Home » කුල ගෙය ගිනි ගොඩක් වී අවසන් ගමන් ගිය සුදර්ශනී

කුල ගෙය ගිනි ගොඩක් වී අවසන් ගමන් ගිය සුදර්ශනී

by thanushika
June 8, 2024 12:30 am 0 comment

“අනේ මගේ ගෑනී ළිඳට වැටිලා… බේරගන්න වරෙල්ලා…” මුලතිව් මුල්ලියාවලෙයි ‘බූටන්වයල්’ ගම්මානයේ කෙළවරකින් ඒ විලාප හඬ ඇසෙත්ම ගමේ බොහෝ දෙනෙක් ඒ දෙසට දිව ගියේ ‘අනේ අපොයි‘ කියමිනි. ඔවුන්ට දැකගත හැකි වූයේ තරුණ කාන්තාවක් ළිඳේ වැටී පාවෙමින් සිටි ආකාරයයි.

“ගමු… ගමු …. ඉක්මනට ගොඩ ගනිමු…” කියමින් එතැනට පැමිණ සිටියෝ ඇයව ළිඳෙන් ගොඩගෙන වහාම මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගියේ ඇගේ දිවි ගලවා ගැනීම සඳහාය. ගමේ අය රෝහල පුරා ගැවසෙමින් සිටියේ වෛද්‍යවරු ඇයට ‘පණ’ දෙනතුරුය.

රෝගීන් බලන කාමරයෙන් එළියට ආ වෛද්‍යවරයා එලෙස බලා සිටි අයට පැවැසුවේ ඇය මිය ගොස් පැය ගණනාවක් වන බවයි. මෙසේ මියගොස් සිටියේ වව්නියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචි එස්. යූ. සුදර්ශනී නමැති විවාහක කාන්තාවකි.

ගමේ අය විලාප නඟද්දී මියගිය සුදර්ශනීගේ සිරුර රෙද්දකින් වසා රෝහල් කොරිඩෝවේ සේවකයින් විසින් තබන ලද්දේ ඊළඟට සිදුවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ දේහය රැගෙන යාමට නියමිත නිසාය.

සුදර්ශනීගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ‘එළියට ආවේ’ කිසිවකු බලාපොරොත්තු නොවූ කතාවකි. සුදර්ශනී මියගොස් ඇත්තේ ඇගේ ගෙල සිර කිරීමෙන් පසුව බවත් ඇයට ජලය පෙවීමක් හෝ ඇගේ මරණයට හේතුව ළිඳේ වැටීම නොවන බවත් ඉන් කියැවී තිබුණි. ඊළඟට එම වාර්තාවෙන් නිගමනය කොට තිබුණේ මේ මරණය මිනිස් ඝාතනයක් බවයි.

මුල්ලියාවලෙයි පොලිසිය මියගිය සුදර්ශනීගේ සැමියා සැකපිට අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.

වව්නියාවේ, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි එස්. සුදර්ශනී විවාහ දිවියට එළැඹ තිබුණේ ඇයට වයස අවුරුදු 22 දීය. ඒ පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් වශයෙනි. සුදර්ශනීගේ පවුලේ උදවිය මුලතිව් පළාතේ පදිංචි මේ තරුණයා ගැන තොරතුරු සොයා බලද්දී ඔහු ගැන අසන්නට ලැබුණු කතා සහ තොරතුරු එතරම් හොඳ ඒවා නොවූ නිසාම සුදර්ශනීගේ මව්පියන් මේ විවාහයට තදින්ම අකමැති වී සිටියහ.

කෙසේ නමුත් සුදර්ශනීගේ විවාහය සිදු වූයේ දෙදෙනාගේම කැමැත්ත නිසාය.

සුදර්ශනී රූමත් තරුණියක වූවාය. සැමියාට හදවතින්ම පෙම් කළ සුදර්ශනීට එක් දවසක තමන් කිසිදා බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදු විය. ඒ තම ස්වාමියා වයස අවුරුදු දහසයක තරම් බාල වයස්කාර දැරියක් ඔවුන් සිටි නිවසට කැඳවාගෙන ඒමය. සුදර්ශනී ඒ ගැන සැමියාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ ඇය ඔහුගේ ඥාති දියණියක් බවත් ගෙදරින් රණ්ඩු වී පැමිණි නිසා දවස් කීපයක් මේ නිවසේ තබා ගැනීමට සිදුවන බවය.

සුදර්ශනී මේ කතාව විශ්වාස කළද ටික දිනකින් පෙනී ගියේ ඇය සහ තම ස්වාමියාත් අතර පවතින්නේ නෑකමකට වඩා ‘එහා ගිය’ සබඳතාවක් බවයි.

දිනක් සැමියා සහ අනෙක් යුවතිය පෙමින් වෙළී සිටින අන්දම සුදර්ශනී දකින්නේ අහම්බෙනි. එදා ඇගේ මුළු හදවතම රත් වී කිළිපොලා ගියාය. සුදර්ශනීගේ ගෙදරින් සාමය සතුට ආදරය පලාගොස් වෛරය, තරහ සහ රණ්ඩු සරුවල් ආරම්භ වූයේ ද එදාමය.

