Home » දේශීය සිනමා ලොව සොඳුරු සැරිසරන්නාගේ සිනමා වංශකතාව ගැන පසුවදනක්

දේශීය සිනමා ලොව සොඳුරු සැරිසරන්නාගේ සිනමා වංශකතාව ගැන පසුවදනක්

by gayan
June 8, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ සිනමා සාහිත්‍යය සාහිත්‍ය ශානරයක් ලෙස පිළිගැනීමට ලක් වී දීර්ඝ කාලයක් ගත වී ඇතැයි නොසිතමි. දශක ගණනාවක් පුරා සිංහල සිනමාවේ ආරම්භයේ සිට සිනමා ශාලාවන්හි අලෙවි කළ චිත්‍රපට ගීත ඇතුළත් සින්දු පොත් සාහිත්‍යයේ සිට කලා, චලන චිත්‍ර වැනි සිනමා සඟරා ද විසිතුර, සරසවිය, දීපශිඛා වැනි සඟරා හා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ ප්‍රකාශන ද හැරුණ කල විමර්ශනාත්මක සිනමා විචාර ප්‍රකාශන සිනමා ප්‍රේක්ෂකයන් හෝ සිනමාව පිළිබඳ උනන්දුවක් ඇති ප්‍රේක්ෂකයන් අත පත් වූයේ මඳ වශයෙනි. ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම සමඟ ඇතිවූ විවිධ වෙනස්වීම් සමඟ සංස්කෘතික අමාත්‍යාංශය විසින් චිත්‍රපට අනුමණ්ඩලය, පසුව උපදේශක සභාව පිහිටුවීම සමඟ චිත්‍රපට මාධ්‍යය වැනි ශාස්ත්‍රීය මට්ටමේ ප්‍රකාශන බිහිවූ බව දනිමු.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් ලෙස චිත්‍රපට සඟරාව ද වර්තමානය තෙක් පළවීම මඟින් ප්‍රකට වන්නේ සිනමා සාහිත්‍යයක අවශ්‍යතාව මෙම විෂය භාර ආයතන විසින් පිළිගෙන ඇති බවය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සාහිත්‍ය උලෙළ මඟින් සිනමා සාහිත්‍යය අරබයා රාජ්‍ය සම්මානයක් පිරිනැමීම ද සිනමා විෂය පිළිබඳ නිල පිළිගැනීමක් ලෙස ගත් කාලෝචිත තීරණයක් ලෙස හැඳින්විය හැකිය. පාසල් විෂයයට සිනමාව නිර්දේශ වීම, විශ්වවිද්‍යාල රාශියකම චිත්‍රපට පිළිබඳ ගෞරව උපාධි පාඨමාලා, කෙටිකාලීන ඩිප්ලෝමා පාඨමාලා හඳුන්වා දීම හා ශ්‍රීපාලි මණ්ඩපය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තම විෂය නිර්දේශයන්ට සිනමාව ඇතුළත් කිරීම වැනි තීරණ හේතුකොට ගෙන සිනමාව හා සිනමා අධ්‍යයනය පිළිබඳ පාසල් හා සරසවි මට්ටමින් ද පොදුජන ප්‍රේක්ෂක මට්ටමින් ද ශාස්ත්‍රීය පොතපත පළ වීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි සිතමි. ප්‍රේක්ෂකයන්ට හෝ විද්‍යාර්ථීන්ට ප්‍රයෝජනවත් එබඳු ශාස්ත්‍රීය පොතපත මේ වනවිට මෙරට බිහිවී ඇද්ද යන්න ප්‍රශ්නයකි. චිත්‍රපට නාමාවලියක් හෝ ඒවායේ නිෂ්පාදන, නළුනිළි හා අනෙකුත් විස්තර ඇතුළත් ග්‍රන්ථ සම්පාදනය වී ඇතත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වැනි ශාස්ත්‍ර ගවේශකයන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ ද යන්න නොවිසඳුණ ප්‍රශ්නයකි.

