Home » ආයෝජන ගැන ආණ්ඩුව ජනතාවට කොළේ වහනවා

ආයෝජන ගැන ආණ්ඩුව ජනතාවට කොළේ වහනවා

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

සමගි ජන බලවේගය පවසනවා මේ ආණ්ඩුවට ඇත්තේ තවත් මාස හයක පමණ ආයු කාලයක් බව?

ජනාධිපතිවරණය ඔක්තෝබර් 16 ට පෙර පැවැත්විය යුතුයි. පත්වන ඕනැම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම අනිවාර්යයි. හේතුව ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාව තිබීම. දැන් තියෙන්නේ විවිධ දේශපාලන අරමුණු, අදහස් ඇති ස්ථාවර රජයක් නෙමෙයි. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු වෙනවා. ඊට අමතරව සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණයක් වසරක් තුළ පැවැත්වීමට කටයුතු කරනවා. ඒ දෙකම අද ජනතාවට අහිමි වෙලා.

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද යන්න පිළිබඳ දෙගිඩියාවක් ආණ්ඩුවට පවතින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා?

ව්‍යවස්ථානුකූලව මුලින්ම පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයයි. කවුරු හෝ හිතනවානම් වංගු ගසා එය වෙනස් කළ යුතුයැයි කියා එය එසේ කරන්න බැහැ. මෙය ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නොමැති අය කියන කතාවක්. මැතිවරණ කොමිසමත් පැහැදිලිවම ප්‍රකාශයට පත්කර තියෙනවා ඔක්තෝබර් 16ට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව. එසේම ජූලි වන විට අනිකුත් නීතිමය වැඩ කටයුතු ආරම්භ වන බව. ඒ නිසා මුලින්ම පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණය වුවත් ජනාධිපතිවරයාට තවමත් අවකාශය තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට. දැන් ජනාධිපතිවරණයට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති ඉඩකඩ ක්‍රමානුකූලව අවසන් වෙමින් යනවා. මන්ද එසේ නොවුනහොත් මේ දෙක අතර ගැටුමක් ඇති වන්නට ඉඩ පවතිනවා.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ප්‍රකාශයක් කර තිබුණා මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවට. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධතා මතුවුණා?

පාලිත රංගේ බණ්ඩාරගේ ඒ කතාව කිසිදු පදනමකින් තොර ප්‍රකාශයක්. අපි අහන්නේ ජනාධිපතිවරයා ඔවුන් කියන තරමට ජනප්‍රිය නම් , ජනතාවගේ ප්‍රශ්න විසඳා ඇත්නම්, ආර්ථිකය ගොඩ දා ඇතිනම් මහජන මත විමසුමකට යාමට බැරි ඇයි? අපි අහන්නේ ඒ ප්‍රශ්නයයි. පැහැදිලි ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණයකට ගොස් දිනන්න බැරි බවට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් පිළිගෙන හමාරයි. දෙවැන්න කාගෙවත් කාලය දිගු කරන්න අපේ ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත්කරන ගන්නවා හැර ඔහුගේ කාලය දිගු කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැහැ. තුන්වැන්න නම් මෙවැනි ලද බොළඳ ප්‍රකාශයක් කරන්නේ ව්‍යවස්ථාව ගැන හෝ නීතිය ගැන හෝ ජනතාවගේ අභිමතය ගැන හැඟීමක් නොමැති අයයි.

ජාතික ජන බලවේගය පවසා තිබුණා මෙවර ඔවුන්ටත් විශිෂ්ට ජයක් අත්වන බවට?

ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගයට කිසිදු අභියෝගයක් නෙමෙයි. බිම් මට්ටමේ විශාලම ජන සහායක් තියෙන්නේ සමගි ජන බලවේගයට කියලා හැමෝම දන්නවා. ජාතික ජන බලවේගය විකල්පයක් නැති තැන ලොකුවට කැපී පෙනීමට උත්සහ කළා. නමුත් මේ වන විට තුන්වැනි පාර්ශ්වයක් ලෙස පොහොට්ටුවේ සංවිධාන කටයුතු නිසා මේ වන විට ජාතික ජනබලවෙගයේ ජනප්‍රියත්වය අහෝසි වෙමින් යනවා.

රජය සුබ සාධන ජනතාවට ලබා දෙමින් පවතිනවා. නමුත් විපක්ෂය චෝදනා කරන්නේ ඒවා මැතිවරණය වෙනුවෙන් සිදුකරන ජනප්‍රිය ක්‍රියාමාර්ග පමණක් බවයි?

ආණ්ඩුවක් ජනතාවට උදව් කිරීම නරකයි කියා අපි කියන්නේ නැහැ. නමුත් ඒ අරමුණ ක්‍රියාත්මක කරන්නේ සද්භාවයෙන්ද කියා බැලිය යුතුයි. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන් සියල්ල සිදුවන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි. උතුරේ ඉඩම් ඔප්පු බෙදා දීම උතුරේ මිනිසුන්ගේ තිබුණු ප්‍රශ්නයට විසඳුම් දීමක්. නමුත් එය සිදුවූයේ භාගයටයි. කුමක් හෝ ලියැවිල්ලක් ලබාදීම ඔප්පුවක් නෙමෙයි. ඒ නිසා හාල් ආදී විවිධ දේ බෙදීම මැතිවරණ ඉලක්කගත දේ මිස සද්භාවයෙන් කරන දේවල් නෙමෙයි. කෙසේ වෙතත් ජනතාවට යම් දෙයක් දෙනවාට අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. ජනතාව ජීවත් වන්නේ ආමාරුවෙන් නිසා උදව් කළ යුතුයි. පසුගිය කාල සීමාව තුළ ජනතාවගෙන් විශාල ලෙස බදු අය කරන්නට පටන් ගෙන තියෙනවා. බදු නිසා ජනතාවට ජීවන වියදම් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වුණා.