ඒ අතරවාරයේ දිනක් සුදර්ශනීගේ නිවසට තවත් කාන්තාවක් හදිසියේ ම පැමිණියාය. රූමත් කාන්තාවක් වුවත් සුදර්ශනීටත් සුදර්ශනීගේ ස්වාමීයා විසින් රැගෙන එන ලද තරුණියටත් වඩා ඇය මඳක් වයසින් වැඩි අයෙකු වූවාය.

ඇය පැමිණ සුළු වේලාවකින් සුදර්ශනීගේ ගෙදර සිටි තරුණියත් පසුව පැමිණි කාන්තාවත් අතර මහා වචන හුවමාරුවක් ඇති වී එය අවසානයේ මහා ආරවුලක් බවට පත් වුණි. කාන්තාවගේ කටින් කියැවුණේ “තොපි දෙන්නාම ‘මගේ මිනිහා’ බලෙන් අල්ලා ගත්තා” යන අදහසට සමාන කතාවකි.

සුදර්ශනීගේ ගෙදර සිටි තරුණිය ද ඇය සමඟ එකට එක කීම නිසා මේ මුළු කතාවම සුදර්ශනී ඉදිරියේ දිග හැරුණේ නවකතාවක කොටස් කියවන්නෙකුට ලැබෙන අත්දැකීම් සම්භාරයක් සේමය. ඇයට අමුතුවෙන් සැමියා ගැන තවත් යමක් කවරෙකුගෙන් හෝ අසා දැනගැනීමට අවශ්‍ය නොවන ලෙසට කතාව දිග හැරුණේ ඒ මොහොතේය.

නිවසට ආ ඒ කාන්තාව සුදර්ශනීගේ ස්වාමියා මේ තරුණියන් දෙදෙනාම පෙර අඹුව වශයෙන් තබාගෙන සිටි කාන්තාවක් බව ‘කතා මැද කතා’ අතරදී කියැවුණි. සැමියාගේ කටයුතු ගැන හෙළි වීම නිසා දුකට පත් සුදර්ශනී මහා හඬින් හඬමින් සිටියදී ඇගේ ස්වාමියා නිවසට පැමිණියේය. හැඬීමට හේතුව විමසන විට සුදර්ශනී සැමියා අල්ලා සොලවමින් මේ සැමියාගේ හොර ආදර කතා සෑම එකක්ම ඔහුට කීවේ දැඩි ආවේගාත්මක ස්වරූපයකිනි. එහි අවසාන පිළිතුර වූයේ සුදර්ශනීට ඇගේ සැමියාගෙන් ගුටි පූජාවක් ලැබීමය. නිවසට ආ කාන්තාව නිවසින් පිටව ගියාය.

එදා සිටම මේ ගෙදර ගිනි ගෙදරක් ‘රණ්ඩු ආකරයක්’ මිස සිනහව ආදරය පිරුණු නිවසක් නොවීය.

පසුගිය මැයි මස 26 වැනිදා ද අර මුලින් කී කාන්තාව සුර්ශනීගේ නිවසට නැවත පැමිණියාය. එදා සුදර්ශනීගේ ස්වාමියා නිවසේ සිටි නිසා මහ රණ්ඩුවක් ඇති නොවුණද කාන්තාව සුදර්ශනීගේ සැමියා සමඟ බහින්බස් විය. කුටු කුටු ගාමින් තවත් මොනවදෝ දෙදෙනා අතර කතාබහ කැරිණි. ඒ දිනය සුදර්ශනීගේ ජීවිතයේ අවසාන දිනය බව ඇය කවදාවත් නොසිතන්නට ඇත. ඒ ඇය සිය ස්වාමියාගේ වැරදි පිට වැරදි මහා ගොන්නක් දුටුවත් ඔහුට තිබූ ආදරය අබමල් රේණුවකින් හෝ අඩු නොකිරීම නිසාය.

මේ ආදරය නිසාම ඇය සිය ස්වාමියා සමඟ එදත් කතා කළේ හදිසියේ ම අර කාන්තාව පැමිණි කාරණය ගැනය. මේ බහින්බස් වීම මැදට සුදර්ශනීගේ සැමියාගේ ‘අලුත් පෙම්වතිය’ මැදි වූවාය. ඉන් එහාට සිදු වූ දර්ශන පෙළ දන්නේ දැනට ජීවතුන් අතර සිටින සුදර්ශනීගේ ස්වාමියාත් ඔහුගේ අලුත් පෙම්වතියත් පමණකි.

මේ ඝාතනයට සුදර්ශනීගේ සැමියාගේ අලුත් පෙම්වතිය දායක වූයේ කුමන මට්ටමකින්ද යන්න තවමත් අනාවරණය වී නොමැත්තේය. මේ සියලු පෙම්වතියන්ට පෙර සුදර්ශනීගේ ස්වාමියාට හොර අඹුවක් වූ කාන්තාව කුටු කුටු ගා කීවේ කුමක්ද යන්නත් පොලිසියට ප්‍රශ්නයකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය මේ තිදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින දාහතරක කාලයකට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සුදර්ශනීගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු හෝ ඇසින් දුටු සාක්කි තවමත් නොමැති නිසා මේ සම්බන්ධයෙන් වූ කතා පුවතේ සියල්ල හෙළි වන්නේ කාලයත් සමඟ ඉදිරියේදී බව අපි අමුතුවෙන් කිව යුතු නොවේ.

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division