ඒ. ඩී.රංජිත් කුමාර හා නුවන් නයනජිත් කුමාර වැන්නන් විසින් පළ කරන ලද කෘති වෙතත් ඒවා දේශීය සිනමාව හෝ චිත්‍රපට ඉතිහාසය පිළිබඳ තොරතුරු සැපයෙන මූලාශ්‍ර ග්‍රන්ථ විනා සිනමාව විෂයයෙහි ලා ලියැවුණු ශාස්ත්‍රීය කෘති ලෙස සැලකීම උගහට ය. සිනමාව හා සම්බන්ධිත චිත්‍රපට ගීත පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්න විරචිත සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 -1976 දක්වා පළකොට ඇති කාණ්ඩ මඟින් සිංහල චිත්‍රපට ගීතයේ ඉතිහාසය පිළිබඳ මූලික තොරතුරු සොයාගත හැකි ව්‍යායාමයක් විනා එම ගීත පිළිබඳ සාහිත්‍යයික හෝ ශාස්ත්‍රීය විමර්ශනයක් නොවන බව පැවසිය යුතුය. සිනමා රචනය පිළිබඳ මෙවන් පසුබිමක නිහඬ ව සැරිසරන සිනමා මාධ්‍යවේදී, විචාරක ගාමිණී වේරගම විරචිත දේශීය සිනමා වංශය, තෘතීය කාණ්ඩය ( 1980 -1989 ) සරසවි ප්‍රකාශනයක් ලෙස පළව තිබීම මෙරට සිනමා සාහිත්‍ය විෂයයෙහි ලා වැදගත් කඩඉමක් සටහන් කරන්නක් ලෙස හඳුන්වමි.

ගාමිණී වේරගම විරචිත දේශීය සිනමා වංශය, තෘතීය කාණ්ඩය ( 1980 – 1989 ) ඔහුගේ පෙර කෘතීන්වලට වඩා වෙනස් වන්නේ හා විස්තරාත්මක තොරතුරුවලින් සපිරෙන්නේ එම දශකයේ ශ්‍රී ලංකාවේ දකින්නට ලැබුණු දේශපාලනික, ආර්ථික හා සමාජයීය පසුබිම තුළ පැවතුණු සිනමාවකට අදාළ චිත්‍රපට පිළිබඳ විවරණ සපයා ඇති බැවිනි. 80 වැඩ වර්ජනය, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම, 80 මැද භාගය වන විට උතුරේ පමණක් නොව දකුණේ ද භීෂණකාරී තත්වයක් උදා වීම, රටෙහි ආර්ථික හා සමාජ ව්‍යුහයේ මෙන්ම ජන ජීවිතයේ ද විශාල කඩාවැටීමක් සිදු වූ යුගයක බිහි වූ චිත්‍රපට පිළිබඳව ය ගාමිණීගේ මෙම සිනමා වංශ කථාවෙන් තොරතුරු හෙළි වන්නේ. එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට නළුවා ලෙස සම්මානිත විජය කුමාරතුංග ඝාතනය සිදුවන්නේ ද මේ යුගයේ දී ම ය. ඊට අමතරව මෙරට ජනප්‍රිය මාධ්‍යවේදීන් රැසක් ම ඝාතනය වන්නේ මේ සමයේ දී ය. රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කලාකරුවන්ගේ ඝාතන සිදු වූ සමයක සිනමාව ප්‍රමුඛ සියලු කලා මාධ්‍ය දෙදරා ගිය ස්වභාවයක් දක්නට ලැබුණු බව ගාමිණී තම කෘතියෙන් විමසුමට ලක් කරයි. ජගත් සිනමාවෙහි ද ආසියානු කලාපයේ සිනමාවෙහි ද 80 දශකය සුබදායී නොවූ බව ගාමිණී මේ කෘතිය තුළ දීර්ඝව විමසා ඇති බව පෙනේ. හොං කොං, තායිවාන, කොරියානු හා ජපන් සිනමාවේ අර්බුදකාරී තත්ත්වයන් ද, ඉන්දීය සිනමාව අඩු වැඩි වශයෙන් ප්‍රේක්ෂක අවධානය රැකගනිමින් කලාත්මක චිත්‍රපට බිහි කිරීමේ තතු ද ගාමිණී මෙම කෘතිය මඟින් විමසනු පෙනේ. මීර නයිර්ගේ කුලුඳුල් චිත්‍රපටය සලාම් බොම්බේ කාන් සිනමා උලෙළේ සම්මාන දිනාගැනීම හා අපර්ණා සෙන්, කල්පනා ලජ්මි, ආදී කාන්තා සිනමාකාරියන් පිළිබඳ සඳහන් කිරීමට ගාමිණී අමතක නොකරයි.

