– මිනිසුන්ට පවා යාහැකි අඩියක පමණ ගණකමින් යුත් ජපන් ජබර හා පාසි තට්ටුවකින් ඇළ වැසී ගිහින්
– අලි සැඩපහරක් සහිත වතුරට පැටවුන් ගෙනියන්නේ නැත. කවුරු හෝ පැන්නුවාදැයි සැකයක්
– 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝබර් දක්වා සිදු වූ අලි ඝාතන 384 කින් සියයට අසූ නවයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. හේතුව සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඬලීමට අවශ්‍ය යන්ත්‍රණයක් නොතිබීමයි.
ලංකාවට ජාතික සම්පතක් බඳු වූ අලි සම්පත ගැන අප දිනෙන් දින පුරාජේරු කතා කළත්, අපට නොදැනී වසරක් පාසා විනාශ වන අලි සම්පත ගැන ඇත්තේ අඩු කතිකාවතක් හා අඩු අවධානයක්ය. පසුගිය වසර කිහිපය පුරාවට සිදුව ඇති අලි මරණ ගැන කතා කරද්දී මේ ජාතික සම්පත නොදැනි අප අතරින් තුරන් වේදැයි ඇත්තේ දෙගිඩියාවකි. පසුගිය වසර කිහිපය අලි මරණ වැඩි වශයෙන් සිදුව ඇති වකවානුවක් විය. විවිධ හේතු නිසා 2020 වසරේදි අලි මරණ 328 ක්ද, 2021 වසරේදි අලි මරණ 375 ක්ද, 2022 අලි මරණ 439 ක්ද, 2023 අලි මරණ 488 ක්ද සිදුවූ බව වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේය. වන ජීවි දෙපාර්තමේන්තුව පවසන පරිදි 2024 මේ දක්වා අලි මරණ 147 කට වඩා සිදුවි ඇති බව වාර්තා වෙයි. ඒ පසුගියදා ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයෙන් ඇසුණු එවැනිම ඛේදවාචකයේ ප්‍රතිඵලයත් සමඟිනි. පසුගියදා හඳපාන් විල්ලුවේ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරු වීමට යාමේදී ජපන් ජබර සහ පාසිවලින් වැසිගිය ජලාශයේ සැඩපහරට ගසාගෙන ගොස් අලි පැටවුන් සහ වන අලින් හත් දෙනකු හුස්ම සිර වී මිය යාම අලි මරණවල ආසන්න සිදුවීමයි. මීට වසර කිහිපයකට පෙර එනම් 2018 වසරේදී ද මේ ආකාරයෙන්ම වෙහෙරගල දිව්ලාන විල්ලුවේ ද අලි මරණ 9ක් සිදු වූයේ මේ ජපන් ජබර හා පාසි නිසාවෙනි.
පොලොන්නරුව දිඹුලාගල ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතරෙන් එකකි. මෙම වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වැනි දින පිහිට වූ අතර, මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර සුලබ බිම් ප්‍රදේශයක් සේ සැලකෙයි. එසේම මෙම වනෝද්‍යානය හරහා අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවති ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හඳුනා ගෙන ඇත. මේ නිසා අලි නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ සැරි සරන්නේය.
සාමාන්‍යයෙන් ඕඩේ ඇළ හරහා අලි ඇතුන් සුපුරුදු පරිදි ගමන් කළද, පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික සැඩ ජල පහර මෙන්ම ඇළ පුරා වැසී ගිය අඩියක පමණ උසින් යුතු ගණ තට්ටුවකින් සැදි ජපන් ජබර මෙන්ම පාසි හා කංකුන් වැනි ජලජ ශාක හේතුවෙන් ජලාශය වැසී ගොස් තිබුණි. මේ තත්ත්වය මත මෙම ඇළට බැස්ස අලින්ට හා පැටවුන්ට ඉන් බේරීමට නොහැකි පරිදි මෙම අවාසනාවන්ත තත්ත්වයක් උදාවූ අතර ඔවුන් සැඩ පහර හරහා බේරීමට නොහැකි පරිදි ගසාගෙන ගොස් තිබිණි. කෙසේ වෙතත් මේ අලි රංචුවේ අලි මෙම හදපාන් විල්ලුව ඕඩේ ඇළට බැස්සේ ඇයිද යන්න නිශ්චිතව පැවැසිය නොහැකි අතර, ඒ සඳහා විවිධ හේතු තවමත් ඉදිරිපත් වෙයි. තමන්ගේ රැළේ සිටි අලි පැටියකු දියේ ගසාගෙන යන්නට ඇති බවත්, ඒ හේතුවෙන් එම අලි පැටියා බේරා ගැනීමට ඇළට බැස්ස අනිකුත් රංචුවේ අලි 6 දෙනකුද දියේ ගසාගෙන යන්නට ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුව සැක පල කරයි. තවත් සැකයක් මතු වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි අනාරක්ෂිත අවස්ථාවක අලි වතුරට නොබසින බවත් යම් පුද්ගලයකුගේ පැන්නවීමක් නිසා අලි මෙසේ වතුරට පැන ඇති බවත්ය. නමුත් අලි මේ ආකාරයෙන් සැඩ පහරට ගසාගෙන යන ආකාරය කිසිදු අයකු දැක නැති අතර ඊට දින කිහිපයකට පසු ප්‍රදේශයේ ගවයින් රැගෙන ඒමට ගිය පුද්ගලයකු අලි පැටියකුගේ කුණක් දැක පසුව කළ සොයා බැලීම්වලදී අවුරුදු 15 – 25 අතර අලින් දෙදෙනකු සහ අවුරුදු 4ක් පමණ වයසැති අලි පැටව් 4 දෙනකු මෙන්ම අවුරුදු 1ක් පමණ වයසැති එක් අලි පැටවකුගේ කුණක් හමුවී තිබිණි.
