Home » මම කැමතියි සුපිරි දුෂ්ටයෙක් වෙන්න

මම කැමතියි සුපිරි දුෂ්ටයෙක් වෙන්න

නිමේෂ් වීරංග

by thanushika
June 1, 2024 12:30 am 0 comment

නිමේෂ් වීරංග කියන්නේ මේ දිනවල තිරගත වන විසල් ආදරේ හි ශවින්. නිමේෂ්ට මේ දිනවල ආදරේ නම් අඩුවක් නැතුව ලැබෙනවා. කලාවේ දිගු ගමනක් යන්නට සිහින දකින නිමේෂ්ව රසදුන සොඳුරු කතාබහකට එක්කර ගත්තා.

විසල් ආදරේට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ආදරණීයයි. මගේ පළමු චිත්‍රපට රංගනය ආදරණීය ප්‍රාර්ථනා. විසල් ආදරේ කියන්නෙ දෙවැනි චිත්‍රපට රංගනය. මගේ වටා හැමදාමත් අව්‍යාජ රසික පිරිසක් හිටියා. හැම සිනමා ශාලාවක්ම හවුස් ෆුල් කියලා ඇහෙනකොට, මට ඇහෙන්නෙ ආදරෙයි කියන පණිවුඩය. ඉතින් දවසින් දවස ඒ ආදරණීය හිත් මගේ ගමනට අලුතින් එකතු වෙනවා. ඒ ආදරේට මමත් ගොඩක් ආදරේ කරනවා..

නිමේෂ් කොහොමද රංගනයට සම්බන්ධ වෙන්නේ?

මම රංගනයට එන්නේ එන්න තියෙන දුරම පාරෙන්. 2013 රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය හැදෑරුවා. ඉන් පස්සෙ 2014දි මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ රංගනය හැදෑරුවා. මම කලාවට එනකොට මේ ක්ෂේත්‍රෙය් කිසිම කෙනෙක්ව දැනන් හිටියේ නෑ. මට සිද්ද වුණා පුංචිම හරි චරිතයක් දිනා ගන්න ඔඩිශන් සිය ගාණකට මුහුණ දෙන්න. ඒ කාලෙ ඔෆිස් යන ගමන් තමයි මම හොරෙන් ඔඩිශන් යන්නෙ. වෙලාවකට හිතුණා. ඔඩිශන් යන එකද මගේ ජොබ් එක කියලා. ඒත් මම උත්සාහය අතෑරියෙ නැහැ. නිරූපණ ශිල්පියෙක් විදිහට ඇවිත්, ඉන් පස්සෙ මියුසික් වීඩියෝ වලින් රංගන ශිල්පියෙක් විදිහට, ඒ හරහා වෙ‍ෙළඳ දැන්වීම්වලටත්, එතනින් ටෙලි නාට්‍යයටත්, ඉන් පසු සිනමාවටත් බොහොම පිළිවෙළින් ආව ගමනක් මට තියෙන්නේ‍.

නිමේෂ් ගැන විස්තර ටිකක් කිව්වොත්?

මගේ උපන් ගම දෙහිවල. පාසල දෙහිවල මධ්‍ය මහා විද්‍යලය. පවුලෙ ඉන්නෙ, අම්මා තාත්තා වැඩිමහල් සහෝදරිය හා මගෙ බිරිඳයි පමණයි.

නළුවෙක් වෙන්න ඕනේ කියලා හිතුනේ කොයි කාලේදී ද?

පොඩි කාලෙ ඉඳන්ම මම චිත්‍රපටවලට බොහොම කැමතියි. නමුත් පාසල් කාලයේ මම රංගනය විෂයක් විදියට හැදෑරුවෙ නැහැ. ගණිත අංශයෙන් උසස් පෙළ කරලා, මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යවත් හදාරලා, රැකියාවටත් ගියාට පස්සෙ තමයි මම නළුවෙක් වෙන්න ඉගෙන ගත්තේ.

මුල්ම නිර්මාණය මොකක් ද?

“කූඹියෝ“ ටෙලි නට්‍යය තමා මගේ පළමු රංගනය. ඒකත් ඔඩිශන් ගිහින් දිනා ගත්ත චරිතයක්. අවාසනාවකට ඒ චරිතයට මාව තෝරගත්තා කියලා මට දන්වනකොට, මම හදිසි අනතුරකට ලක් වෙලා හිටියේ, නමුත් මම ඒ බවක් එයාලට නොකියා, වේදනාවත් තියෙද්දිම ඒ චරිතෙ භාරගෙන කළා. එදා ඒ චාන්ස් එක නොගත්තා නම්, සමහර විට අද මම මෙතැන නැතුව ඇති.