1980 දශකයේ දී තිරගත වූ සිංහල භාෂීය චිත්‍රපට 252 ක් පිළිබඳ තොරතුරු සපයන ගාමිණී ඒ අතර නවක සිනමාකරුවන් හැටපස් දෙනෙකුගේ ප්‍රථම නිර්මාණ වූ බව සොයාගනී. ධර්මසිරි බණ්ඩාරනායක, චන්ද්‍රන් රත්නම්, සුනිල්සෝම පීරිස්, පරාක්‍රම නිරිඇල්ල ආදීන් ඒ අතර කැපී පෙනේ. වේදිකාව මේ දශකයේ දී සිනමාවට මහත් අනුබලයක් වූ බව සනාථ කිරීමට වේදිකාවේ දක්ෂ රංගන ශිල්පීන් හා අධ්‍යක්ෂවරුන් රැසකගේම සිනමා ආගමනය පිළිබඳ තොරතුරු සොයා බලන්නට ගාමිණී උත්සුක වී ඇත. සුදත් දේවප්‍රිය, ජැක්සන් ඇන්තනී, ලින්ටන් සේමගේ, නිහාල් ප්‍රනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි ආදීහු ඒ අතර වෙත්. වේදිකාව ජයගත් රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් 80 දශකයේ දී සිනමාවට අවතීර්ණ වීම පිළිබඳ පුළුල් චිත්‍රයක් ඇඳීමට ගාමිණී සමත්ව සිටී. ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, රොජර් සෙනෙවිරත්න, හේමසිරි ලියනගේ, වසන්ත විට්ටච්චි, පාලිත සිල්වා, රොඩ්නි වර්ණකුල, මැල්කම් මචාඩෝ, අජිත් ලොකුගේ, ජනක කුඹුකගේ ඇතුළු බොහෝ නළුවන් ද දේවිකා මිහිරාණි, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, රත්නා ලාලිනී හා ගීතා කාන්ති ජයකොඩි, නිල්මිණි බුවනෙක, මාලී ජයවීරගේ හා තවත් බොහෝ නිළියන් ද ගාමිණී සොයාගත් අසූව දශකයේ වේදිකාවෙන් සිනමාවට පිවිසුණ පිරිස් අතර වෙයි. මේ දශකයේ දී සිංහල සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය මල්දෙණියෙ සිමියොන් චිත්‍රපටය හා 11 වන නව දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී රූපණය වෙනුවෙන් රජත මයුර සම්මානය දිනූ අනෝජා වීරසිංහ නිළිය පිළිබඳ තොරතුර ද අතිශය වැදගත් වේ.

ගාමිණී වේරගම විරචිත දේශීය සිනමා වංශය 80 දශකය හුදු චිත්‍රපට නාමාවලියක් හෝ එකී දශකයේ නිෂ්පාදිත චිත්‍රපට හා සම්බන්ධ කලාකරුවන්ගේ තොරතුරු සැපයෙන ග්‍රන්ථයක් ලෙස කිසිසේත් ම සැලකිය නොහැකිය. ඉන් ඔබ්බට ගිය පර්යේෂකයකුගේ කාර්යභාරයක් ඔහු විසින් ඉටුකොට ඇති බව මේ විසල් ග්‍රන්ථය සනාථ කරයි. එක් එක් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ සම්පූර්ණ තොරතුරු මෙන් ම එක් එක් අධ්‍යක්ෂවරයාගේ කැපී පෙනුණ සාධනීය නිර්මාණාත්මක කුසලතා පිළිබඳ ව ද තොරතුරු ඉදිරිපත් කිරීමට ඔහු පසුබට නොවෙයි. 80 දශකයේ සිනමා වංශකථාව ලිවීමේදී එම වකවානුවේ ආගමනය වූ රූපවාහිනිය සිනමාවට බලපෑ ආකාරය මෙන් ම 80 දශකයේ වේදිකා නාට්‍ය තුළින් බිහිවී සිනමාවට ආගමනය වූ අධ්‍යක්ෂවරුන් මෙන්ම නළු නිළියන් පිළිබඳව ද තොරතුරු ඉදිරිපත් කොට ඇත්තේ මෙම කෘතිය හුදු චිත්‍රපට නාමාවලියක් නොවන බව සනාථ කරමිනි.

