දොස්තරවරයකු තවත් දොස්තරවරයකුගෙන් ප්‍රතිකාර ගන්නා විට තමන් ප්‍රතිකාර ගන්නේ හොර දොස්තර කෙනෙක්ගෙන් දැයි දැනගන්නා ක්‍රමවේදය දැන් පොදු ජනතාවට කියා දිය යුතුව ඇත.
2014 වසරේදී වෛද්‍යවරියක් මිය ගියේ බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයකදීය. මරණ පරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම වෛද්‍යවරිය ප්‍රතිකාර ගෙන ඇත්තේ ව්‍යාජ වෛද්‍යවරයකුගෙන් බවය. ව්‍යාජ දොස්තර ලෙස වර්ගීකරණයට ලක් වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියපදිංචි නොවූ සහ තමන්ගේ විෂය පථයට අදාළ නොවන ප්‍රතිකාරවල නියැළෙන පාර්ශ්වයන්ය. මීට කලකට ඉහත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ සමීක්ෂණයකින් තහවුරු වූයේ බස්නාහිර පළාතේ පමණක් වෛද්‍යවරු තුන් දෙනකුගෙන් එක් අයෙකු ව්‍යාජ වෛද්‍යවරයකු බවය. දිස්ත්‍රික්ක හයක පමණ කරන ලද සමීක්ෂණයේදී හොර දොස්තරලා 10,400ක් සොයා ගැනීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට දසවසරකට පෙර 2014 දී සමත් විය. මේ හොර දොස්තරලා හොයා ගත්තාට මේ දොස්තරලා ලෙඩේට දස වසරක් තිස්සේ ප්‍රතිකාරයක් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසමත් වී ඇති බව පසුගියදා තහවුරු වූයේ වෛද්‍ය චමිල් විජේසිංහගේ ප්‍රකාශකයකිනි. ඔහු කියන්නේ මෙරට තුළ බටහිර, දේශීය, හෝමියෝපති ක්‍රමවලට ප්‍රතිකාර කරන හොර දොස්තරලා ගණන 40,000කට අධික බවය. ඒ කියන්නේ ලංකාවේ හොර දොස්තරලා දසවසරක් තුළ වර්ධනය වු ප්‍රතිශතය 400කි.
ලංකාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරිම සඳහා අවස්ථාවක් නොලද විට බොහෝ දෙනා කරන්නේ විදේශයකට ගොස් වෛද්‍ය උපාධිය ලබා පැමිණීමය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ හන්දි ගානේ සිටින හොර දොස්තරලා ගැන පමණකි. එහෙත් මෙරට සුපිරි ඉස්පිරිතාලවල ශල්‍යකර්ම සඳහා විදේශයන්ගෙන් ආනයනය කරන වෛද්‍යවරුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට හෝ වෛද්‍ය විද්‍යාල විභාගයට ලියන්නට කවුරුත් කතා කරන්නේ නැත. දින ගණනාවක් ඇති waiting list එකට දිවා රෑ නොබලා ශල්‍යකර්ම කරන මේ විදේශීය වෛද්‍යවරු තම ගාස්තුව ලබාගෙන එදිනම තම රටට පලා යති. ශල්‍ය කර්මයට ලක් වූ පුද්ගලයා මරණාසන්න වුවද මරණයට පත්වුවද එහි වගකීම භාරගැනීමට වෛද්‍යවරයා රටේ නැත. අන්තිමට මේ අසාධ්‍ය රෝගීන්ගේ වගකීම භාරගන්නට සිදු වන්නේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ටය. 2011 දී පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරු සංඛ්‍යාව 184ක් බව සොයා ගන්නා ලදි.
