රනිල්ට එක්සත් ජාතික පක්ෂය දිනවිය නොහැකි යැයි පවසා සමගි ජන බලවේගයට එකතු වූ පිරිසට රනිල් හොඳ පිළිතුරක් දුන්නේය. ඔහු එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධුරය හිමිකර දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගිය බදාදා රටේ තරුණ නීති වෘත්තිකයන් සමඟ සංවාදයක යෙදුණි. ඒ රටේ ඇතිකළ යුතු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ජනාධිපතිවරයා කළ කථාවේදී අරගලය අවසානයේදී පැවති තත්ත්වය පිළිබඳව අපූරු තොරතුරක් හෙළි කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් බැහැරව ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු අරගලකරුවන්ගෙන් මෙන්ම තවත් සමහර පිරිස්වලින්ද රනිල් වික්රමසිංහයන්ට බලපෑම් එල්ල විය. එනම් ඔහුද අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවටයි. මේ පිළිබඳව සඳහන් කරමින් එදින කථාවේදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“එවකට ජනාධිපතිවරයා නැවක නැඟලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා. එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් නැත්නම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මා එය ජනාධිපතිවරයාට භාරදිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දී, රටින් පිටවී මාලදිවයිනට යනවිට මට ඉල්ලා අස්වීම භාරදීමට හැකියාවක් නැහැ. කිසිවෙකුගේ බලපෑමට හෝ මගේ නිෙවස ගිනි තැබූ නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම්, ප්රජාතන්ත්රවාදී ප්රවාහයෙන් පිට වෙන කවුරුන් හෝ බලය අල්ලා ගන්නවා”.
එදා රනිල් වික්‍රමසිංහයන්, අනිත් අය අගමැති තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී එය භාරගෙන වැඩබලන ජනාධිපති ධුරයට පත්ව කටයුතු නොකළා නම් අද වන විට රට කුමන තත්ත්වයකට පත්ව තිබෙනු ඇත්ද යන්න කිසිවෙකුටත් ප්‍රකාශ කළහැකි යැයි නොසිතමි. වැඩබලන ජනාධිපති ධුරයට ඔහු පත්වෙද්දී ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිල නිෙවස, අගමැති කාර්යාලය සහ අගමැති නිල නිෙවස අරගලකරුවන් විසින් අල්ලාගෙන ඔවුන් විසින් පාලනය කරමින් තිබුණි. ඉතිරිව තිබුණේ පාර්ලිමේන්තුව පමණි.
සුනිල් හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් විසින් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා මහජනතාවට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා සිටිමින් ව්‍යාපාරයක් දියත් කර තිබුණි . එදා එම ව්‍යාපාරය ව්‍යර්ථ කර, පාර්ලිමේන්තුව රැකගෙන, අරගලකරුවන් රජයේ මර්මස්ථානවලින් ඉවත් නොකළා නම් අනිවාර්යයෙන්ම මේ රටේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය එතැනින් ම අවසන්වීමට ඉඩ තිබුණි.
එදා රනිල් වික්‍රමසිංහයන් නොසිටියා නම් අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කොහේ සිටිනු ඇද්ද? සජිත් ප්‍රේමදාස එදා අරගලකරුවන්ගෙන් ජීවිතය ගලවා ගත්තේ යාන්තමිනි. අනුර කුමාර දිසානායකට ද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් ළඟ එන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සුපුරුදු උදාන වාක්‍ය ප්‍රකාශ කිරීමට රනිල් වික්‍රමසිංහ එදා රට භාර නොගත්තා නම් ඔවුන්ට හැකියාව ලැබේද යන්න අප මතක් කරගත යුතුව ඇතැයි සිතමි.