“මේ සිදුවීම සිදුව ඇත්තේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පිහිටි ඕඩේ ඇළේ. ගංවතුර සමඟ ඇළ අවට පිහිටි ගස්වල අතු ඇළට නැමිලා තියෙනවා. ජපන් ජබර, කංකුන් මෙන්ම පාසි මීටර් 500 තරමේ දිගට ඇළේ හිරවෙලා. වතුර වැඩිවීමත් සමඟ අලි පැටවුන් ඇළේ ගහගෙන යාමත් සමඟ ලොකු අලිත් කෑගසාගෙන වතුරට පනින්න ඇති කියලා අපි සැක කරනවා. මේ සතුන් සැඩ පහරට ඇදගෙන ගිහින් තියෙන්නේ ජපන් ජබර තට්ටුවට යටිනුයි. ඒ ගසාගෙන යද්දි අලින්ට උඩට එන්න බැරිවෙලා, මේ ජපන් ජබර තට්ටුව නිසා. පසුව ඒ තුළම හුස්ම හිරවෙලා මැරිලා. සාමාන්‍යයෙන් විශාල අලි මේ ආකාරයෙන් ගසාගෙන යන්නේ නැහැ. නමුත් පැටවුන් ගසාගෙන යාම නිසයි මේ තත්ත්වය ඇති වී ඇත්තේ. අලින්ගේ චර්යා රටාව හඳුනන නිසා අපි දන්නවා අලි සිය පැටවුන් සමඟ මෙවැනි සැඩ පහරක් සහිත වතුරට බහින්නේ නැහැ කියලා. උන් සැඩ පහරක් සහිත වතුරින් පැටවුන් ආරක්ෂා කරනවා. දඩයම් කරන හා මත්පැන් පෙරන පිරිස් මේ ප්‍රදේශයේ සිටින නිසා ඔවුන් විසින් අලි රංචුව එළවා දැමීම හේතුවෙන් වතුරට පැන්නාද කියා.
නමුත් තවමත් සිදුවීම දුටු කෙනෙක් නැහැ. මේ ඇළ අඩි 20 ක පමණ ගැඹුරුයි. මීට කලින් වෙහෙරගොඩ ප්‍රදේශයේ මේ ආකාරයෙන්ම අලි 9 දෙනෙක් මැරුණේ ජපන් ජබර තට්ටුව උඩින් ගමන් කරන්න ගිහිනුයි. මේ පාර අවුරුදු 10 ට අඩු පැටවුන් පහක් අතර කුඩා පැටවුන් දෙදෙනකුත් සිටිනවා. පසුව මේ අලි කුණු ජපන් ජබරත් ඔසවාගෙන උඩට මතුවෙලා තිබුණා. ජපන් ජබර කාලයක් තිස්සේ මේ ඇළේ සිරවී තිබූ දෙයක් නෙමෙයි. නමුත් ඇළ දෙපස ගස්වල අතු ඇළට නැමී තියෙනවා. මේවා නිසා පහසුවෙන් ගසාගෙන එන ජපන් ජබර තැන්පත් වෙනවා. මේ අතු වහා කපා ඉවත් කළ යුතුයි. ජපන් ජබර නොතිබුණා නම් මේ අලින්ට පහසුවෙන් බේරෙන්න තිබුණා. පහසුවෙන් අලින්ට පිහිනිය හැකියි. නමුත් මීටර් 500 දිගට අඩියක උසින් යුතු ජපන් ජබර තට්ටුවක් තිබීම නිසා සැඩ පහරේ ගසාගෙන යන අලින්ට උඩට මතුවෙන්න බැහැ. උන් මඩේ එරී නැහැ. මේ ගණකම ජපන් ජබර තට්ටුව උඩින් මිනිහෙකුට වුණත් ගමන් කරන්න පුළුවන් තරමට ශක්තිමත්. සාමාන්‍යයෙන් විලක පාවෙන තුනි තට්ටුවක් නෙමෙයි. මෙතන තියෙන කංකුං වැනි දේ නිසා තට්ටුව ගණව ආරක්ෂා වී පවතිනවා. මේ වනෝද්‍යානයේ අලි රංචු විශාල සංඛ්‍යාවක් සිටිනවා. ගිය වසරේ එක් ගම්මානයක හරක් 15 ක් මේ ආකාරයෙන් මියගියා. නමුත් අලි බුද්ධිමත් නිසා මේ ආකාරයෙන් වතුරට පනින්නේ නැති නිසාත් මෙතැන අනිවාර්යයෙන්ම මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදුවී ඇති බව පැහැදිලියි. “ ඒ, ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරැකීමේ සභාපති ටී. තීපන් ය.
