
සරත් දික්කුඹුර
පතිරාජ එල්. එස්. දයානන්දගේ කිරුලේගෙදර මොහොට්ටාල සිනමා පටය හරහා කලාවට පිවිසි ඔහු විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය කලාවට පෙම් බඳිමින් ඔතෙලෝ, මැක්බර්ත්, හැම්ලට් වැනි ජනප්‍රිය වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත ඔස්සේ වේදිකාවට ද පිවිසියේය. ප්‍රහසනයටම කොටුවී ඇති වත්මන් ලාංකේය වේදිකාවට නැවතත් ප්‍රේක්ෂක සංවේදීතාව ගෙන ඒමේ ප්‍රයත්නයක යෙදෙන ඔහු නමින් සරත් දික්කුඹුරය. වසර 52ක අතීතයක් හිමි කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ‘කතරගම ප්‍රේමා’ නමින් ඔහු නැවතත් වේදිකාව මතට ගෙන එන්නේ නව රංග රීතියක් හඳුන්වා දෙමින් ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණෙනි. ප්‍රහසනයටම නතු වී සිටින ප්‍රේක්ෂකයා තුළ සංවේදීතාව ඇති කිරීමේ අභියෝගාත්මක ප්‍රයත්නය මේ වනවිටත් මල්ඵල ගැන්වී ඇති බව ඔහු අප හා පැවසීය.
“කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු සංවේගාත්මක කතා පුවතක්. ඒ සිද්ධිය ඇසුරු කරගෙන නොයෙක් නිර්මාණ බිහිවෙලා තියෙනවා. පහුගිය කාලෙ රටේ ඇති වුණ දේශපාලන, ආර්ථික, සමාජයීය පිරිහීමත් එක්ක ගොඩනැඟුණු අරගලය නිසා ඇති වුණු ප්‍රශ්න ගැන නිර්මාණකරුවෙක් විදිහට තරුණ පරපුරට කතා කරන්න ඕන කියල හිතද්දි මට තේරුණ කරුණක් තමයි වත්මන් වේදිකාව, ප්‍රේක්ෂකයා අනිසි ලෙස ප්‍රහසනයටම කොටු කරල තියෙනව කියන එක. එදා තිබුණු සංවේදී බව ප්‍රේක්ෂකයා වෙතින් ගිලිහෙමින් තිබෙන බව. එතැනදි තමයි මට හිතුණෙ නැවතත් ඒ සංවේදී බව ප්‍රේක්ෂකයා වෙත ගේන්න ඕන කියලා. ඒකට වස්තු බීජයක් හොයද්දි එකවරම මගේ ඔළුවට ආවේ කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සිද්ධිය. ඒ සිදුවීමට දැන් වසර 52ක්. එය තේමා කරගෙන තමයි ‘කතරගම ප්‍රේමා’ නිර්මාණය වෙන්නේ. පසුගිය මාර්තු 16 වැනිදා එහි පළමු දර්ශනය වේදිකාගත වීමත් එක්ක නොසිතූ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ එක්කම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන වාර තුනක් පැවැත්වුණා. මේ වෙද්දි දර්ශන වාර 5ක් වේදිකාගත වුණා. නොසිතූ විදිහට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. සමාජ මාධ්‍යවල ගෞරවනීය විදිහට නිර්මාණය අගයලා තිබුණා. අනෙක් විශේෂ කාරණය තමයි ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රචාරය සහිතව විශේෂ දර්ශන වාර 2කට අනුග්‍රාහකත්වය ලබාදීම. රටේ පිළිගත් රූපවාහිනී නාළිකාවකින් මේ වගේ පිළිගැනීම මට ලොකු ශක්තියක්. පසුගියදා එනම් ජුනි 1 වැනිදා සවස 3.30ට සහ 6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී එහි විශේෂ දර්ශන වාර දෙකක් පැවැත්වුණා ඔවුන්ගේ සුබ සාධනයට ආධාර පිණිස.”
කතරගම ප්‍රේමා වේදිකාගත වීමට දායක වුණු ශිල්පීන් ආදරයෙන් සිහිපත් කරන්නත් ඔහු අමතක කළේ නැහැ.