මේ වෙද්දී රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවද?

කූඹියෝ, රාවණා, වසන්තය තව දුර ඇති, BRO ආදරණීය ප්‍රාර්ථනා, බයෝ, විසල් ආදරේ නාට්‍යවල රඟපාලා තියෙනවා.

 මේ වෙද්දී ඔබ කරන්නේ රංගනය පමණද?

2016දි රැකියාවෙන් සම්පුර්‍රණයෙන්ම ඉවත් වෙලා මම වෘත්තීය නළුවෙක් වෙනවා. මුලින්ම නම් ගෙදරින් අවසර ලැබෙන්නෙ නැහැ. රඟපාන අතරේ මගේම කියලා පොඩි ව්‍යාපාරයක් ලෙස වෙ‍ෙළඳ දැන්වීම් සමාගමක් පටන් ගත්තා. දැනට ලංකාවෙන් පිටත රටවල් කිහිපයකට සේවාවන් සපයනවා.

එන්න තියෙන නිර්මාණ මොනවද?

කුරුල්ලෝ ටෙලි නට්‍යය හෙට අනිද්දාට රිලීස් වෙන්න තියනවා. මෙතෙක් කල් කරපු චරිතවලට හාත්පසින් වෙනස්, ගම්බද චරිතයකින් තමයි මම කුරුල්ලෝ තුළින් හමු වෙන්නෙ. අව්‍යාජ මිනිසුන් ගැන කියවෙන සුන්දර කතාවක් ඒක. මට හිතෙනවා ඒ කතාවට ප්‍රේක්ෂකයා අසීමිතව ආදරේ කරන්න ගනීවි කියලා. චිත්‍රපට දෙකකට අත්සන් කිරීමට නියමිතයි.

ඉදිරියටත් පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නවද?

මුල අමතක කරන්නෙ කොහොමද? මගේ ෆස්ට් ලව් එක පුංචි තිරය. ඉදිරියේදි එකිනෙකට වෙනස් වූ චරිත තුළින් මාව පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙයි.

මේ දිනවල විසල් ආදරයක් ලබන නිමේෂ් කොහොමද ආදරේ දකින්නේ?

මම ආදරය දකින්නෙ ලෝකෙ තියන ලස්සනම දේ විදිහට. ලෝකෙ දුවන්නෙම ආදරේ මත. කෙනෙක් උදේ නැඟිටින වෙලාවෙ ඉඳලා නින්දට යනකන්ම විඳින්නෙ, දුක සතුට දරා ගන්නෙ, මහන්සි වෙන්නෙ, ආදරේ නිසා. පළමුව තමන්ට ආදරේ කරන්න ඕනෙ. තමන්ගෙ ආදරණීයන්ට සොබා දහමට අපි ආදරේ දෙනවා නම් ඒ හා සමාන ආදරයක් විශ්වයෙන් අපට ලැබෙනවා. හැබැයි තමන්ගෙ ආදරේ අව්‍යාජ එකක් වෙන්න ඕන.

ජීවතේ අරමුණු බලාපොරොත්තු මොනවද?

ගොඩක් තියනවා. ඒ හැම දේම එකින් එක මම ලබා ගන්නවා. කලාව ඇතුළේ පෞද්ගලික ජීවිතය ඇතුළේ, ව්‍යාපාර ඇතුළෙ කිසිම කලබලයක් නැතුව මම අරමුණුවලට යනවා. කැපිලි කෙටිලි හැමදාටම තියේවි. මේ තරම් දුරක් හරි ඇවිත් ඉන්නෙ සුමට මාවතක් දිගේ නෙවෙයි. ඒත් මගේ අරමුණු ඉදිරියේදි, බාධක කියන්නෙ හරීම ළපටි දේවල්. මම කැමතියි, “නිමේෂ් වීරංග කියන්නෙ නළුවෙක්ය. මම එයාව දන්නවා” කියනවාට වඩා, “නිමේෂ් වීරංග කියන්නෙ අපෙ කෙනෙක්. අද එයා නඵවෙක්.” කියනවා නම් මම මාරම ආදරෙයි.

මම කැමතියි සිනමාව ඇතුළෙ සුපිරි දුෂ්ටයෙක් වෙන්න. එහෙම කරලත් මට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙනවා නම් මම ඒක සාර්ථකත්වයේ එක්තරා සන්ධිස්ථානයක් විදිහට මගේ දින පොතේ ලියලා තියා ගන්නවා. අරුමුණු කියන්නම ඕන නැහැ, එතනට ගිහින් පෙන්වන්නයි තියෙන්නෙ. ඒක හරිම තෘප්තිමත් හැඟීමක්.

ජායාරූප – මලින් නවෝද්

 

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division