වේදිකාවෙන් සිනමාවට පැමිණි අධ්‍යක්ෂවරුන් අතර හමු වූ සුදත් දේවප්‍රිය, ජැක්සන් ඇන්තනී, ජේ. සිවගුරුනාදන්, ලින්ටන් සේමගේ, ජයන්ත චන්ද්‍රසිරි මෙවැනි කෘතියක ඇතුළත් විය යුතු නම් ගම් කිහිපයකි. වේදිකාව ජයගෙන සිනමාව රූපණයට එක්වී පසුව අධ්‍යක්ෂණයට බට කලාකරුවන් පිළිබඳ තතු පවසන්නට ගාමිණී පසුබට නොවේ. සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, සුගත් සමරකෝන් හා තවත් කිහිප දෙනෙකු වූ බව සඳහන් ය. අසූව දශකය තුළ කලාවක් ලෙස හා කර්මාන්තයක් ලෙස සිනමාවට හිමි වූ තත්ත්වය පිළිබඳ තොරතුරු සැපයෙන්නේ චිත්‍රපට නාමාවලිය තුළින් නොව සම්පාදක ගාමිණී වේරගමගේ ඉසියුම් නිරීක්ෂණ මඟිනි. 80 දශකය තුළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට නාමාවලිය මඟින් එම වකවානුවේ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව පිළිබඳ තක්සේරුවකට ළං විය හැකිය. බිත්ති හතර, පාර දිගේ වැනි චිත්‍රපට අඩු ආදායම් ලැබූ බවත්, මුවන් පැලැස්ස, ගඟ අද්දර, සාගරයක් මැද, දඩයම වැනි චිත්‍රපට ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නට අයත් වන බවත් වේරගමගේ නිරීක්ෂණ පවසයි.

දශකය තුළ මෙරට සිනමාව තුළ සිදු වූ විවිධ සංසිද්ධීන් පිළිබඳ මේ කෘතියේ ඇතුළත් වන්නේ දශකයක සිනමා කෘති බිහිවීමේ පසුබිම පිළිබඳ අධ්‍යයනය කරන සිනමාලෝලියකුගේ හෝ විද්‍යාර්ථියකුගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමිනි. මේ දශකය තුළ චිත්‍රපට සංස්ථාව හා සිනමාකරුවන්, නළු නිළියන් හා අනෙකුත් කාර්මික ශිල්පීන් අතර පැවැති සම්බන්ධය, රජය මෙරට සිනමාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග, ජනාධිපති පරීක්ෂණ කමිටු වාර්තාවන්ට අත්වූ ඉරණම කෘතිය සම්පාදකගේ නිරීක්ෂණ තුළ වේ. දශකය තුළ එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ සිනමාකරුවන්ගේ තොරතුරු මෙන් ම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා ලෙස පරාක්‍රම නිරිඇල්ල හඳුනා ගනී. දෙමළ භාෂීය චිත්‍රපට, ඉන්දීය හා පකිස්තානු හවුල් නිෂ්පාදන මෙන්ම දෙමළ භාෂාවට හඬකැවූ සිංහල චිත්‍රපට පිළිබඳව ද දුර්ලභ තොරතුරු ඇතුළත් මේ කෘතිය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය අධ්‍යයනය කරන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන් විසින් පරිශීලනය කළ යුතු කෘතියක් ලෙස දකිමි.

බුද්ධ­දාස ගල­ප්පත්ති

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division