1990 දී කළ විධිමත් පරීක්ෂණයකදීත් හොර දොස්තරලා 40,000ක් සිටින බව තහවුරු විය. එය මෙරට හොර දොස්තරලා අල්ලන්නට කළ දීප ව්‍යාප්ත වැඩසටහනකි. එකල හොර දොස්තරලා යහමින් වැජඹුණේ ඔය කියන වකවානුවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිව සිටි වෛද්‍යවරු ගණන 4000ක් වීම නිසාය. ඒ හේතුවෙන් දැවැන්ත වෛද්‍ය හිඟයක් රටපුරා පැවතුණි. මේ හොර වෛද්‍යවරුන්ගෙන් වැඩිම පිරිස හොයාගනු ලැබුවේ නිදහස් වෙළඳ කලාපයෙනි. එමෙන්ම ගම්බද ප්‍රදේශ මේ හොර දොස්තරලාගේ හොඳම ඉලක්කයකි. ඊටත් වඩා වතුකරය මේ හොර දොස්තරලාට රෝගින්ගෙන් ගසා කන්නට කදිම තැනකි.
හොර දොස්තරලා ගැන කතා කරන විට පෞද්ගලික අත්දැකීම් මා සතුව ඇත. මාගේ පියා ප්‍රතිකාර ගත්තේ කොළඹ මහ රෝහලේ 43 වාට්ටුවේය. එහි ඇටෙන්ඩන් වූයේ ටෙලි නාට්‍යවල රඟපාන පිස්සුවක් තිබූ පුද්ගලයෙකි. දිනක් සවස තාත්තා බැලීමට පැමිණ සිටියේ කරුණාසේන ජයලත් සහ වටරැක ප්‍රේමදාසය. පරණ ටයිම්ස් මන්දිරය අසල බාර් එකට අපව එක්කන් ගියේ වටරැකය. බිල ගෙව්වේ කරුණාසේන ජයලත්ය. ‘රිදී නිම්නය’ නමින් නවකතාවකට කවරයක් ඇඳීමට වටරැකට එහිදී භාර විය. ටික වේලාවකින් එතැනට සුදුවතින්ම සුපුරුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයකු ආවේ ‘බ්‍රීෆ්කේස්’ එකක්ද අතැතිවය. මේ සුපිරියට ඇඳ සිටි ඇටෙන්ඩන් මා දැක එතැනට ආවේය.
“මං නිවාඩු දවස්වලට උඩහ පළාත්වලට ගිහිල්ලා දොස්තර කෙනෙක් වගේ බේත් කරනවා”
“ඉතිං ඕක අහුවෙන්නැද්ද?”
“ඒ පැතිවල බේත් ටිකක් ගන්න කිලෝමීටර් 15ක් විතර ටවුමට එන්න ඕන. අවුරුදු 20 ක් විතර ඇටෙන්ඩන් වැඩේ කරලා ඕන ලෙඩකට බේත් මං දන්නවා. සේලයින් ගහන ඒවා, ඉන්ජෙක්ෂන් ගහන ඒවා මට නතිං” යයි මේ ඇටෙන්ඩන් කිව්වේ මේසය මත කරුණාසේන ජයලත් ගෙනවිත් තිබුණු සෝඩා බෝතලය උගුරු දෙකට ඇඳබාමිනි. පරහකට තිබුණේ ඊට ප්‍රථම ගෙනවිත් තිබුණ මත්පැන් භාග බෝතලය ඉතිරි ටික අනවසරයෙන්ම වීදුරුවකට හලාගෙන ගුඩු ගුඩු ගා උගුඩුවෙක් වගේ ඇදබෑමය.
මේ ඇටෙන්ඩන් දොස්තර ලේබලෙන් ගහපු විසිටින් කාඩ් එකක් විය. එහි ජාතික රෝහල අංකය ලෙස 691111 තිබුණා බව මට තාම මතකය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වරක් ප්‍රකාශ කොට තිබුණේ වෛද්‍ය සභා තුනේම ලියාපදිංචි ලැයිස්තු ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටියත් පොලිසියට ලබාගත හැකි වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව පමණක් බවය. මේ ලියාපදිංචි ලැයිස්තු පොලිසියට නොලැබුණු නිසා පොලිසියට සිදුව ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය අනුව හොර වෙදුන්ට එරෙහිව පියවර ගැනීමටය. වෛද්‍යවරු වසර ගණනාවක සිට ඉල්ලන්නේ මේ හොර දොස්තරලාට වසර පහක සිර දඬුවමක් පැනවිය යුතු බවය.
