මේ වසර අවසාන වන්නට පෙර පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාව කේන්ද්‍රීය කර ගනිමින් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වළ වැඩසටහන මඟින් සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන්වලදී ප්‍රකාශ කළේය.
තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිටම අනිවාර්ය විෂයයක් බවට පත් කර ඉගැන්වීමේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
පහත දැක්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ය.
මේ වසර අවසාන වන්නට පෙර භෞතික මානව සම්පත් ලබාදීලා තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කරනවා. එය හය දහතුන නොවෙයි එක දහතුන විෂයක් බවට පත් කරනවා; ඉගැන්වීමේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරනවා; මේක කියන කොට සමහරෙක් තොරතුරු නොදන්නා නිසා තරහා වෙන්නට පුළුවන්. මම කියන්නද ඇයි අපි එහෙම කරන්නේ කියලා පොඩි උදාහරණයක් දෙන්නද? මහදිවුල්වැව පාසලෙන් දරුවෙක් හොඳටම ඉගෙන ගෙන උසස් අධ්‍යපානය කරලා විශ්විවිද්‍යාලයේ කලා ක්ෂේත්‍රයෙන් උසස් ම උපාධියක් ගන්නවා. ඒ දරුවා එහෙම කරනකොට තව දරුවෙක් යනවා කලම්බු ඉන්ටර්නැෂනල් එකට. එයා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා, ඉංග්‍රීසියෙන් උපාධියකුත් කරනවා. ඒත් කලා විෂය සිංහලයෙන් ඉගෙන ගත්ත දරුවට ද ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත ළමයාට ද රස්සාව දෙන්නේ.
“ ඔන්න ඕකයි ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපි හැම පාසලකම කරන්න ඕන කියන හේතුව. මේ ගොවි මහත්තුරුන්ගේ දරුවන්ව ජාත්‍යන්තර පාසල්වලට යවන්න පුළුවන්ද? මේක නිදහස් අධ්‍යාපනයක්. මේක කන්නන්ගර මහත්තයා නොමිලේ අපේ රටට දුන්න දායාදය. හැබැයි මම දන්නවා මේක අපි ක්‍රියාත්මක කරන්න යනකොට අමුතුම සටන් පාඨයක් හැදෙයි.
සජිත් ප්‍රේමදාසගේ පරදේසක්කාර විජාතික විදේශීය ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණික පරිගණක විද්‍යා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කිරිමේ අධ්‍යාපනය අපි පරාජය කරමු කියලා බෝඩ් ලෑලි එල්ලගෙන මැදවච්චිය ටවුමෙත් උද්ඝෝෂණය කරයි. එයට දරුවන්වත් මවුපියන්වත් පොලඹවා ගනියි. ගුරුවරුන්ව විදුහල්පතිවරුන්වත් පොලඹවා ගනී. මට නම් කමක් නැහැ. ඕන උද්ඝෝෂණයක් කරගන්න කමක් නැහැ. හැබැයි බෝඩ්ලෑල්ල උස්සන්න ඉස්සෙල්ලා මම කිව්වා උදාහරණය ගැන හිතා බලන්න; අර රස්සාවට ඔබේ දුවා පුතා යන්නට අවස්ථාව සැලසෙන නූතනවාදී අලුත් අධ්‍යාපන ක්‍රමයකට අපි යා යුතුයිද? නැද්ද? මගේ අතේ නොවෙයි උත්තරය තියෙන්නේ. මම කියනවා, මේ අම්මලා තාත්තලාට සිංහල පමණයි කියන දේශපාලනයට රැවටෙන්න එපා කියලා. සිංහල පමණයි කියලා පිරිසක් කියනවා, දමිළ පමණයි කියලා තවත් අය කියනවා. ඒ දේශපාලනයට රැවටෙන්න එපා. ඒක සටකපට දේශපාලනයක්. සිංහල පමණයි, දමිළ පමණයි කියන සටකපට දේශපාලනයට රැවටෙන්න එපා. මොකද ඡන්ද මල්ලට ඡන්ද ටික පුරවලා දේශපාලනඥයන්ට රජ වෙන්න ඒ උත්සාහ කරන්නේ. එහෙම කරගෙන යනකොට ළමයි හතළිස් ලක්ෂයකට අත්වන ඉරණම කුමක්ද? සටන් පාඨ හදන්නේ අන්තවාදී මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී මිනිස්සු කයිවාරුකාරයොන්ගේ සමාජ සාධාරණත්වය ගැන කතා කළොත් ඒ අයගේ දරුවන් යන්නේ ජාත්‍යන්තර පාසල්වලට සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට.
