Home » කොට්ටාවේ ඝාතකයන්ට උදවු කළ මත්ලෝලීන්ට ලැබුණ තෑග්ග

කොට්ටාවේ ඝාතකයන්ට උදවු කළ මත්ලෝලීන්ට ලැබුණ තෑග්ග

by thanushika
June 8, 2024 12:30 am 0 comment

රටේ සියලුම පොලිස් වසම්වල සිදුවූ සංවිධානාත්මක අපරාධ, කුලී මිනිස් ඝාතන, කොල්ලකෑම්, මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අදාළ පොලිස් ස්ථාන විශේෂ අවධානයක් දක්වා එම අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය ඉක්මන් කළ යුතු බවද පොලිස් මූලස්ථානය මඟින් පොලිස් ස්ථානවලට දන්වා තිබුණි.

මේ විමර්ශනවලට අදාළව කොට්ටාව පොලිසියද සුවිශේෂී පරීක්ෂණයක් ආරම්භ කරන්නේ පසුගියදාය. ඒ කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ මිනිස් ඝාතනයකට අදාළවය. කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් ඇතුළතදී මීට මාස 11කට පමණ කලින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම ඝාතනය ගැන කොට්ටාව පොලිසියට අමතරව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය යන පොලිස් විමර්ශන ඒකකවල නිලධරයන්ද විශේෂ සෝදිසියක නිරතව සිටි අතර අපරාධකරුවන් ගැන නිශ්චිත හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත‍.

මේ ඝාතනය දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීවගේ ප්‍රබල ආධාරකරුවකු සහ ළඟම හිතවතකු වන ‘එස්. එෆ්. ජගත්’ නමින් හඳුන්වන පුද්ගලයාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් බව පොලිසිය සොයාගෙන තිබුණේ ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලදීය.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු කොට්ටාව හොරණ පාරේ රසායනාගාරයකට කඩා වැදී රිවෝල්වරයකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබුණේ 2023 වසරේ ජූනි 31 වන දිනය. 3.8 වර්ගයේ රිවෝල්වරයක් මේ ඝාතනය සඳහා ඝාතකයින් විසින් යොදාගෙන තිබුණ බවද අනාවරණය විය.

කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ද මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ගැන ඇස ගසාගෙන සිටියේ ඔවුන් කුමන මොහොතක හෝ අත්අඩංගුවට ගැනීම සඳහාය. ඒ වනවිටත් විමර්ශන නිලධාරීන්ට මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් ගැනත් හෝඩුවාවන් කීපයක්ම ලැබී තිබිණි.

මත්ද්‍රව්‍ය රැගත් පුද්ගලයන් දෙදෙනෙක් කොට්ටාව, බංගලාවත්ත ප්‍රදේශයට පැමිණෙන බවට කොට්ටාව පොලිසියට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. ඒ විශ්වාසදායක තොරතුරුකරුවකුගෙනි.

පොලිස් නිලධාරීන් මේ හෝඩුවාවට අනුව ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.

පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුර සියයට සියයක්ම නිවැරදි විය. බංගලාවත්ත ප්‍රදේශයට පැමිණි සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකුට මාංචු වැටෙන්නේ ඒ අනුවය. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්, ටී 56 ස්වයංක්‍රීය තුවක්කුවලට යොදන ජීව උණ්ඩ 46ක් ද පොලිසිය විසින් සොයා ගන්නේ සැකකරුවන් සන්තකයේ තිබියදීය. එක් පුද්ගලයකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 600ක් ද අනෙක් පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 300ක් සහ ටී 56 ජීව උණ්ඩ 45ක් මෙසේ සොයා ගැනිණි. මේ සැකකරුවන්ගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.

ඔවුන් 2023 වසරේ ජූනි 31 දින කොට්ටාව හොරණ පාරේ රසායනාගාරයකදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනා බවට තොරතුරු හෙළි විය.

ඝාතකයන් මේ අපරාධය සඳහා භාවිත කළ ගිනි අවි සහ මෝටර් බයිසිකලය ඝාතනයෙන් අනතුරුව මත්තේගොඩ සිට වත්තලට ගෙන ගොස් ඇත්තේ මේ පුද්ගලයන් විසින් බවට තොරතුරු හෙළි විය.

විදේශයක සැඟවී සිටින ‘එස්. එෆ්. ජගත්’ නමැති පුද්ගලයා මේ සැකකරුවන් දෙදෙනා කළ උදව්වට ප්‍රති උපකාරයක් වශයෙන් ඔවුන් දෙදෙනාට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 බැගින් ලබාදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. ඉන් අනතුරුව මේ පුද්ගලයන් දෙදෙනා එස්.එෆ්. ජගත්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එක් වී ඇති අතර ඔවුන් එම ජාවාරමෙන් උපයන මුදල් එස්.එෆ්. ජගත්ගේ ගිණුමට බැර කරන බවද පොලිසිය සොයා ගන්නේ සිදු කරන ලද විමර්ශනවලිනි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු හෝමාගම හිරිපිටියේ රණසිංහ මාවතේ පෞද්ගලික බස්රථ ගාලක හිමිකරුවකු වන සංජු නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරු සහිත මෝටර් බයිසිකලය ධාවනය කළ පුද්ගලයා බවටද පොලිසිය මේ වන විට තොරතුරු හෙළිකරගෙන ඇත. එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වැරදී ගිය අතර සංජුගේ ජීවිතයද ගැලවිණි. කිසිවකුට තුවාලයක් හෝ සිදු වූයේ නැත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පති ජී.එච්.මාරපනගේ අධීක්ෂණය යටතේ , නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.පී.එස් ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල යන නිලධාරීන්ගේ නියෝග මත කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂන වන්නිආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඩී. චතුරංග මෙහෙයවීමෙන් සැරයන් (59463) ප්‍රේමසිරි කොස්තාපල්වරු වන (32060) රණසිංහ(73034) ලක්මාල් (94036) විජේසිංහ (101997) රත්නායක ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division