පාර්ලිමේන්තුව ආරක්ෂා කරගෙන, අරගලය අවසන් කර, රට අරාජික තත්ත්වයෙන් මුදා ගැනීම නිසා පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සැලසුණි. එහිදී එදා පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද ඒ සඳහා ඉදිරිපත් විය. අරගලකරුවන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත්වීමටත්, එසේ පත්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත්කිරීමටත් ගිවිසගෙන ජනපතිවරණයට ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ ඡන්දයෙන් ජනපති ධුරයට පත්විය. රටේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය යළි ස්ථාපිත විය.
රනිල් වික්‍රමසිංහයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ 1994 වසරේදී ය. එහෙත් 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පවා රනිල්ට ලබා නොදුන්නේය. ඒ වෙනුවට පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස තෝරා ගත්තේය. එහෙත් ඔහුට ද ජනාධිපති ධුරය දිනා ගැනීමට හැකි වූයේ නැත. ඊළඟට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය පිහිටු වූයේය. එක්සත් ජාතික පාක්ෂිකයෝ වැඩි දෙනෙක් රනිල් අත්හැර සජිත් සමඟ එකතු විය. රනිල් තනියම පක්ෂය මෙහෙය වූයේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරය දිනා ගැනීමට සජිත්ට නොහැකි විය. රනිල්ට එක ආසනයක්වත් දිනිය නොහැකිව අවසානයේදී එක්සත් ජාතික පක්ෂ තනි මන්ත්‍රීවරයා බවට පත්විය. රනිල් තනි මන්ත්‍රීවරයාව සිට වසර 02ක් යෑමට මත්තෙන් ජනාධිපති ධුරයට පත්විය. කොක්කෙන් බැරිවූ දෙය රනිල් කෙක්කෙන් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. රනිල්ට එක්සත් ජාතික පක්ෂය දිනවිය නොහැකි යැයි පවසා සමගි ජන බලවේගයට එකතු වූ පිරිසට රනිල් හොඳ පිළිතුරක් ලබා දී තිබේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධුරය හිමිකර දුන්නේය.
පක්ෂය හැර ගිය අය තවදුරටත් සමගි ජන බලවේගය තුළ රැඳෙන්නේ ඇයි ? එක්සත් ජාතික පක්ෂයේ ජනපතිට එරෙහිව සමගි ජන බලවේගය නමින් එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටද?
2022 අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කෙරිණි. ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් භාරගත්තේ එම රටය. කොළඹ වරායට පැමිණි ගෑස් සහ තෙල් නැව්වලට ගෙවීම සඳහා ඩොලර් මිලියන කිහිපයක මුදලක් හෝ සොයා ගැනීමට නොහැකි වූ තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර සහ ඖෂධ හිඟය මෙන්ම අසීමාන්තික විදුලි කප්පාදුව මත මහජනතාව විඳි දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැත. හරියටම වසර දෙකකට පෙර මහජනතාව මුහුණදුන් දුෂ්කරතාවන් හා අද පවතින තත්ත්වය සමඟ සංසන්දනය කිරීමෙන් වෙනස වටහා ගැනීමට හැකිවනු ඇත. රනිල් එදා ජනපතිකම භාර නොගන්නට අද මේ රට කොතනද?