ඒ අයගේ දරුවන්ව ජාත්‍යන්තර අධ්‍යාපනයට යොමු කරලා නිදහස් අධ්‍යපනය වෙනස් කරන්න හදනකොට ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අධ්‍යාපනයකට යොමු කරන්න හදන කොට ඒ අය අර බෝඩ්ලෑල්ල එල්ලගෙන ඔබට කියයි. රට ජාතිය වෙනුවෙන් මැදවච්චිය ටවුමට එන්න කියලා. රට ජාතිය වෙනුවෙන් ද ඒ අයගේ ළමයි ජාත්‍යන්තර පාසල්වලට යන්නේ. කරුණා කරලා මේ බොරුව රැවටිල්ල අවබෝධ කරගන්න.
අධ්‍යාපනය සහ ජීවනෝපාය එකම මාර්ගයක යා යුතුයි
– මහාචාර්ය ජී .එල් පීරිස්
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාගේ අදහස වුණේ අධ්‍යාපනයක් ලබා ගැනීමේදී අපට අපේක්ෂාවන් රැසක් ඇති බවයි. ඒ අධ්‍යාපනයෙන් ප්‍රායෝජන ගෙන හොඳ රැකියාවක් ලබාගෙන තමන්ගේ නිවාස සහ පවුල නඩත්තු කර ගැනීමට ආර්ථිකයක් ගොඩනඟා ගෙන තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමයි. අධ්‍යාපනයක අවසාන අරමුණ වන්නේ එයයි. එතකොට අපේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග අතර ඇති පරතරය. හුඟක් උපාධිධාරීන් ඉන්නවා; අධ්‍යාපනය ලබාගෙන තියෙනවා; නමුත් ඒ උපාධියට ගැළපෙන රක්ෂා ලබා ගැනීමට අසීරු වෙලා තියෙනවා. ඒ නිසා ඒක තරුණ අසහනයකට ප්‍රබල හේතුවක්. අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ගය එක් මඟක යෑම අවශ්‍ය වෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් බලන කොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් වෙනස්කම් ඇති කරන්න අවශ්‍යයි.
රට අභ්‍යන්තරයේ හරය සහ විෂයන් සම්බන්ධයෙන් බලන විට වෘත්තියට සම්බන්ධ කරගත යුතුයි. ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්, ඒ භාෂාව පිළිබඳ නිපුණත්වයක් තිබීම ඉතා වැදගත්. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව වඩා වැදගත් වෙනවා. වෘත්තිමය අධ්‍යාපනය ගත් විට ඉජිනේරු විෂය ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව කියන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා. ඒ සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රායෝගිකව වර්ධනය කළ යුතුයි.
එයින් තමන්ගේ මව් රටේ භාෂා වන සිංහල දමිළ භාෂාව අතපසු කරලා ඉංග්‍රීසි භාෂාව ගැන අවධානය යොමු කරන්න කියලා කිසිසේත් අදහස් කරන්නේ නැහැ. මේ කියන්නේ එවැනි අදහසක් නෙමෙයි. ප්‍රාථමික අධ්‍යාපනය කොහොමත් අපේ රටේ සිදු කරන්නේ මව් භාෂාවෙන්. ප්‍රාථමික අධ්‍යාපනයට මව්බස අතපසු කරලා ඉංග්‍රීසි භාෂාව උගන්වනවා කියලා නොවෙයි මේ කියන්නේ. ඉංග්‍රීසි විෂය සාර්ථකව ඉගැන්වීම සිදු කොට සාර්ථක රැකියාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි කියලයි. අධ්‍යාපනය නවීකරණය කිරීමේ කොටසක් ලෙසයි එය සිදු කරන්නේ. වර්තමාන සමාජයට ගැළපෙන අකාරයට සැලැසුම් සකස් කරන්න ඕන කියලයි ඔහු ප්‍රකාශ කළේ.
ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ප්‍රායෝගික කිරීම ඉතාම දුෂ්කරයි
– පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ප්‍රායෝගිකව අපේ රටේ දැනට තියෙන පහසුකම් පද්ධතියත් එක්ක ක්‍රියාවට නැංවීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවලියක්. නමුත් ජාත්‍යන්තර වශයෙන් ගත් විට ඉංග්‍රීසි අධ්‍යාපනයට තැනක් දීම ඉතාම වැදගත්. ඒ සඳහා හොඳ සූදානමක් අවශ්‍යයි; එය ප්‍රතිපත්තිමය තීන්දුවක් නම් එයට බොහෝ අය එකඟ වේවි. ස්වභාෂාව උගන්වන ගමන් ඉංග්‍රීසිවලට ප්‍රමුඛත්වයක් දීමයි වැදගත්. ඒ සඳහා ගුරුවරුන් විශාල ප්‍රමාණයක් සහ තාක්ෂණික යටිතල පහසුකම් දියුණු කිරීම අවශ්‍යයයි. ඒ වගේම මේ රටේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණු ආයතන නැහැ; ඒ නිසා එය විශාල දුෂ්කර කාර්යයක්. එවැනි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට නම් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනම එක ආකාරයට උගන්වන්න ඕන; එය ඉතා වැදගත්. භාෂා තුනම ශක්තිමත්ව උගන්වන ගමන් ඉංග්‍රීසිවලට වැඩි ඉඩක් ලබාදිය යුතුයි. ඒ සඳහා විශාල අපහසුතාවයන් රාශියක් තියෙනවා. එයට ආමන්ත්‍රණය කිරීමට සැලසුම් සැකසිය යුතුයි. එය විශාල ක්‍රියාවලියක් සහ විශාල පරිශ්‍රමයක් දැරිය යුතු දුෂ්කර කටයුත්තක්. මේ සඳහා අවුරුදු දෙකක් තුනක් විතර යාවි.
ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට යාම මහා සංස්කෘතික සංහාරයක්
– කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක
1931සිට මේ දක්වා බැලුවොත් දශක නවයක් පුරා පාලකයෝ සහ පරිපාලකයන්ට ලංකාව පරිපූර්ණ රාජ්‍යයක් බවට පත් කිරීමේ ක්‍රියාව යථාර්ථයක් කරන්න බැරි වුණා. රටේ බංකොලොත් බව කියන්නේ දශක ගණනාවක පාලකයෝ සහ පරිපාලකයන්ගේ නොසැලකිලිමත් කමේ ප්‍රතිඵලයක්. ඒ නිසා ඔවුන් කොතරම් පරාජිතද කියනවා නම් ඔවුන් හිතනවා; රට දියුණු වෙන්නේ නැත්තේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. ජනතාව ඉංග්‍රීසි දන්නේ නැති නිසා කියලා. එවගේම රටේ ජනතාවට ඉංග්‍රීසි දැනුම දුන්නොත් රටේ මහ සංවර්ධනයක් සිදුවන බව ඒ අය හිතනවා. ලෝකයේ හැම තැනම යන ඒ අයට අමතක වන කාරණාවක් නම් විශේෂයෙන් ජර්මනිය ප්‍රංශය ජපානය චීනය ගත් විට ඒ රටවල් වැඩ කරන්නේ මව් භාෂාවෙන්. ඒ අය අනෙක් භාෂාවලට දීලා තියෙන්නේ ද්විතියික තැනක්. මේ හැම රටක්ම තාක්ෂණික වශයෙන් ගත් විට අපිට හිතාගන්න බැරි තරම් දියුණු රටවල්.