පොදුවේ ගතහැකි තත්ත්වය නම් රජයේ රෝහලක වෛද්‍යවරු අතර විශේෂඥ වෛද්‍යවරයකුද යන බව සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි. නමුත් පෞද්ගලික අංශයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු සොයා ගැනීම අපහසු කටයුත්තකි. වරක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අවස්ථාවේ සිදු වූයේ පෞද්ගලික රෝහල් තුනක් ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමය.
හොර දොස්තරලා මඬින්නට නීති සකස් කරන්නට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කරන ලදි. එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල යෝජනා කළේ හොර දොස්තර කෙනකුට ගැසිය හැකි රුපියල් 1000 ක දඩය රුපියල් 5000 කළ යුතු බවත් සිරදඬුවමක්ද ලබාදිය යුතු බවත්ය. එවකට හොර දොස්තරවරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වූ වැඩිම දෙනා විශ්‍රාමික ඖෂධ සංයෝජකයන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී තිබුණේ හොර දොස්තරලා දුන් එන්නත් නිසා දරුවන්ට ස්නායු ආබාධ මෙන්ම මෙනිංජයිටීස් තත්ත්වවලට භාජනය වී ඇති බවය. ඒත් කනගාටුවට කරුණ වන්නේ තවමත් නීතියේ වු ප්‍රතිශෝධනයක් දක්නට නොලැබීමය. හොර දොස්තරලා සොයාගෙන යාමට ප්‍රථම ඔවුන් ගැන පොත්පත් ලියැවී ඇත්දැයි විමසිලිමත් විය. මුලින්ම සොයාගත හැකි වූයේ ‘මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ලියන ලද කෙටිකතාවක් වූ ‘ගහෙන් වැටුණු මිනිහත් වෙදා’ ය එයින් කියැවෙන්නේ දිගු කලක් රෝහලක ඔත්පලව සිටි ගැමියකු ක්‍රමයෙන් සාත්තු සේවයට හා ඉන් පසු හොර වෙදකු බවට පත් වු අයුරු එම කෙටිකතාවෙන් කියවේ.
හොර දොස්තරලා ගැන හොයන්නට මුලින්ම කටයුතු ආරම්භ කළේ නුගේගොඩ උසාවියෙනි. උදේම උසාවියට ගිය විට ලෝයර්ලා කීප දෙනෙක් වට කරගත්හ.
‘මොකක්ද කේස් එක’
‘ගිය සැරේ නඩුවට ඉන්න බැරි වුණා ලෝයර් කෝල් කරලා කිව්වා මෙඩිකල් එකක් ගේන්න කියලා’
“අපෝ සුළු දෙයක් මං නඩුවට ඇපියර් වෙන්නම් ත්‍රී තවුසන් දෙන්න. ඒ ලෝයර් ඕන නැහැ. ඩොක්ටර් හම්බ වෙන්න කලින් පන්සියයක් ඇඩ්වාන්ස් ඕන. මං කෝල් කරල කියන්නම්.” මම රුපියල් පන්සීයක් අත මිට මෙලවූවෙමි. මෙඩිකල් එක දෙන තැන බෝඩ් එකේ ‘ප්‍රථමාධාර වෛද්‍ය මධ්‍යස්ථානය’ යනුවෙන් බෝඩ් ලෑල්ලක් දමා තිබුණි.
“ඩයරියා කියලා මෙඩිකල් එක දැම්ම නම් ඇති උසාවියට”
“නඩුව දවසේ තිබ්බ බඩේ අමාරුව තාම තියෙනවා. ඔය නුගේගොඩ ලොකු ලොකු ඩිස්පැන්සරි කීපයකින්ම බේත් ගත්තා” මම දොස්තර මහතාට පැවසුවෙමි.
“ඔය ලොකු ලොකු බෝඩ් ගහගෙන හිටියට හැම තැනම හොර දොස්තරලා” පොඩ්ඩක් මිස්ටගේ ලෙඩේ පරීක්ෂා කරලා බලමු.
