මැණික් ඉල්ලම් ඇති ගංගා, ඇළදොළ, පොකුණු, වනාන්තර ඉවක්බවක් නැතිව විනාශ කරන මැණික් ජාවාරම්කරුවන්ගෙන්ද මෙරටට අඩුවක් නම් නැත. පරිසර විනාශය තුට්ටුවකට නොසලකමින් වැලි ලබා ගැනීම සඳහා ගංගා, ඇළදොළ, වැව්, පොකුණු විනාශ කරන පුද්ගලයන් මෙන්ම නීති විරෝධී පතල් පවත්වාගෙන යමින් ගංගා, ඇළදොළ විනාශ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු යොදා ඇත්තේ එවැනි ජාවාරම්කරුවන්ගෙන් පරිසරයට වන විනාශය වළක්වා ගැනීම සඳහාය.
යුක්තිය මෙහෙයුමේ නිරත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සෙසු ආරක්ෂක අංශවල නිලධාරීන් පසුගිය දිනවල මෙහෙයුම්වල නිරතව සිටින අතරේ මැණික් ජාවාරම්කරුවන් පරිසරයට සිදු කරන සහ සිදුකර ඇති විනාශය ගැනද විශේෂයෙන් සොයා බැලූ අතර නීති විරෝධී ලෙස මැණික් ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයින් සැලකිය යුතු පිරිසකට නීතිමය පියවර ගැනීමට ද පොලිසියට හැකි වී තිබිණි.
විශේෂයෙන් මැණික් ජාවාරම්කරුවන් ඉතා සූක්ෂමව සිය ජාවාරම් සිදුකරගෙන යන බගවන්තලාව, කෙසෙල්ගමුව ඔය ආශ්‍රිතව සිදු වී ඇති පරිසර විනාශය පිළිබඳව යුක්තිය මෙහෙයුම යටතේ සුවිශේෂී අවධානයක් යොමු කරන්නේ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිපුණ දෙහිගමය. ඒ පසුගියදාය.
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව ඔය ඉවුරේ සහ පතුලේ ඇති මැණික් ඉල්ලම් නීති විරෝධීව ගොඩගෙන මැණික් සොයන සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් ගැන හැටන් පොලිස් අධිකාරී නිපුණ දෙහිගමට කලක පටන් තොරතුරු ලැබී තිබිණි.
නීති විරෝධීව දීර්ඝ කාලයක පටන් මෙලෙස සිදු කරන මේ ජාවාරම නිසා කෙසෙල්ගමු ඔය සහ ඒ ආශ්‍රිතව සිදු වී ඇති පාරිසරික විනාශය ගැනද පොලිස් අධිකාරීවරයාට තොරතුරු වාර්තා වී තිබුණි.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායමක් යෙදවුණු අතර මේ සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ ක්‍රියා දීර්ඝ කාලයක් තිස්සේ සිදුවීමෙන් කෙසෙල්ගමු ඔය සහ අවට සිදුවන පාරිසරික හානිය ගැනද එම පොලිස් කණ්ඩායම පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලබාදී තිබිණි.
මේ සංවිධානාත්මක ජාවාරම්කාර කල්ලිය ෂකර් යන්ත්‍රද කෙසෙල්ගමු ඔයේ සවිකරගෙන මේ ජාවාරම සිදුකර ගෙන යන බවටද පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරු සියයට සියයක්ම නිවැරදි විය.
මේ බව ඉතා නිවැරදිව තහවුරු කරගත් පොලිස් අධිකාරී නිපුණ දෙහිගම ඉන් අනතුරුව සිදු කරන්නේ මේ ගැන නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන නිලධාරීන්ද මේ ගැන දැනුම්වත් කිරීමයි.
ඉන් අනතුරුව එම නිලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුව වැටලීම සංවිධානය කෙරෙන්නේ පොලිස් අධිකාරී නිපුණ දෙහිගමගේ ගේ සැලසුමට අනුවය.
කෙසෙල්ගමු ඔය ගලා යන ප්‍රදේශය අයත් බගවන්තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මැණික් ජාවාරමුන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම ආරම්භ කරන්නේ පසුගිය දිනෙක රාත්‍රී කාලයේය.
කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් එම ස්ථානය වැටලීම සිදු කරන විට ජාවාරම්කරුවෝ කළුවරේම පලාගොස් ඇති අතර ෂකර් යන්ත්‍රය පොලිස් භාරයට ගැනිණි. එය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙනවිත් තිබුණු ඩීසල් ලීටර් 40ක් එම ස්ථානයේ තිබී සොයා ගැනීමට බගවන්තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමට හැකි විය.
අදාළ යන්ත්‍රයට අයත් කොටස් කීපයක් කෙසෙල්ගමු ඔය පතුලේ සවිකර ඇති බවට ලැබුණු තොරතුරු අනුව පොලිස් නිලධාරීන් එම කොටස් ද සොයා ගැනීමට කටයුතු යොදා තිබුණි. අත්අඩංගුවට ගන්නා ලද ෂකර් යන්ත්‍රයේ මිල රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවද දැන ගැනීමට ඇත.
මේ ෂකර් යන්ත්‍රය විදුලිබලය සහ ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන එකකි. එම යන්ත්‍රයට සවි කරන ලද නළයක් කිමිදුම්කරුවන් විසින් කෙසෙල්ගමු ඔය පතුලට රැගෙන ගොස් ක්‍රියාත්මක කිරීමෙන් මැණික් ඉල්ලම්වල වැලි සහ පස් ඉවත් වන බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.
මේ ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ කෙසෙල්ගමු ඔය සහ ඒ ආශ්‍රිතව සිදු කෙරෙන අතර බගවන්තලාව පොලිසියේ නිලධාරීන් මීට පෙර අවස්ථා ගණනාවකදී අනවසර මැණික් ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඔවුනට විරුද්ධව නීති මඟින් කටයුතු කර තිබුණත් සමහර සංවිධානාත්මක ජාවාරම් කල්ලි දිගින් දිගටම මේ නීති විරෝධී ක්‍රියාව සිදු කරගෙන යන්නේ පොලිස් ඇසට ද වැලි ගසමිනි.
මේ ජාවාරම සිදු කරන ලද පුද්ගලයන් සහ ෂකර් යන්ත්‍රය අයත් පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු පොලිසිය මේ වන විට සොයාගෙන තිබේ.
කෙසෙල්ගමු ඔයේ මැණික් ජාවාරම්වලට සම්බන්ධ සියලු පුද්ගලයන්ගේ තොරතුරු සොයා බලන ලෙස පොලිස් අධිකාරී නිපුණ දෙහිගම බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇති අතර කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව මෙහෙයුම් දිගින් දිගටම සිදු කරගෙන යන ලෙසද උපදෙස් දී ඇත.
බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කේ.ඩී. රුවන්, උප පොලිස් පරීක්ෂක එම්.ඒ. රත්නායක, සැරයන් (43346) වික්‍රමසිංහ, කොස්තාපල්වරුන් වන (28224) හේෂාන්, (27056) සුරවීර, (103158) චමිත්, (102811) කේසුජන්, (100840) සනීර් යන නිලධාරින් මෙම මෙහෙයුම සිදුකරන ලදි.
දීපාල් සමරසේකර