විද්‍යාත්මක දැනුම තාක්ෂණික දැනුම අතිශයින්ම දියුණු රටවල්වන ඉංග්‍රීසි කතා කරන රටවලට වඩා ඉදිරියෙන් මේ අය ඉන්නවා. මොකක්ද ඒකට හේතුව? ඒ ඉංග්‍රීසි භාෂාව නිසා නොවෙයි. ප්‍රශ්නය අපේ රටේ පාලකයන්ට පරිකල්පනිය දැනුමක් සහ පරිකල්පනීය ශක්තියක් නැහැ. රටක් දියුණ කළ හැක්කෙ කෙසේද කියලා ඒ අය දන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි දන්නේ නැති නිසා තමයි මේක වුණේ කියලා; රටේ ජනතාව පිට ඔවුන් වරද පටවනවා. එසේම රටේ තරුණ තරුණියන්ට රැකියා නැත්තේ ඉංග්‍රීසි බැරි නිසා කියලා ඔවුන් කියනවා. ඉංග්‍රිසි මව්බස ලෙස කතා කරන බ්‍රිතාන්‍ය අෙමරිකාව වැනි රටවල රැකියා ප්‍රශ්නය විසඳිලා තියනවාද. අපි දන්න තොරුතුරු අනුව ඒ රටවල දිනකට දහස් ගණනින් ලක්ෂ ගණනින් රැකියාවලින් සේවකයන් ඉවතට දානවා. ඒ කියන්නේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයේ ඇති අර්බුදය නිසා; අපේ රටේ තියෙන්නෙත් නිෂ්පාදන සහ සේවා ආර්ථිකය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට පරිපාලකයාට අවශ්‍යතාවයක් නොමැති විමයි. එසේම අධ්‍යාපනය හදාරන අයට ඉංග්‍රීසි භාෂාවක් හෝ වෙනත් භාෂාවක් ඉගැන්විමේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ශඩ් භාෂා පරමේෂ්වරලා හිටිය රටක්. ඉංග්‍රීසියෙන් ඉගැන්විමයි ඉංග්‍රීසි ඉගැන්විමයි කියන්නේ දෙකක්. මේ අය මේක පටලවා ගැනීමක් කරගෙන තියෙනවා. අපේ රටේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම කළ යුතුයි. ඒ වගේම වෙනත් ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න පහසුක්ම තිබිය යුතුයි. නමුත් ඉගැනිමේදි ඔවුන් තෝරා ගන්නා බස කුමක්ද කියලා තෝරා ගන්න අයිතිය ඔවුන්ට තිබිය යුතුයි.
ඉංග්‍රිසියෙන් උගන්වන්න හදන රටක පාලකයො සහ පරිපාලකයො හොඳටම දන්නවා ඉංග්‍රීසි උගන්වන්නවත් ගුරුවරුන් ප්‍රමාණවත් නැති බව. ඇත්තටම ගත්තොත් හැම පළාතකම තිබුණ ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සංගීතය සහ දෙමළ විෂයන් සඳහා සෑම පළාතකම ගුරුවරු හිඟයි; එහෙම ගුරුවරුන්වත් නැති විෂයකින් උගන්වන්න යනවා කියන එකම ආචාරධර්ම සහ මානව ධර්ම විරෝධී කටයුත්තක්. අපි අපේ පාලකයන්ට හා පරිපාලකයන්ට කියන්නේ ඉංග්‍රිසි හරියට උගන්වන්න. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් උගැන්වීමෙන් ඇතිවන මහා ප්‍රතිපලයක් නැහැ කියලයි. යම්කිසි විෂයක් ඉතාම නිර්මාණශීලි ලෙස සිත්කළු විදිහට ඉංග්‍රීසියෙන් ඉගැන්වීම අතිශයින්ම ගැටලු සහගතයි.
මේ ප්‍රශ්න ටික විසඳන්න ඉංග්‍රිසියෙන් උගන්වන අයට බැහැ. වහලක් නැහැ ගස් යට ඉගන ගන්න ළමයි ඉන්න රටක් මේ. ඒ ගැටලු විසඳන්නේ නැතුව පුළුවන් ද මේ වගේ තැනකට යන්න. ගුරුවරු නැහැ; පාසලක් හරියට නැහැ. මේ ප්‍රශ්න තියාගෙන මේ අය කියනවා ඔබලාට ඉංග්‍රීසි බැහැ. ඒ නිසා රැකියා නැහැ කියලා; වරද පටවනවා. විසඳිය යුතු ප්‍රශ්න රැසක් තියනවා. මේ ළමයි සියලු දෙනාම ඉංග්‍රීසි කතා කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් විශාල පිරිසක් පැත්තකට විසිවීමක් වෙන්නේ. මේ නිසා විශ්වවිද්‍යාලවල ඇතැම් විශේෂවේදි උපාධි සඳහා සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉල්ලුම් නොකරන තත්ත්වයක් ඇතිවෙලා තියනවා.
භාෂාවක් කියන්නේ එය කතා කිරීම සහ ලිවීම පමණක් නොවෙයි. ස්වභාෂාව හෑල්ලු වීම මහ අපරාධයක් වන්නේ ඒ තුළින් ගොඩනැඟුණ මහ සංස්කෘතිය දැනුම් පද්ධතිය ආගමික ඥානය වෙදකම ජනශ්‍රෑතිය මේ සේරම භාෂාව නමැති කෝෂාගාරය තුළ රඳා පවතින නිසයි. අධ්‍යාපනය විසින් තමන්ගේ රටේ මව් භාෂාව අවතක්සේරුවට ලක්කරනවා නම් ඒ රටේ මහ සංස්කෘතිය අවතක්සේරුවට ලක් කිරිම සහ නොසලකා හැරීමයි සිදු වන්නේ. ඒ වැනි ප්‍රතිපත්ති එක්තරා ආකාරයක සංස්කෘතික සංහාරයක් ලෙස හැඳින්විය හැකියි. ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට යාම මහා සංස්කෘතික සංහාරයක් ලෙස හැඳන්විය හැකියි.
නිර්මාණකරණයේ විශිෂ්ට ලකුණු මතුවන්නේ මව් භාෂාව නිසා
– පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
මව් භාෂාවෙන් අධ්‍යාපනය දීමේ වැදගත්කම සම්බන්ධයෙන් කතා කිරීමේදී මව් බසින් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම සහ මව් බස නිවැරදිව පරිහනය කිරිමේ වැදගත්කම මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ බලවේගවලට අවබෝධයක් නැති බවයි අපිට පේන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙ න්ම ජාතික ජනබලවේගය පැත්තෙන් අපිට ඇහෙන්නේ ඒවගේ අනවබෝධයෙන් කරන ප්‍රකාශයි. අද පවතින නායකත්වය යටතේ යන්නෙත් ඒ දිශාවටමයි කියලා අපිට නම් වැටහිලා තියෙන්නේ. ඒකයි කනගාටුදායක තත්ත්වය. අපේ ස්වදේශීය ප්‍රාඥයන් මේ සම්බන්ධයෙන් කරන ලද අදහස් සමුදායක් තියෙනවා. මව් භාෂාව සහ නිර්මාණාත්මක චින්තය සම්බන්ධයෙන් නිර්මාණකරණය සම්බන්ධයෙන් ඉහළම අදහස් අපිට සිංහල භාෂාවෙන් පළ වෙලා තියෙනවා.
විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉංග්‍රීසි භාෂාව ලෝකය පුරා පවත්වාගෙන යන්න මහත් පරිශ්‍රමයක්ගෙන තියෙනවා. මේ සම්බන්ධනේ විශේෂ හැදෑරිම් කර තියෙනවා. මීට අවුරුදු පන්සියයක් විතර ආපස්සට ගියොත් එංගලන්තය කියන්නේ රෝමයේ යටත් විජිතයක්ව පැවැති නොදියුණු රටක්. එතකොට මේ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල සංඛ්‍යාවක් කර තියෙනවා. ඒ හැදෑරිම් හරහා පොදුවේ පිළිගනු ලබන කාරණාවක් තමයි; එංගලන්තයේ පල්ලිවල ලතින් භාෂාවෙන් යාච්ඥා කිරීම නවත්වලා බයිබලය ඉංග්‍රීසියට හරවලා, ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගේ ආගම අදහන්න පටන් ගත්ත තැන තමයි, එංගලන්තයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඒ අය සලකන්නේ.
එංගලන්තය අවුරුදු සියයක් ඇතුළත ලෝක බලවතෙක් වෙනවා; ලෝකයට අලුත් දේවල් දායාද කරන ජාතියක් බවට පත් වෙනවා. අවසාන වශයෙන් ලෝකයේ පහෙන් එකක් ඒ අය පාලනය කරනවා. මව් භාෂාව සහ චින්තනය හා මව්බස සහ නිර්මාණකරණය සහ වෙනත් කරුණු ස්වදේශීය මූල්‍යයන්ගෙන් ගලවා යටත් විජිත පවත්වා ගෙනයාමත්; ඒ සඳහා පුහුණු කරන ශ්‍රමිකයන් හා වහලුන් බිහි කර ගැනීම යන කාරණා ගැන අද වන විට බොහෝ අධ්‍යයනයන් සිදුව තියෙනවා.