2017 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මහා පෙරළියක් ඇති කරමින් සිටියේය. මුහුණදුන් පළමු පළාත් පාලන මැතිවරණයෙන්ම රට තුළ ජයකෙහෙලි නංවන්නට එයට හැකිවිය. විපක්ෂය ඡන්ද පනස් පන් ලක්ෂයක් ලබද්දී, ඡන්ද හැටනව ලක්ෂයක් ලබමින් තම අපේක්ෂකයා ජනපති ධුරයට ගෙන ඒමට එම පක්ෂයට හැකිවිය. ඉන්පසු පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළමු වතාවට 2/3 ක ජයග්‍රහණයක් ලැබීමට හැකිවිය. එහෙත් 2022 මැයි මස 09 වෙනිදා කොළඹ පැමිණි තම පාක්ෂිකයන් බේරේ වැවට තල්ලු කරන ආකාරය ද තම පාක්ෂිකයන් පැමිණි බස්රථ විවිධ ස්ථානවලදී ගිනිතබන ආකාරය ද, සියැසින් දැක ගැනීමට ඔවුන්ට සිදුවිය. සිය ගණනක් තම පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ ගෙවල් පුලුස්සන ආකාරය ද, සමහරු ඝාතනය වන ආකාරය ද ඔවුන්ට දැක ගැනීමට හැකිවිය. එදා රනිල් වික්‍රමසිංහයන් ජනපති පදවියට පැමිණ පොදුජන පෙරමුණටත්, සමස්ත ජනතාවටත් ආරක්ෂාව ලබා නොදෙන්නට තවදුරටත් පොදුජන පෙරමුණ කෙසේ වෙතත් එහි සාමාජිකයන්ට සාමාන්‍ය තත්ත්වයෙන් ජීවත්වීමට ඉඩ ලැබීමට හැකිවේදැයි සිතිය යුතුව ඇත.
මේ රටේ ජීවත්වන සියලු ජන කොටස්වල ප්‍රශ්න, ගැටලු සහ අවශ්‍යතාවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා අවංකව හා විවෘතව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ තරම් වෙනත් නායකයෙකු නැති තරම් ය. 2015 දක්වා මහින්ද රාජපක්ෂ සමඟ දීර්ඝ කාලයක් එක්ව කටයුතු කළ ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ 2015 වසරේදී යළිත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී හවුල් රජයක් පිහිටු වූයේය. 2015 ජනාධිපතිවරණය එළඹෙද්දී මේ පක්ෂ බොහොමයක් මහින්ද රාජපක්ෂයන් අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවිය. රනිල් සජිත් ගැටුම එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විය. එහෙත් සජිත් වෙනත් පක්ෂයක් පිහිටු වූ විට හකීම්, රිෂාර්ඩ් බදුර්දීන්, දිගම්බරම් වැනි අය සජිත්ගේ සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතවිය. මේ රටේ සුළු ජන කොටස්වල අභිවෘද්ධිය සඳහා එවැනි කැපවීමක් කළ නායකයෙකු අත්හැර අලුත්ම පක්ෂයක් සමඟ සන්ධාන ගතවීම පිළිබඳව බොහෝ දෙනෙකු පුදුමයට පත්වූ බව ප්‍රකාශ කළ හැකිය.
සුළු ජන කොටස් පිළිබඳව විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශිෂ්ට කැපවීමක් කළ රනිල් වික්‍රමසිංහ තරම් පරිණත දේශපාලනීඥයෙකු මෑතකාලීනව සිටියේ නැති තරම් ය. එය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වූයේ 2019 පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ය. ඉස්ලාමීය අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක්ව සැලකිය යුතු පිරිසක් ඝාතනය වෙද්දී රට තුළ කිසිම ගැටුමක් ඇති වූයේ නැත. මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටුමක් ඇති කිරීමට බොහෝ පිරිස් උත්සාහ කළද රනිල් එයට ඉඩ දුන්නේ නැත. එදා රනිල් නොසිටින්නට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වීමට ඉඩ තිබුණි. එසේ වුවද එම තත්ත්වය වළක්වාගෙන මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට රනිල්ට හැකිවිය. එහෙත් ඇතැම් මුස්ලිම් නායකයෝ ජනවාර්ගික සබැඳියාවේ ආදරණීය මිතුරා වන රනිල් වික්‍රමසිංහ අත්හැර අනෙක් පක්ෂ සමග සන්ධාන ගතවීමට කටයුතු කළහ.
ජනපතිවරණය අබියස සිටින මේ මොහොතේ බොහෝ දෙනෙකු සිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් නොසිටියා නම් ඉහත කී අවස්ථාවල රටට කුමක් සිදුවන්නේ ද යන්නයි.
සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය