අපරාධවලට පෙළඹෙන පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට පත්වී උසාවි මාර්ගයෙන් හිරගෙවල්වල මාස අවුරුදු ගණන් අච්චු විඳ ඇතැම් අවස්ථාවල එළියට පැමිණ නැවත තමන් පෙර කළ අපරාධවලම නිරත වන බව අතිශයෝක්තියක් නොවේ.
මෙසේ තමන් පෙර කළ වරදට අවුරුදු ගණන් හිරේ විලංගුවේ සිට නැවත ජන සමාජයට පත්ව එම වරදම නැවත සිදු කර හිරේ විලංගුවේ වැටෙන පුස්ගලයින් අතරින් සෑහෙන සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝය. මේ ගැන හෙළිවී ඇත්තේ පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදීය.
අපරාධ වාර්තා සහ අපරාධ සිදු කරන පුද්ගලයන්ගේ චර්යා නිරීක්ෂණයේදී හෙළි වන ප්‍රධාන කාරණාව නම් සොරකම්, කොල්ලකෑම්, කුලී මිනිස් ඝාතන, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවෝ එම අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයෙන් වරදකරුවන් වී එම දඬුවම් කාල සීමාව හිරගෙදරදී ගෙවා දමා නැවත ජනසමාජයට පැමිණි විටද නැවත එම ජාවාරම්, මිනීමැරුම්, සොරකම්, කොල්ලකෑම් සහ සංවිධානාත්මක අපරාධවලම නිරත වන බවයි. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අපරාධකරුවන් ඊට අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීම සඳහා තමන් පෙර කළ අපරාධ නැවත සිදු කරන බව නම් නොරහසකි.
මෙහි ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වූයේ කිරුළපන පොලිසියෙනි.
ඒ අවුරුදු 35ක් නිවාස බිඳ දේපළ කොල්ලකෑම් සහ සොරකම් කිරීම් වරදට අවුරුදු 18ක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු ඉන් නිදහස්ව ජන සමාජයට පැමිණ නැවත එම අපරාධයම සිදු කිරීමයි.
මේ පුද්ගලයා එසේ නැවත සිය පුරුදු රස්සාව හෙවත් ගෙවල් බිඳුම්වලට යොමු වන්නේ අවුරුදු 18ක් සිරගතව සිට ඉන් නිදහස ලබා සමාජගතවී මාසයකට පසු විමද සුවිශේෂී කරුණකි. සුරේෂ් නමින් හඳුන්වන මේ සැකකරු 54 හැවිරිදිය. අවුරුදු 18ක් බන්ධනාගාරගතව සිට නැවත සමාජගතවූ සුරේෂ් ඉන් අනතුරුව තම හුරුපුරුදු රස්සාව වන ගෙවල් බිඳුම් නැවත සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණෙනි.
සුරේෂ් දහඅට වසරක සිරගත ජීවිතයෙන් නිදහස ලබා නිවසට පැමිණ මාසයකට පසු නැවත තමන්ට හුරුපුරුදු ‘රස්සාව’ පටන්ගත්තේ නිවාස තුනක් බිඳ රුපියල් ලක්ෂ තිහක පමණ දේපළ සහ මුදල් සොරකම් කරමිනි.
යුක්තිය මෙහෙයුම යටතේ කොළඹ දිසාවේ පොලිස් ස්ථානවල නිලධරයන්ද දිවා රාත්‍රී මෙහෙයුම්වල නිරතව සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන්, කුලී ඝාතකයන්, සංවිධානාත්මක අපරාධකරුවන්, සොරුන්, කොල්ලකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධකම් ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
කිරුළපන පොලිසියේ කණ්ඩායමක් යුක්තිය මෙහෙයුමේ නිරතව කිරුළපන කාලිංග මාවතේ රේල් පාර ඔස්සේ පා ගමනින් යන්නේ සැක කටයුතු පුද්ගලයන් ද පරීක්ෂාවට ලක්කරන ගමන්ය.
එලෙස සැකපිට පරීක්ෂා කරන ලද පුද්ගලයකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වන්නේ ඒ අවස්ථාවේදීය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණි.
එලෙස අත්අඩංගුවට ගැනුණ සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී කිරුළපන බේස්ලයින් මාවතේ නිවාස දෙකක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා දේපළ සොරකම් කළ පුද්ගලයකු බව හෙළි විය.
පොලිසිය ඒ අනුව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වන්නේ මේ මත්ලෝලියා කිරුළපන, බේස්ලයින් මාවතේ නිවෙසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් වළලු 03ක්, රන්කාසි 02ක්, රන්මාල 02ක්, කරාබු ජෝඩු 02ක්, පෙණ්ඩන්ට් ජෝඩුවක් සොරකම් කර ඇති බවයි.
අනෙක් නිවෙසින් රුපියල් හතළිස්දහසක මුදල්, රන් මුදුවක් ද සොරකම් කර ඇති බව පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.
නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ නිවෙසින් මේ සැකකරු රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා රන් අත්පලඳනාවක් සහ රන් මාලයක් සොරකම් කර ඇති බවද අනාවරණය විය. මේ සැකකරු එලෙස සොරකම් කරන ලද රන් භාණ්ඩ අතරින් රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා රන් ආභරණ හෙට්ටිවීදියේ වෙළඳ සැල් දෙකකට විකුණා තිබියදී සොයා ගැනිණි. සෙසු රන් ආභරණ සොයාගන්නා ලද්දේ සැකකරු පදිංචි කුලී නිවෙසේ සඟවා තිබියදීය.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඉතා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවට පොලිසිය තොරතුරු හෙළිකර ගන්නේ ඉන් අනතුරුවය. ඔහු රුපියල් තිස්දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය දිනපතා පානය කරන බවට තොරතුරු හෙළි විය. සැකකරු සතුව තිබු රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පොලිසිය මඟින් සොයා ගන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිමේදීය.
පොලිසිය මේ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ ඔහු වසර 35ක් පුරා සිදු කරන ලද සොරකම් නිසා වසර 18ක් සිර දඬුවම් විඳ නැවත ජනසමාජයට පැමිණ ඇති බවද හෙළි විය.
සැකකරු මෙරට ලියාපදිංචි අපරාධකරුවකු (ආයිආර්සී) බවද හෙළි විය.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බව කිරුළපන පොලිසිය සඳහන් කරයි. සැකකරුට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේවර්ධන සහ පොලිස් අධිකාරී ජයශාන්ත සිල්වාගේ උපදෙස් පරිදි කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පරීක්ෂක ඩබ්ලිව්, එම්. ජේ. මධුෂංක, සැරයන් (9233) අධිකාරී, (97295) විජේසිංහ, (97757) ජෝර්ජ්, (103025) චතුර, කාන්තා කොස්තාපල් (12641) වාසනා ඇතුළු නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර
දීපාල් සමරසේකර