Home » මහ දවාලේ ගෙවල් 25ක් කැඩූ මත්ලෝලියා ඇල්ලූ පොලිස් නුවණ

මහ දවාලේ ගෙවල් 25ක් කැඩූ මත්ලෝලියා ඇල්ලූ පොලිස් නුවණ

by thanushika
June 1, 2024 12:30 am 0 comment

අපරාධ වළක්වා ගැනීමට මීරිගම පොලිසිය මහත් වෙහෙසක් ගනී. ඒ සඳහා දිවා රෑ දෙකේම පොලිස් කණ්ඩායම් වෙහෙසෙන්නේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චිගේ උපදෙස් මතය. මීරිගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක චතුර රංගන ඇතුළු නිලධාරි පිරිසක් පසුගියදා මහ දවාලේ මීරිගම බස් නැවතුම්පළ සහ නගරය අවට දැඩි විමසිල්ලකින් සෝදිසියකින් කල් ගත කළේ ඒ අනුවය. බස් නැවතුම්පළ අසල රැඳී සිටි පුද්ගලයකු පිළිබඳව මේ පොලිස් කණ්ඩායමේ ඇස් යොමු වුණේ ඔවුන්ගේ අත්දැකීම් නිසාමය.

පොලිස් නිලධාරින්ගේ සැකය නිවැරදිය. සැකයට පත් පුද්ගලයා පරීක්ෂාවට ලක් කෙරිණි. සැකකරු සතුව හෙරොයින් මත්කුඩු පාර්සලයක් ද විය. මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනිණි. එහි හෙරොයින් ග්‍රෑම් තුනක් තිබුණු බව පසුව හෙළි විය. මේ පුද්ගලයා කුඩුකාරයකුට වඩා පොලිසියට ‘වැදගත්’ අයකු වනු ඇති බවට සැක පළ කෙරුණු හෙයින් පොලිසියට රැගෙනවිත් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබූයේ ඒ වනවිට ද ප්‍රදේශයේ නිවාස බිඳ දේපළ සොරා ගැනීම් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා වී තිබූ පසුබිමකය.

පොලිස් පිරිසේ සැකය නිවැරදි විය. සැකකරු දිවා කාලයේ සැරිසරමින් පොලිස් වසම් ගණනාවක නිවාස විසිපහක් පමණ බිඳ දේපළ සොරා ගැනීමේ යෙදුණු ‘මත්ලෝලියෙකු’ බව අනාවරණය කරගන්නට පොලිසියට හැකි වූයේය. ඒ අතරින් මීරිගම පොලිස් වසමේ පමණක් නිවාස පහළොවක් පමණ කඩා දේපළ සොරාගෙන ඇති බව හෙළිකර ගැනීමට පොලිසියට හැකි වූයේය.

මෙසේ අත්අඩංගුවට ගත්තේ වේයන්ගොඩ නුංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිස්නව හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වත්තේගම පදිංචිව සිටි අයෙකු බව විවාහදෙකක් කරගත් පුද්ගලයෙක් බව ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කිරිඳිවැල, වැලිවේරිය, සීදුව, මීරිගම ඇතුළු පොලිස් වසම් ගණනාවක නිවාස විසිපහක් පමණ කඩා දේපොළ සොරා ගත් පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය විය. දිවා කාලයේ හුදෙකලාවම මහමඟ සැරිසරමින් වසා දමා ඇති නිවාස තෝරා බේරාගෙන ඒවාට ඇතුළු වී මෙසේ දේපළ සොරාගෙන ඇතැයි ද මීරිගම පොලිස් වසමේ පමණක් නිවාස පහළොවකින් පමණ දේපළ සොරාගෙන ඇති බව ද හෙළිකර ගැනීමට පොලිසිය සමත් විය.

සැකකරුගේ ප්‍රකාශ අනුව ඔහු විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා පවුම් විස්සක් පමණ වටිනාකමින් යුත් රත්රන් ආභරණ තොගයක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය.

මෙසේ සොරා ගන්නා දේපළ විකුණා ලද මුදල්වලින් ඔහු මත්කුඩු පානයට සහ මත්පැන් පානයට ඇබ්බැහි වූවකු බවද අනාවරණය වී ඇත. පළමු බිරියගෙන් දික්කසාදය ලබා දෙවන විවාහයකට ඇතුළත් වී ඇති සැකකරුගේ දෙවන බිරියද මේ වන විට විදේශගතව ඇතැයි ද සැකකරු බොහෝ ස්ථානවලදී තනිවම ගොස් මෙම සොරකම් සිදුකර ඇති අතර සමහර අවස්ථාවලදී සහායකයෙකු සමඟ ගොස් ඇති බවද හෙළි වී ඇත. වේයන්ගොඩ පොලිස් වසමේ නිවාස දහතුනක් බිඳ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූවකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරු අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහි මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කරනු ලැබීය.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක රංගන සැරයන්වරුන් වන (29835) ප්‍රනාන්දු, (75394) වික්‍රමරත්න, කොස්තාපල්වරුන් වන (72321) රාජපක්ෂ, (30046) බණ්ඩාර කාන්තා කොස්තාපල් (10900) සුභානි ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.

එම්. පුෂ්පකුමාර - කොටදෙණියාව සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division