“තැඹිලි.. තැඹිලි.. තැඹිලි කපනවා. තැඹිලි ගන්නවා. තැඹිලි”
කුඩා ඩිමෝ බට්ටා ලොරි රථයේ නැඟුණු ‘තැඹිලි වෙෙළදුන්’ කිහිපදෙනා අරඹකන්ද ප්‍රදේශය බලා පිටත් වූයේ තැඹිලි එකතු කිරීමේ අරමුණින් බව බැලූ බැල්මට පෙනුණද එහි යටි අරමුණක් තිබූ බව දන්නේ ඔවුන් පමණි. ඉතා දුෂ්කර මාර්ගයේ ගිරිදුර්ග තරණය කරමින් වාහනයෙන් ගමන් කිරීමටවත් බැරි අපහසු වූ කඳු ප්‍රදේශය තරණය කරමින් ලොරිය ඉදිරියට ඇදුණේ ඉතා අසීරුවෙනි. රථයේ පිටුපස එකතු කරගත් තැඹිලි වලු කිහිපයක් ද පෙනෙන්නට තිබුණේ කාගේත් අවධානය තැඹිලි වෙළෙඳාම පිළිබඳව යොමු කරමිනි.
ඉතා දුෂ්කර වූ උස් කඳු මුදුනක පිහිටි දිළිඳු ගම්මානයක් වන ‘අරඹකන්ද’ ප්‍රදේශයේ පදිංචිකරුවන් වැඩි පිරිසක් එදිනෙදා කුලී රැකියාවල නියැළෙන අය වන අතර සවස් වන විට හීන් අඩියකින් සප්පායම් වීම ද ඔවුන්ගේ සුපුරුදු දින චරියාවේ අංගයක් බවට පත්වී තිබීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ මේ කුලී රැකියාව තැඹිලි කැපීම හා තැඹිලි එකතු කිරීම බව නොදන්නා කෙනෙක් නොමැති බව සහතිකය. යන්තම් දැලි රැවුල් මෝදු වුණ ගැටයාගේ පටන් මහල්ලා දක්වා වැඩි පිරිසක් සිදු කරන රැකියාව වන්නේ කුලියට තැඹිලි කැපීම හා එකතු කිරීමයි. තරුණ පිරිස් ගස් බඩගා කපා ගන්නා තැඹිලි එකතු කර කොළඹ නගරයට රැගෙන යන පුද්ගලයකු ද මේ ගමේ සිටියේ තරමක් වත්පොහොසත්කමක් උසුලමිනි.
මේ ගම්මානයේ තවත් සුවිශේෂී කාන්තාවක් ද ජීවත් වූවාය. ඇය ලොකු කුඩා කා අතරත් ප්‍රචලිත වූයේ ‘දෝණි’ යනුවෙනි. කාගේ දෝණි වුවද ඇය මේ වන විට අත්තම්මා කෙනෙකි. හතළිස්හය වැනි වියේ පසු වුවද ඇගේ වැඩ කටයුතු නම් අත්තම්මා කෙනෙකුට ගැළපෙන තාලයේ ඒවා නොවේ. තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි මෙම කාන්තාව ඉන් නොනැවතී ඒවා අලෙවි කිරීමට ද පුරුදුව සිටියාය. වල්පිට ප්‍රදේශයේ ජාවාරම්කරුවකුගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ඇය විසින් ප්‍රදේශයේ තැඹිලි එකතු කරන පිරිසට බෙදා දෙමින් ජයටම ජාවාරම සිදු කර ගෙන ගියේ එම ප්‍රදේශයම තමන් නතුකර ගත් අයුරිනි. උදේ සිට වෙහෙස වී හැන්දෑවට ඇඟ රත්කර ගැනීමට මඟක් සොයන මෙම පිරිස රස කරමින් අයිස් මත්ද්‍රව්‍ය පානය කළේ දෝණි ද සමඟ එකතු වෙමිනි. ඒ ඔවුන් තිප්පොළක් ලෙස තෝරාගත් නිවසකට එකතු වෙමිනි. එලෙස මෙම පිරිසට පහසුකම් සපයා දුන්නේ පෙර කී ව්‍යාපාරික පුද්ගලයා විසිනි. එහෙත් කිසි දිනක මෙම මත්ද්‍රව්‍ය වැටලීමට මෙම ගම්මානයට පොලිසියට යාමට ඉඩක් ලැබී තිබුණේ නැත. ඒ ඔවුන් ගමට එන පොලිසිය ද පලවා හැරීමට තරම් චණ්ඩි වෙස්ගෙන තිබූ බැවිනි. දින, සති, මාස අතීතයට එකතු වෙමින් තිබූ මොහොතක මෙම ගම්මානයට හදිසියේ පිටස්තර තැඹිලි වෙෙළඳුන් දෙතුන් දෙනෙකු ලොරි රථයෙන් පැමිණියේ කිසිදු බියකින් සැකයකින් තොරව මෙම පිරිස නිදැල්ලේ මත්ද්‍රව්‍ය පානය කරමින් ඔවුන්ට රිසි අයුරින් කටයුතු කරන පසුබිමක් තිබියදීය.
“අපි ආවෙ තැඹිලි එකතු කරන්න. මේ පැත්තෙ කොහේද කපපු තැඹිලි ගන්න තියෙන්නේ?”
නිවසක් ඉදිරිපිට නතර කළ ලොරි රථයෙන් බැසගත් ‘වෙෙළඳුන්’ විමසා සිටියේ වාහනයේ ශබ්දයට යන්තම් හිස හරවා විපරම් කර බැලූ නිවෙසේ සිටි අයෙකුගෙනි. ඔවුන් සිටියේ බිම වාඩිවී ඉතා ‘වැදගත්’ රාජකාරියක නිරත වෙමිනි. පැමිණි අමුත්තන් පිළිබඳව විමසා බැලීමටවත් ඔවුන්ට එතරම් වුවමනාවක් තිබුණේ නැත. එතරම්ම එම රාජකාරිය ඔවුන්ට වැදගත් වී තිබිණි.
තරුණියක සහ තරුණයන් දෙදෙනෙකුත් කාන්තාවකුත් ඒ අතර සිටි බව පැහැදිලිවම තැඹිලි වෙෙළදුන්ට හඳුනා ගැනීමට අපහසු වූයේ නැත. තැඹිලි එකතු කිරීම කෙසේ වෙතත් මෙම හතර දෙනා වෙත කඩා පැන ඔවුන් අල්ලා මෙල්ල කළ වෙෙළඳුන්, තැඹිලි වෙනුවට එම සිවුදෙනා රැගෙනවිත් ලොරිය තුළට දමා ගත්තේය. ඒ ඔවුන් පානය කරමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය ද සමඟය. මෙහි ඇති අතිශය සංවේදී කතාව වන්නේ තරුණ කාන්තාව මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියේ ඇගේ පස් හැවිරිදි දරුවා ද ඉදිරියේ තබාගෙන වීමය.
තැඹිලි වෙෙළඳුන් ලෙස මෙසේ වෙස්වළාගෙන එම ගම්මානයට ගියේ අන් කවරකුවත් නොව අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා ඇතුළු නිලධාරීන්ය.
ඒ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සති දෙකක පමණ කාලයක සිට සිදුකළ ආවේක්ෂණ රාජකාරියක ප්‍රතිඵලයක් වශයෙනි. නිවැරදිවම මෙම වැටලීම සිදුකළ යුත්තේ තැඹිලි එකතු කිරීමට යන මුවාවෙන් විය යුතු බවට තීරණය කළේ එහිදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුවය.
වෙස්වළාගත් පොලිස් නිලධාරීන් තැඹිලි පිළිබඳ විමසීමේදී ඔවුන් කලබල නොවී ඔවුන්ගේ ක්රියාවේ නියැළී සිටියේ තැඹිලි වෙළෙඳුන් ඔවුන්ට අමුත්තන් නොවූ නිසාය.
එම අවස්ථාවේ මෙම කාන්තාව සන්තකයේ තිබූ කොළ පැහැති ප්ලාස්ටික් කුප්පියේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් තුන්දාස් එකසිය දහයක් තිබූ අතර තරුණයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් අටක් තිබී සොයා ගැනීමට හැකි වී තිබුණි. අත්අඩංගුවට ගත් තරුණිය විසිපස් හැවිරිදි වියේ පසුවූ අතර ඇය මෙම ජාවාරම්කාරියගේ දියණිය බව ද මෙහිදී අනාවරණය වී තිබේ. ඇය ඇගේ දරුවා ඉදිරියේ තබාගෙන මව සමඟ හරි හරියට අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියේ කෙලෙසදැයි පොලිස් නිලධාරීන් ද විමතියට පත්කළ කරුණක් බවට පත්ව තිබිණි.
අත්අඩංගුවට ගත් එක් තරුණයකු දහනව හැවිරිදි වියේ පසු වූ අතර අනෙක් පුද්ගලයා විසිඅට හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙම කාන්තාව දුරකතන ඇමතුම් ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකර තිබෙන බවට මෙහිදී අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. තම දියණිය සහ ඇගේ කුඩා දරුවා සමඟ එකට හිඳිමින් මත්ද්‍රව්‍යවල රස බැලූ මෙම නරුම කාන්තාව ඉන් නොනැවතී අසල්වැසි තරුණයින් ද ඒවාට යොමු කරමින් මුදල් ඉපයීමට පෙළඹුණේ කිසිදු හිරිකිතයකින් නොවන බව ද පැහැදිලිය. ගමට පිළිලයක් වූ අරඹකන්ද ගම්මානයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට වැටකඩුලු බැදුණේ අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව සිදුකළ වැටලීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් පරිදි අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වාගේ මූලිකත්වයෙන් සැරයන් (55834) අනුරුද්ධ, කොස්තාපල්වරුන් වන (100310) රුක්ෂාන්, (9931) මධුවන්ත, (96977) කසුන්, කාන්තා කොස්තාපල් (9295) මදුවර්ෂාණි යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