“කාලයක් වේදිකාවේ දස්කම් පෑ දක්ෂ රංගන ශිල්පීන් දැන් දැන් රංගනයෙන් ඈත් වීගෙන යනව කියල මට දැනුණා. මට ඕන වුණා ඒ ශිල්පීන් නැවතත් වේදිකාව මතට ගන්න. ශාලිකා එදිරිසිංහ කියන්නෙ වේදිකාවේ වගේම පුංචි තිරයේත් දස්කම් පාන රංගන ශිල්පිනියක්. කතරගම රූමතිය ලෙසින් ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ඇය. හමුදා ප්‍රධානියාගේ චරිතයෙන් ක්ලීටස් මෙන්ඩිස් නැවතත් වේදිකාවට එන්නේ අවුරුදු 25කට පස්සේ. රූමතියගේ මව කුමාරි මුණසිංහ. ප්‍රේමවතී ආදරේ කළ මස්සිනා අජිත් ලොකුගේ. අන්තිමට රූමතිය කරාබු ජෝඩුව ගලවල දෙන කෙනා ජීවන් හඳුන්නෙත්ති. රූමතිය ආදරය කළ ගාමිණී බාස් විදිහට ප්‍රධාන භූමිකාවකින් පළමුවරට වේදිකාවට එන්නේ යෂ් වීරසිංහ. ඒ වගේම ඉෂාන් මෙන්ඩිස්, මලීෂා බණ්ඩාර, විජේසිරි මැණික්පුර, සුනිල් ප්‍රේමරත්න, සුමින්ද නෙත්මිණ, රොහාන් විජේසේකර, සමන්ති මානගේ ඇතුළු ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය වගේම කතරගම රූමතියගේ ප්‍රධාන ඝාතකයා වන විජේසූරිය මෙහි රණබාහු ලෙසින් වේදිකාවට එන්නේ මම. නිෂ්පාදනය ප්‍රේමදාස ජයකොඩි. තිර රචනයෙන් මාත් එක්ක නිල්මිණී පෙරේරා සම්බන්ධ වෙනවා. ඇය අතින් ලියැවුණු පිටපතක් අලුත් ආකල්පමය වෙනසකට ලක් කරලා නැවත රචනා කළා. සංගීතය විජේසුන්දර වේරගොඩ. අංග රචනය සහ පසුතල නිර්මාණය සිරිනාථ වික්‍රමසිංහ. ආලෝකකරණය ලයිට් ගාමිණීගෙන්. මෙහි ඇතුළත් වන ගීත ත්‍රිත්වය රචනා කළේ චන්ද්‍රරත්න මාපිටිගම, සුසන්ත දන්දෙණිය සහ මංගලී දිසානායක. සංවිධානය ආර්. ආර්. බී. එම්. විජේබංඩාර සහ දීප්ති. සම්බන්ධීකරණය පූජා රන්ගම සහ ඕ. ගාමිණී ද සිල්වා. මේ සියලු දෙනාගේ සම්පූර්ණ දායකත්වයෙන් තමයි ‘කතරගම ප්‍රේමා’ සාර්ථකව වේදිකාව මතට ආවේ.”
තිස්සමහාරාමයේ ඉපිද කොළඹට පැමිණි සරත් දික්කුඹුර වසර 39ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඒ අතරතුර කලාවට සම්බන්ධ වූ ඔහු රුසියන් ලේඛක නිකොලායි ගොගොල්ගේ ‘The Marriage’ නමැති වේදිකා නිර්මාණය ‘සිකුරා’ නමින් සිංහලට පරිවර්තනය කර ජයලාල් රෝහණ හා එක්ව වේදිකාගත කළේය. ටෙලි නිර්මාණ තුනක් අධ්‍යක්ෂණය කර ඇති ඔහු ‘මරු කතර’ නමින් අධ්‍යක්ෂණය කළ සිනමාපටය ඉදිරියේ දී තිරගත වීමට නියමිතය. ඊට අමතරව සරුංගල් මාමා නමින් ළමා චිත්‍රපටයක් ද සැකසෙමින් තිබේ. කලාව හරහා නිවැරැදි සිස්ටම් චේන්ජ් එකක් ගොඩනැඟීමට වෙර දරන ඔහු කතරගම ප්‍රේමා හරහා සංවාදශීලී නාට්‍ය රීතියක් මෙරටට හඳුන්වා දුන්නේය.