළුල් දැනුමක් සහිත උනන්දුවක් ඇති පුද්ගලයන් අතුරින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන අය නාසා ආයතනයේ තෝරා ගැනීමකට අනුව වරින්වර එම ආදර්ශ ගවේෂණයට යොමු කරනු ලබයි. එහි දෙවැනි අදියර පසුගිය මැයි මාසයේ 10 වැනිදා ආරම්භ වූ අතර, අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආචාර්ය පියුමි විජේසේකර ද ඊට එක් වී සිටියාය.
වර්ග අඩි 640ක වපසරියකින් සහ තට්ටු දෙකකින්ද, ඉහළ වෙනම තට්ටුවකින් ද සමන්විත මොඩියුලරයක් ලෙස නිර්මාණය කර ඇති එම ආකෘතියේ ආචාර්ය පියුමි විජේසේකර සමඟ තවත් තිදෙෙනකු දින 45ක් පුරා විවිධ පර්යේෂණ හා පරීක්ෂණවල නිරතවීමට නියමිත අතර, ඔවුන් ඉන් පිටතට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනිදාය.
මේ අපූරු අත්දැකීමට මුහුණ දෙන ආචාර්ය පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකොන් වැලි ප්‍රදේශයේ පිහිටි නාසා පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥවරයකි. ඇය එහි විකිරණ ජෛව භෞතික විද්‍යා අංශයේ පශ්චාද් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරිය වේ.
වසර 2015දී අමෙරිකාවේ සැන් ඩියාගෝ නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියත්, පෙන්සිල්වේනියා නුවර කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි සම්පූර්ණ කළ ඇය අමෙරිකාවේ කිර්තිමත් භෞතික විද්‍යා පර්යේෂණ විද්‍යාඥවරියකි.
ආචාර්ය පියුමි විජේසේකර සමඟ මේ අත්දැකීමට මුහුණ දෙන සෙසු අය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂරීෆ් අල් රොමේති, අමෙරිකාවේ කෙනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේසන් ලී සහ අමෙරිකානු ගුවන් හමුදාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධ නිලධාරිනියක වන ස්ටෙෆනී නවාරෝ ය.
අඟහරු ලොව සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යයන 18ක් සහ පරිසරය හේතුවෙන් ඇති විය හැකි කායික, චර්යාත්මක හා මනෝවිද්‍යාත්මක ප්‍රතිචාර සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් ඔවුන්ගෙන් සිදුවනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ. එසේ එක්රැස් කරනු ලබන දත්ත අඟහරු ලොවේ ඉදිරි සංචාරයකදී සහ ගැඹුරු අභ්‍යවකාශ ගමනකදී සිය පැවැත්මට වඩාත් හොඳින් සූදානම් කිරීමට නාසා ආයතනයට ඉවහල් වනු ඇතැයි ද වාර්තාවේ.
ආදර්ශ කුටියේ දින 45ක් පුරා එම පර්යේෂකයන් සිව්දෙනා හුදෙකලා කිරිමට සහ පෘථිවියෙන් දුරස්ථ තත්ත්වයකට අනුවර්තනය වීමට සැලසීම ඇතුළු අඟහරු මත වාසය කිරිමට සුදුසු පරිසරයක් සම්බන්ධව පුළුල් ලෙස දත්ත එක්රැස් කිරීමේ අරමුණ ඇතිව සිදු කෙරෙන මේ ආදර්ශ ගවේෂණ මාලාවේ ප්‍රතිඵල ඉදිරියේදි නාසා ආයතනයට අභ්‍යවකාශ තරණයේ නව පෙරළියක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ඇත.
ෆවුස් මොහොමඩ්