ඔබ එසේ පවසන්නේ රජයේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රියාවලිය තවමත් අසාර්ථක බවද?

ආණ්ඩුව අද කතා කරන්නේ පෝලිම් නැති කළා. පැය 24 විදුලිය ලබා දුන්නා කියලා. නමුත් ඒවා අපි හදපු දේ නෙමෙයි. වත්මන් පොහොට්ටුවේ පාලනයයි හැදුවේ. මේ ආණ්ඩුවත් පොහොට්ටුවේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදුවන නිසා ණය ගෙවන්නේ නැහැ. ඒ නිසා ආදායමෙන් යම් ප්‍රමාණයක් ඉතුරු වන නිසයි මේ තත්ත්වය පාලනය කරගෙන ඇත්තේ. හෙට ණය ගෙවන්න පටන් ගතහොත් ඒ පෝලිම් යළි ආරම්භ වේවි. මෙය තාවකාලික තත්ත්වයක්.

ඔබලාගේ මෙම චෝදනාවට විරුද්ධව ආණ්ඩුව පවසන්නේ රජය විසින් ණය ගෙවීම දැනටමත් ආරම්භ කර ඇති බවටයි?

ඒක බොරු කතාවක්. ආණ්ඩුව ශත පහක්වත් ණය ගෙවීම ආරම්භ කර නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ නිමා කරලවත් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළේ සියයට 30ක ණය කපා හැරීමක් සිදු කරන ලෙසට. නමුත් ණය හිමියන් කියන්නේ දිය හැක්කේ 7% ක් බවයි. නමුත් දැන් එයට එකඟ වෙන්න හදනවා. එකඟ නොවී තවදුරටත් මෙය සාකච්ඡා කරගතහොත් රටක් ලෙස තරමක් හෝ මේ බරින් සැහැල්ලුවට පත්විය හැකියි. දෙවැන්න ආණ්ඩුව මේ බර ඊපීඑෆ්, ඊටීඑෆ් මත පටවනවා. දේශීයව බර පටවලා විදේශීය ණය හිමියන් සමඟ අර එකඟතාව ඇති කරගන්න උත්සාහ කරමින් යනවා.

රජය පවසන්නේ 2023 වසරට වඩා 2024 වසර ආර්ථික ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් විදේශීය ආයෝජන ගලා ඒමක් පෙන්නුම් කරන බවත්?

මෙය බොරුවක්. රජයේ හා මහ බැංකු වාර්තා දෙස බලන්න. 2022 රාජ්‍ය ආයෝජන ඩොලර් බිලියන 800කට වඩා ලැබුණා. නමුත් 2023 අවසාන කාර්තුවේ ඩොලර් බිලිනය 172කට මේ ආයෝජන පහතට වැටුණා. එසේ නම් කොහොමද ආයෝජන වැඩි වුවා යැයි කියන්නේ. ආර්ථිකය හොඳ වූවා නම් මේ වැඩිවීම ඉදිරියටත් යා යුතුයි. නමුත් එසේ සිදුවී නැහැ. කොළේ වහගෙනයි මේ යන්නේ.

සමගි ජන බලවේගය බලයට පත් වුවහොත් ආර්ථිය ගොඩ නැංවීමේ සැලැස්ම කුමක්ද?

අපිට මූලික ඉලක්ක කිහිපයක් තියෙනවා. රට බංකොලොත් වෙලා. දේශිය මූල්‍ය අර්බුදයකයි අපි ඉන්නේ. මන්ද පෝෂණය වැඩිවෙලා. ජාතික නිෂ්පාදනය හා විදේශීය වෙළෙඳ පොළ නිෂ්පාදන වැඩි කිරීමටත් අපි වහා පියවර ගත යුතුයි. මේ සඳහා කාර්යක්ෂමතාව මෙන්ම ඵලදායිතාව වැදගත්. නමුත් නිසි වැඩපිළිවෙළක් හා නායකත්වයන් නොමැතිකම නිසයි තවදුරටත් මේ කඩා වැටීම තියෙන්නේ. ඒ නිසා සමගි ජන බලවේගය බලයට පත් වූ වහාම අර්ථිකය නැවත නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ වේගවත්ව සිදු කරනවා. එයට කෙටි හා මධ්‍යකාලීන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනවා. අනික විනිමය අර්බුදය සඳහා ගත යුතු පියවර කිහිපයක් තියෙනවා. විදේශ වෙළෙඳාම වැඩි කරගත යුතුයි. විදේශයන්ට අවශ්‍ය දේ නිෂ්පාදනය කළ යුතුයි. තුන්වැන්න නාස්තිය අවම කළ යුතුයි. අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුයි. කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි. ඒ සඳහා අපිට හොඳ නායකත්වයක්, ප්‍රතිපත්තියක් මෙන්ම කණ්ඩායමක් ද සිටිනවා. මේ තුනම තියෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන්නේ සන්ධානගතව ද?

බොහෝ විට අපි යන්නේ සන්ධානයක් වශයෙනුයි. සමගි සන්ධානය හරහා අපිත් සමඟ වැඩ කරන පක්ෂ මෙන්ම අලුත් පක්ෂ සමඟ සන්ධානගතව මැතිවරණ ව්‍යාපාරයකට යනවා. දැනට සාකච්ඡා මට්ටමේ තියෙනවා. සියලු මුස්ලිම් සංවිධාන, වතුකරයේ මෙන්ම උතුරේ සංවිධාන සමඟ එක්වෙමින් යනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division