දොස්තර ඊළඟට ප්‍රථමාධාර වෛද්‍ය මධ්‍යස්ථානයේම තිබුණු ෆාමසියක් වැනි කොටසකින් වූ බෝතල්වලින් බෙහෙත් 5ක් ගෙන පානය කළ යුතු වේලාවන්ද දැන්වීය. උසාවියට යාමට පෙර බඩ බුරුල් වුණොත් කියා ඔහු තවත් පෙති දෙකක් මා අත තැබුවේ එවලේ බීමට වතුර වීදුරුවක්ද සමඟය. එය ‘ඉමොඩියම්’ නමැති පෙති වර්ගය බව මට තහවුරු විය.
“ඉතින් ඩොක්ටර් මට බිලක් ගන්න පුළුවන්ද ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න”
“මිස්ටර් මාර මෝඩ කතානේ අහන්නේ උසාවියට දෙන මෙඩිකල්වලට බිල් දෙනවද?”
“නැහැ මං කිව්වේ දීපු බේත්වලට”
දොස්තර මහතා ලාච්චුවේ වු කහ ගැහුණු බිල් පොතක් ගෙන බිලක් ලියා දුන්නේ අදිමදි කරමිනි.
දොස්තර මහතා ක්ෂණිකයකින් මුදල් ගෙන ඉතිරිය මා අත තැබීය.
“කෝ මේකේ සීල් එක ගහල නැහැනේ” සීල් එක ගෙවිලා ඊයේ නුගේගොඩට දුන්නේ සීල් එක හදන්න හවසට ඇවිත් සීල් එක ගහගන්න.”
ඉන්පසු මා කළේ එම බෙහෙත් ජුබිලි කණුවේ වූ ෆාමසියට දී පරීක්ෂාකර බැලීමය. ෆාමසියෙන් පැවසුවේ තුනක් විටමින් බවය. එකක් ඉමෝඩියම් නමැති බඩ යනවාට බොන බෙහෙතකි. එක පෙත්තක් ඇන්ටිබයටික් එකකි.
මට දුන් බිල ෆාමසියේ මිතුරාට දුන්නෙමි”
“අයියෝ මේ දොස්තර මැරිලත් අවුරුදු දහයකට වැඩියි. මේ තැන නගරසභාවේ රෙජිස්ටර් කරල තියෙන්නේ ‘ප්‍රථමාධාර වෛද්‍ය මධ්‍යස්ථානය කියලා. රෙජිස්ටර් නම්බරය කියල තියෙන්නේ ඒ නොම්බරේ තමයි. නැතුව ඔය මැරිච්ච MBBS ඩොක්ටර්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බරය නෙවෙයි.
අපේ කතාව අසාගෙන සිටි එතැන හිතවතකු කිව්වේ ඔය මෑන් ‘ක්වැක්’ බවය. වචනයේ තේරුම කූට වෛද්‍යවරයා, පොට්ටෙනි කාරයා, හෝ බොරුකාරයා යනුවෙන් එහි සඳහන් විය.
මේ හොර දොස්තරලා ප්‍රතිකාර කරන්නේ තමන්ගේ හුදෙකලා වෛද්‍ය මධ්‍යස්ථාන තුළ පමණක් නොවේ. කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ 1995 දී කොළඹ වංචා විමර්ශනයෙන් නඩුවක් පවරා තිබුණේ වයික්කාලේ පදිංචි ඇලන් හොඩිවින් නමැත්තකුට එරෙහිවය. එදා එම නඩු වාර්තාව අනුව පෙනී යන්නේ ගරු අධිකරණය හොර වෛද්‍යවරයකු ලෙස දෙවරක් ඔහුට සිරදඬුවම් නියම කොට ඇති බවය.
