Home » විවාහයට කොහොමත් ලොකු ආසාවක් නැහැ

විවාහයට කොහොමත් ලොකු ආසාවක් නැහැ

සෙව්වන්දි නදීශානි

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

– ආදරේ ගැන හිතන්න කලින් අනාගතය හදාගන්න ඕන
– රංගනය හදාරලා ආවොත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්

ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් එයට අලුත් පරම්පරාවක් ආ යුතුමයි. හැබැයි ඒ දක්ෂතා සපිරි නව පරපුරක්. මේ වෙද්දී විකාශය වන නාට්‍යය බොහොමයක එකිනෙකට වෙනස් වූ චරිත කරන සෙව්වන්දි නදීශානි කියන්නෙත් රංගනය තුළ නියැ‍ෙළමින් රංගනය හදාරමින් ඉදිරියට යන්න උත්සහ කරන යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක්.

සෙව්වන්දි, කොහොමද ජීවිතේ?

ජීවිතේ සුන්දරයි. කියන්න තරම් වරදක් නැහැ. මම මට මොන ප්‍රශ්නේ ආවත් හරිම සතුටින් ජීවත් වෙන කෙනෙක්.

සෙව්වන්දි, ගැන තොරතුරු ටිකක් කිව්වොත්?

මගේ උපන් ගම කුරුණෑගල දොරටියාව. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව මගේ අම්මගේ ගම වාරියපොළ බණ්ඩාරකොස්වත්තේ තමයි මම ජීවත් වුණේ. වර්තමානයේ රංගන කටයුතුවල පහසුව සඳහා පවුලේ අයත් එක්ක කොළඹ තමයි දැන් ජීවත් වෙන්නේ. අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් මම පාසල් තුනක ඉගෙනුම ලැබුවා. කු/දොරටියාව විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනත්, කුලී/විල්බාගෙදර විදුහලේ ද්විතීයික අධ්‍යාපනයත්, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ වාණිජ අංශයෙන් උසස් පෙළත් හැදෑරුවා. මම හරිම ආදරයෙන් මගේ පාසල් තුන මේ වෙලාවේ මතක් කරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි අයියයි.

රඟපාන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?

මම උසස් පෙළ හදාරන කාල වකවානුවේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක ගෙදරටම වෙලා ඉද්දි තමා මට රඟපාන්න ආසාවක් ආවේ.

රංගනයට ආ මූලාරම්භය මතක් කරොත්?

මම රංගනය හදාරමින් තමා රංගන ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නේ. මගේ පළවෙනි ටෙලි නාට්‍යය සිරස නාළිකාවේ විකාශය වූ “චන්දෝලි”. ඉන්පසු ස්වර්ණවාහිනියෙ විකාශය වූ “සිදාදියේ සමනලියෝ”, දෙරණ නාළිකාවේ විකාශය වන “සිත නිදි නෑ”, මොණරා ටීවී නාළිකාවේ විකාශය වන “කවීතා”. ඒ වගේම මේ වෙලාවේ ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා මගේ රංගන ගුරුවරු සුදර්ශන බණ්ඩාර මහතා සහ දුරුතු සිනමා පාසලේ රවින්ද්‍ර විජේරත්න මහත්මයාත් තරංග දිසානායක මහත්මයාවත්.

මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?

මේ දිනවල හිරු ටීවී විකාශය වන හිච්චි ටෙලි නාට්‍යයේ සහ ඉදිරියේදි විකාශයවීමට නියමිත නව ටෙලි නාට්‍යය තුනක වැඩ කටයුතු කරගෙන යනවා.

සෙව්වන්දි මෙතෙක් කරපු චරිත අතරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ නිර්මාණය මොකක් ද?

මේ දිනවල හිරු ටීවී නාළිකාවේ විකාශය වන “හිච්චි”. ටෙලි නාට්‍යයේ ‘සකුන්තලා’ චරිතයට තමා වැඩිම ප්‍රතිචාර. ඊට අමතරව ස්වර්ණවාහිනී නාළිකාවේ “සිදාදියේ සමනලියෝ” ‘සෙව්වන්දි’ චරිතයටත්, සිරස නාළිකාවේ “සිත නිදි නෑ” ‘හශි’ චරිතයටත් ආදරණීය ප්‍රතිචාර ලැබුණා.

රංගනයට සීමා නැද්ද?

තවම මම මේ ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිනියක් නිසා සීමා තියනවා. මම මට ආරාධනා ලැබෙන හැම වැඩක්ම භාර ගන්නේ නැහැ. නමුත් මම හිතන විදියට ‍රංගන අත්දැකීම් එක්ක ඉදිරියට යද්දි මම ඕනම චරිතයක් භාර ගන්න උත්සාහ කරනවා.

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත මොනවද?

මන් හරිම ආසයි පාසල් චරිත, අහිංසක චරිත සහ ගැමි චරිත කරන්න. තිරයට ලස්සනට පේන චරිතවලට වඩා ගුණාත්මක වෙනස් චරිත කරන්න තමා මම වැඩිපුරම කැමති.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

දැනට වැඩ කටයුතු කරගෙන යනවා නව නිර්මාණ තුනක. ඒ වගේම නව චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා.

සමහර අය කියනව මේ ක්ෂේත්‍රයෙ ගැහැනු කෙනෙක්ට පවතින්න අමාරුයි කියලා, ඔබ ඒ දේ දකින්නෙ කොහොමද?

තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කාටවත්. කිසිම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ බලහත්කාරකම් වෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ හරි විදියට වැඩ කරගෙන යන්න. කෙටි මාර්ගවලින් රංගනයට පිවිසෙන අයට වැඩි කාලයක් රැඳිලා ඉන්න බැහැ. රංගනය හදාරලා ආවොත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ.

ආදරවන්තියක් ද?

තවම නැහැ. ආදරේ ගැන හිතන්න කලින් මම මගේ අනාගතය හදාගන්න ඕන.

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

මට වගේම ගෙදර අයටත් ගොඩක් ආදරේ වෙන්න ඕන. මම හොයන සහකුරු සත්තුන්ට ගොඩක් ආදරේ වෙන්න ඕන. උගත් අවංක කෙනෙක් වෙන්න ඕන. ජීවත් වෙන්න පුළුවන් තරමේ වත්කමකුත් අනිවාර්යයෙන් තියෙන්න ඕන.

විවාහ වෙන කෙනා රංගනයෙන් ඈත් වෙන්න කිව්වොත්, ඔබ මොකද කරන්නෙ?

රංගනය දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. එහෙම වුණොත් මම තෝරගන්නේ රංගනය. විවාහයට කොහොමත් මගේ ලොකු ආසාවක් නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස සම්මානයක් ලබන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා. මම හිතනවා දවසක ඒ හීනේ අනිවාර්යයෙන් හැබෑ වෙනවා කියලා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division