මෙම අලි මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 15 ට අඩු අලි පැටවුන්ය. ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැමිණ මේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී කළුආරච්චි ඇතුළු ප්‍රධාන පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ද ඊට සහභාගි වී ඇති අතර, පොලොන්නරුව ජාතික වනෝද්‍යානයේ හඳපාන්ගොඩ විල්ලුව ඕඩේ ඇළේ මිය ගොස් සිටියදී සොයා ගත් අලි පැටවු පස්දෙනාගේ සහ අලි දෙදෙනාගේ මරණ සිදුවී ඇත්තේ ජලයේ ගිලීම නිසා බවට එම පශ්චාත් මරණ පරීක්ෂණය තහවුරු කළේය.
ජපන් ජබර වනයේ දැවැන්තයින් වූ අලින්ට මෙන්ම වනජීවීන්ගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බව පරිසරවේදිහු පවසති. මීට පෙරද මේ ආකාරයෙන්ම හරක් රංචු පිටින් ගසාගෙන ගොස් මරණයට පත්වූ බවට එහි නිලධාරින්ම සනාථ කරන්නේය. මෙම ජපන් ජබර ගසාගෙන ගොස් ජලයේ තැන්පත් වන්නේ ගණ අඩියක පමණ වූ තට්ටු වශයෙනි. එය සාමාන්‍යයෙන් ජලාශයක තැන්පත් වන තුනි තට්ටුවක් නොවේ. ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරැකීමේ සභාපති ටී. තීපන් පවසන්නේ මෙම ඕඩේ ඇළේද ජපන් ජබර තැන්පත් වී ඇත්තේ කංකුන් වැනි වෙනත් ජලජ ශාක සමඟ එකට මුසු වීමෙන් බවය. ඊට ඕඩේ ඇළට නැමි ගිය අතු ප්‍රබල රුකුලක් සපයා තිබිණි. ඔහු පවසන පරිදි මෙම අඩියක පමණ ගණ තට්ටුව හරහා කෙනකුට ගමන් කිරීමට තරම් වන ආකාරයට ජලාශය මතුපිට ගණ තට්ටුවක් නිර්මාණය කර තිබීම මේ ව්‍යසනයට ප්‍රධානම හේතුවක් වන්නට ඇති බවය. මේ වන විට වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ ගණ තට්ටුව ඉවත් කරන්නට කටයුතු යොදා ඇත.
“මෙය බැලූ බැල්මට ස්වභාවික හේතුවක් මත, මඩ ගොහොරුවක එරීම නිසා සිදුවූ මරණයක් බව පෙනෙන්නට තිබුණත් අලි රංචුවක් මේ ආකාරයෙන් අනාරක්ෂිත ආකාරයට කටයුතු කිරීමට ඇති ඉඩ විරල බව කිව යුතුයි. ගැහැනු සතුන් සහ පැටවුන්ගෙන් සමන්විත අලි රංචුවකට නායකත්වය දෙන ඇතින්න අත්දැකීම් බහුල වැඩිහිටි සතෙක්. එසේම අලි රංචුවක තවත් එවැනි අත්දැකීම් බහුල වැඩිහිටි ගැහැනු සතුන් සිටිනවා. ඔවුන් තමන්ගේ රැළේ සිටින පැටවුන් ආරක්ෂා කිරීමට ඉතා බුද්ධිමත්ව සහ සාමූහිකව කටයුතු කිරීමට පරිණාමිකව පෙළඹී සිටිනවා. ඔවුන් තමන්ගේ වාසභූමිය පිළිබඳ ඉතා හොඳ අවබෝධයකිනුයි පසු වන්නේ.