1995 පෙබරවාරි මස 27 සිට 95 මාර්තු මස 01 ඇතුළත කාලයේදී කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය තනතුරක් ලබා ගැනීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් 1971 දී එම්.බී.බී.එස්. උපාධිය සමත් වූ බව සඳහන් ව්‍යාජ ලේඛනයක් සහ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලේඛකාධිකාරී විසින් නිකුත් කළ බව හැඟෙවෙන කූට ලෙස සකස් කරන ලද වෛද්‍ය මණ්ඩලයේ සහතිකයක් ඉදිරිපත් කරන ලදැයිද කූට ලෙස සකස් කරන ලද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට පෞද්ගලික රෝහලේ වෛද්‍ය තනතුරක් ලබා ගන්නා ලදැයි ද යන චෝදනා තුනට එක් චෝදනාවකට රුපියල් 2,500/= බැගින් රුපියල් 7,500 /=ක දඩද අවුරුදු 10කට අත්හිටුවන ලද බරපතළ වැඩ ඇතිව වසර 6ක සිරදඬුවම් ද නියම කෙරිණි.
පෞද්ගලික රෝහලක සිටි හොර දොස්තර ගැන ලියුවේ පෞද්ගලික රෝහල් ගැන ඇති කුහක ප්‍රතිපත්ති නිසා යැයි ලේඛකයා ගැන කුහුලක් ඇතිකර ගත යුතු නැත. මෙන්න ඒ වසරේම පානදුර – රෝහලේ සේවය කළ හොර දොස්තරවරයකු ගැන සටහනක්.
පානදුර රජයේ රෝහලේ අවුරුදු එකහමාරක් පමණ හොරට සේවය කරමින් සිටියදී පලා ගිය විසිහතර හැවිරිදි “හොර දොස්තර” වරයකු එම වසරේම අත්අඩංගුවට ගන්නා ලදි. පානදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇස්.ඇල්. සමරවීර ඔහු අල්ලා ගත්තේ පානදුරේදීය. මොහු පානදුර අතිරේක මහේස්ත්‍රාත් දේවිකා ද ලිවේරා තෙන්නකෝන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2500ක මුදල් ඇපයක් සහ රුපියල් 5000 පෞද්ගලික ඇපයක් මත මුදා හැරිණි.
වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුට චෝදනා ඉදිරිපත් කර නඩු පවරණ ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. ගාල්ලේ මලිදුවේ පදිංචි ලක්දුවගේ මොරින් වරුණ ද සිල්වා නමැති මේ සැකකරු පානදුර රෝහලේ දොස්තරවරයකු වශයෙන් අවුරුදු 1 1/2ක් පමණ සේවය කර ඇත්තේ ව්‍යාජ හඳුනා ගැනීමේ පතක් සකස් කරගෙන බව කියති. මොහු ධනවත් ඉංජිනේරු මහතකු ගේ දුවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මාපියන්ගේ කැමැත්ත ඇතිව ඇයව විවාහ කරගෙන ඇත්තේ ඔහු පානදුර රෝහලේ වෛද්‍යවරයකු බවට හඟවමිනි. මනාලියට ඇතිවූ සැකයක් නිසා ඇය මොහු සමඟ මධු සමය ගත කිරීමට නොගිය බවත් පසුව සොයා බැලීමේදී මනමාල මහතා බොරු දොස්තරවරයකු යැයි හෙළිවූ බවත් කියති.
හොර දොස්තරලා ගැන සොයන්නට අපි ඊළඟට ගියේ කොටහේන ප්‍රදේශයෙන් ලත් ඔත්තුවක් අනුවය. එම දොස්තරවරයා සිටින තැන සොයා යන විට ත්‍රීවිල් එකකින් තැන ගැන විමසුවෙමි. “ඔය කියන්නේ ‘ඩොක්ටර් වන්ෂොට්’ ගැන. මෙතැන ඉඳන් රුපියල් සියයි යන්නේ ත්‍රිරෝද රථයට ගොඩ වූ මා දොස්තරට ‘වන්ෂොට් ‘කියන්නේ ඇයි දැයි විමසුවෙමි. ඩොක්ර්ට වන්ෂොට් කියන්නේ එක වේලෙන් ලෙඩේ හොඳ වෙනවා” ඒකයි.