ප්‍රංශයට ගියොත් කොච්චර මෙහේ ඉංග්‍රීසි ඉගෙන ගෙන ගියත් ප්‍රංශයෙ දී ඉගෙන ගන්න වෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ප්‍රංශෙ මේ ගැනත් අධ්‍යයනයන් තියෙනවා. ප්‍රංශ ජනතාවගෙන් සියයට පනහකටවත් ප්‍රංශ භාෂාව කතා කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. අද මේ තත්ත්වයට ඒ රට ගේන්නේ ඒ රටේ බුද්ධිමතුන් පාලකයන් කටයුතු කළා. අපේ බොහෝ අය හිතනවා මේක ඉංග්‍රීසි ලෝකයක් කියල. නමුත් ඔබ ලොව පුරා රටින් රටට ගියොත් උදාහරණයකට ජර්මනියට වෙන්න පුළුවන්, ඉතාලියට වෙන්න පුළුවන්, ඩෙන්මාර්කයට වෙන්න පුළුවන්; ඒ රටවල්වල විශ්වවිද්‍යාලවල උපාධි හාදාරලා පශ්චාත් උපාධි සඳහා ඉගෙන ගන්නේ ඒ රටේ භාෂාවෙන්. ආසියාතික රටක් ලෙස ජපානයේ අදටත්,මෝටර් කාර්මික විද්‍යාව හදාරන්න ගියාම ඔවුන් පළවෙනියෙන්ම ඔවුන්ට ජපන් භාෂාව උගන්වනවා. චීනය ඔවුන්ගේ භාෂාව මුල් කරගෙනයි තමුන්ගේ සියලු කටයුතු සිදු කරන්නේ. ඒකනේ අපේ අය කොරියාවට යන්න ගියාම,කොරියානු ප්‍රවීණතා විභාගයට ලියන්නේ. ඔබ දැකල ඇති දවස් ගණන් අපේ අය පෝලිමේ ඉන්නවා. ඒ රටවල නිර්මාණවල වෙනස්කම් පවතින්නේ ඒ නිසයි. අපි ඒ විදියේ සරල උදාහරණයක් ගමු; යුරෝපයේ රූපවාහිනී තලයට වක්‍ර මුහුණතක් එන්නේ කොරියාවෙන්. කොරියාවට විතරක් නෙමෙයි එය සමස්ත මානවයාටම තව පියවරක් ඉදිරියට යාමක්.
ඒ වගේම මේ භාෂා ලෝකයේ සිතුම් පැතුම් නිර්මාණකරණය හා එකට බැඳිලා තියෙන්නේ. දේශපාලනය වගකිවයුතු පක්ෂවලින් බැගෑපත්ව ඉල්ලා සිටිනවා කරුණා කර ඔබ ඔබේ භාෂා ප්‍රතිපත්තිය නැවත අධ්‍යයනය කරන්න. ලෝකය ගැන ඉගෙන ගන්න. ඉංග්‍රීසි නොවෙයි ලෝකය කියන්නේ. ඉංග්‍රීසි අපට උපකරණයක්. ඒ උපකරණය ආභරණයක් කර ගන්නේ නැතුව කරුණා කරලා ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන පොත පත කියවන්න. භාෂා අධ්‍යයනය ගැන ලියවිලා තියෙන පොත පත කියවන්න. භාෂාව හා නිර්මාණාත්මකතා චින්තනය, භාෂාව හා නව නිමැයුම් පිළිබඳ කරලා තියෙන පර්යේෂණයන් කියවන්න. ඒක කියෙව්වොත් ඔබට තේරේවි අපේ මේ දේශපාලන නායකයන් මුළාවක ඉන්න බව. අපි ණය වෙලා හිඟාකන රටක් බවට පත්වීම මේ ගමනේ එක ප්‍රතිඵලයක්.මේක ඉතාම පැහැදිලිව කුමාරතුංග මහත්තයා කියලා තියෙනවා. මව් භාෂාවේ අගය වටහාගෙන ඒ සඳහා කටයුතු කරන නායකත්වයක් මගේ මව්බිමට ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා.
සුභද්‍රා දේශප්‍රිය