ඇතැම් විට කිසියම් පිරිසක් එම සතුන් පලවා හැරීමට ක්‍රියාකිරීම නිසා ඔවුන් කලබලයෙන් මේ ආකාරයෙන් අනාරක්ෂිත ස්ථානයකින් ජලයට බැසීම නිසා මෙම අනතුර සිදු වුණා දැයි සොයා බැලීම වැදගත්. මින් පෙර 2018 වසරේ අගෝස්තු මස අගදීත් මේ වැනිම මරණ නවයක් මේ ආශ්‍රිත වෙනත් විල්ලු ප්‍රදේශයකින් වාර්තා වුණා. එයත් ස්වභාවික මරණ ගොන්නට තල්ලු කර බළධාරීන් කර ඇරීමයි සිදු කළේ. ඒ සමඟම 2019 සැප්තැම්බර් මාසයේ හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ මියගොස් සිටි වන අලි 7 දෙනකුගේ සිරුරු හමු වීම ඒ දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වුණා. නමුත් එම මරණවලට හේතුව පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට කිසිවක් අනාවරණය කරගැනීමට හැකි වුණේ නැහැ. ඊට සම්බන්ධ කුමන හෝ පාර්ශවයක් සිටිනවා නම් ඔවුන් මේ දක්වාම කිසිදු දඬුවමක් ලබා නැහැ.
ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයද ආශ්‍රිත මෙම ප්‍රදේශයේ ඉඩම් අල්ලා ගැනීමට ප්‍රදේශයේ බලවතුන් විසින් මෙහෙයවනු ලබන බව සිතිය හැකි විවිධ පුද්ගලයින් සිටින්නේ දිගු කලෙක සිටයි. අලි ඇතුන් යනු බුද්ධිමත් ජීවී විශේෂයක්. ඔවුන්ගෙන් පරිසර පද්ධති සේවා රැසක් සැලසෙන අතර තමන් ජීවත්වන වනාන්තර වලට භෞතික වශයෙන්ද ආරක්ෂාව ලබාදෙන බව විද්‍යාත්මකව තහවුරු වූ කරුණක්. එබැවින් මෙම ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කැස කවන සහ නීතී විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයින් සහ පාර්ශව වලට අලි ඇතුන් හිසරදයක් බවට සැක නැහැ. එනිසා එවැනි පිරිස් මෙම ඝාතන පිටුපස සිටිනවාද යන්න සොයා බැලීම වැදගත්.
ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති ශක්‍යතාව නම් පවතින්නේ ඉතා පහළ මට්ටමක බව කනගාටුවෙන් නමුත් කිව යුතුයි. ආණ්ඩුවේ විගණකාධිපති විසින් 2012 – 2016 කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් පල කළ වාර්තාව අනුව 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝම්බර් දක්වා සිදු වූ අලි ඝාතන 384 කින් සියයට අසූ නවයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඊට ප්‍රධාන හේතුව එවැනි සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් නොවීම. එබැවින් බොහෝ හස්ති ඝාතකයින් නිදැල්ලේ පසුවන බව නොරහසක්. මේ පිළිබඳ වසර ගණනාවක් තිස්සේ අප දිගින් දිගටම බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට උත්සාහ කළත් එම තත්ත්වයේ කිසිඳු වෙනසක් මෙතෙක් සිදුවී ඇති බව පෙනෙන්නට නැහැ. ඉතින් එවැනි පසුබිමක් තුළ අපේ රටේ අලි ඇතුන් ඇතුළු වනජීවී සම්පත සුරක්ෂිතයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්?…….“ ඒ පරිසර සංරක්ෂණවේදී සහ අලි සම්බන්ධයෙන් කටයුතු කරන පර්යේෂණවල යෙදෙන සුපුන් ළහිරු ප්‍රකාශ්ය.
අප සංචාරක ව්‍යාපාරය ගැන කොතරම් පුරසාරම් දෙඩුවත් පලක් නැත. ලෝකයේ අලි ඇතුන් දැකගත හැකි හොඳම ගමනාන්තයක් වන්නේ ශ්‍රී ලංකාවයි. මේ වෙනුවෙන්ම අප රටට පැමිණෙන සංචාරකයෝ ද ඇත. නමුත් පසුගිය වසර කිහිපය හා සන්සන්දනයේදි අලි මරණවල සිදුව ඇත්තේ වැඩිවීමකි. විවිධ ස්වභාවික හේතු මත අලි ඇතුන් මියගියත් ඒ බොහෝ සිදුවීම් පිටුපස මිනිස් ක්‍රියාකාරකම් ගෑවී හෝ නොගෑවී ඇත්තේය. පොලොන්නරුව දිඹුලාගල ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි මරණවලටද යම් ආකාරයකින් මිනිස් ක්‍රියාකාරකම් ගෑවී ඇති බවට මේ වන විට බලධාරීහු සැක පල කරති. ඉදිරියේදි අලි ඇතුන් සුරකින්නට නම් නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුව ඇත.
සුභාෂිණි ජයරත්න