දොස්තර ළඟට බේත් ගැනීමට ආ බොහෝ දෙනා පෙනුමෙන් දෙමළ තලත්තෑනි කාන්තාවන් සහ කුඩා දරුවන්ය. ඉතා අපහැදිලි දුර්වර්ණ වෛද්‍ය සංගමයේ සහතිකයක් රාමු කොට එල්ලා තිබුණි. බෙහෙත් සාප්පුව පුරා සහතික රැසකි. දොස්තරගේ බේත් සාප්පුව බෝඩ් ලෑල්ලේ දමා තිබුණේ ‘Medical Center’ ලෙසය. එහි යාපනයේ ශාඛාවක ලිපිනයක් තිබුණේ Head ofice ලෙස සඳහන් කරමිනි.
වෛද්‍යවරයාට රෝග කීපයක් කියූ විට ඔහු බෙහෙත් වර්ග කීපයක්ම ලියා තම බේත් දෙන කවුන්ටරයට දුන්නේය. “සාමාන්‍ය MBBS වෛද්‍යවරයකුට වඩා මේ වෛද්‍යවරයාගේ කතාබහ ඉතා සුහදය. පවුල් විස්තර, රැකියාව, දේශපාලන තොරතුරු ආදී සියලු දේ ඔහු සුහදව අසයි. පුවත්පත් කලාකරුවකු වන රැකියාව පමණක් සඟවා ගෙන දොස්තරවරයා සමඟ කතාබහේ යෙදුනෙමි.
ප්‍රතිකාර කිරීමෙන් පසුව වෛද්‍යවරයාගෙන් ඉල්ලූ විට බිලක්ද ලබාදෙන ලදි. බිලෙහි සීල් එක ඉතා අපහැදිලි ලෙස ගෙවී තිබුණි. ඔහු දුන් බේත් ගුණසිංහ පුරයට ගෙනවිත් ෆාමසියට පෙන්වා පරීක්ෂා කර බැලුවෙමි. එහි එක පෙත්තක වූයේ Glynese නමැති දියවැඩියාවට ගන්නා පෙත්තකි. දොස්තර දුන් බොන බෙහෙතෙහි අඩංගු වූයේ ප්‍රෙඩ්නිසොලෝන් නම් හෝමෝනමය බෙහෙත අරක්කු වැනි ඇල්කොහොල් දියරයකි.
“ඇඟේ පතේ වේදනාව කිව්වද. ඔය බොන බෙහෙත ගැහුවාම නාගසලං අරක්කු භාගයක් ගැහුවා වගේ. ඇඟපත වේදනාව කොහේ ගියාද නෑ. නිදිම තමයි”
එම වෛද්‍යවරයා සෑහෙන ඉහළින් අපහැදිලි MBBS සහතිකයක් එල්ලා තිබුණත් කවුරුත් ඒ ගැන විමසන්නට ගියේ නැත. මේ කියන දොස්තර නමින් වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නම් තිබුණේ නැත.
මෙසේ අප ගිය බොහෝ තැන්වලදී අපට දැන ගැනීමට හැකි වූයේ රට පුරාම හොර දොස්තරලා වැහි වැස ඉන්නා බවය. මෙම දොස්තරලාගෙන් බේත් ගන්නට යන කිසිවකු ඔබ ලියාපදිංචි දොස්තර කෙනෙක් දැයි විමසන්නට යන්නේ නැත. ඊටත් වඩා ෆාමසිය මෙන් ප්‍රදර්ශනය කළ යුතු වෛද්‍ය වෘත්තිය සම්බන්ධ ලේඛන ප්‍රදර්ශනය නොවීම ගැන විමසිලිමත් වී තම අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කළ යුත්තේ මෙරට ජනතාවමය. දශක දෙකකට වඩා ලංකාවේ ලියාපදිංචි දොස්තරවරුන්ට නිට්ටාවටම සුව කරගත නොහැකි හොර දොස්තර ලෙඩේ නිට්ටාවටම සුව කර ගැනීමට ඊට වඩා හොඳ බෙහෙතක් නැත.
වජිර ලියනගේ