බ්‍රිතාන්‍යයන් විසින් මුරිසි දිවයිනට පිටුවහල් කළ ඇහැළේපොල අදිකාරම් තෙමේ සැඳෑ සක්මනේ යෙදෙමින් සිටියේය. ඒ අතරේ දෙඅත පිටුපසට බැඳ, බිමට නැමුණු හිසින් යුත් ඉරියව්වෙන් හෙතෙම යමක් සොයන ආකාරය, ප්‍රංශ ජාතික රැකවලා දුටුවේය. උපහාසයට මෙන් රැකවලා අසන ලද්දේ “ඇයි අදිකාරම් නැතිවූ යමක් සොයනවාද?” කියාය. “ ඔව් මිත්‍රයා මම සොයන්නේ අපට නැතිවුණු සිංහලේ අභිමානයය” කියා අදිකාරම් තෙමේ පිළිතුරු දුන්නේය. අහිමි වන්නට පෙර එවන් දෑ ජනයාට අගයක් නැත්තේය.
ආර්ථික අර්බුද පිරී ගිය රටක පරමාධිපත්‍ය කුමකට ද යනාදී ප්‍රශ්න සමහර වියත් ජනයා පවා අසන හෙයින් සාමාන්‍ය ජනයා ඒවා මත්තේ නහින්නට යන්නේ නැත.
මේ මාතෘකාව සදහා අද සිළුමිණ යොමු වන්නේ පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රකාශයක් ද නිමිති කරගෙනය.
හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු ‘ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය’ විවෘත කරමින්, ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ “ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුන” බවයි.
ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සෝදා පාළුවට ගිය රට, ඇස් පනාපිට නැගිටින බව සැබෑය. ජනතාව තවම දුෂ්කරතා පලවා හැර ‘සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නැත්තේය. ‘උන්න හැටියට මළා මදැයි’ කියන තත්ත්වයෙන් ඉදිරියට මේ රට පත් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ නායකත්වයේ ප්‍රතිපලයක් ලෙස මිස අන් ආශ්චර්යයක් මත නොවේ. “මරණාසන්න රෝගියා ක්‍රමයෙන් සුවය ලබන්නේ“ එම නායකත්වය යටතේය. එහෙම පවතින රටකට ව්‍යවස්ථාවේ මුලික කරුණු කුමකටදැයි ඇසිය හැක්කේය.
ඇහැළේපොල අදිකාරම්හට අභිමානයේ අගය දැනුණේ සිරගත කර සිටින විටය. උඩරට රදළ පැලැන්තිය සහ රජු අතර අරගලය ඇතිවෙන සමයේ, මෙහෙම වින්නැහියක් ඒ භේදය විසින් ජනිත කරන්නේ යැයි සිතුවේ නම්, අදිකාරම් තෙමේ අභිමානය සොයන්නේ නැත.
වත්මන් තත්ත්වය ද ඒ හා සමානය. බංකොලොත් රටක් ලෙස හිටපු ජනාධිපතිවරයා වරායේ පස්ස දොරෙන් රටෙන් පැන යන විට දේශපාලනයෙන් ද මේ රට අන්ත අසරණව සිටියේය. රටේ නායකත්වය ඉල්ලා, ජනතාවගෙන් වරම ඉල්ලා සිටින සියලු දෙනා ‘මේ ගිනි හට්ටිය’අප අල්ලන්නේ කුමකටදැයි පැත්තකට වූයේ, මෙවන් කරුමයකට කර ගසා, තම දේශපාලන අනාගතය අඳුරු කරගන්නේ ඇයි දැයි සිතමිනි. “අනෙක් නායකයන් ධාවන සපත්තු සොයද්දී මම සෙරෙප්පු දාගෙන ගොස් ආණ්ඩුව භාරගත්තා.” යැයි ජනාධිපතිවරයා, රුවන්වැල්ලේදී ප්‍රකාශ කළේ, ඒ මොහොත පිළිබඳවය. රටේ ඉරණම රැඳී තිබුණේ සුමට ධාවන පථයක, තරගයක් ලෙස නොවේ. බැසීමට පිට්ටනියක් ද නොමැති බව සියලු දෙනා දැන උන්නෝය. ගල කරෙන් තබන්නේ නම් ඔසවමි යන අන්දරේගේ න්‍යාය පරිදි, මේ ධාවන පථයේ තරගය සඳහා අවස්ථා ආදිය පිරික්සමින්, කොන්දේසි ආදිය දමමින්, අනෙක් සියලු නායකයෝ “ ධාවන සපත්තු “ සෙවූහ. ළඟ තිබූ සෙරෙප්පු දෙක දමාගෙන පිටියට බසින ලද නායකයා ‘ගිනි හට්ටිය’ සිසිල් කර ඇති ප්‍රමාණය මැන ගැනීම සඳහා මුල්‍ය අරමුදල අප පිළිබඳව සඳහන් කර ඇති ප්‍රගති සමාලෝචනය කියැවීම ප්රමාණවත්ය.
ඒ සඳහා ඔහු අත තිබුණේ මූලධර්ම තුනකි. ‘ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව’ යන එම න්‍යාය තුන අනුව හෙතෙම මේ රටේ ජනයා පළමුව දුෂ්කරතාවෙන් මුදා ගත්තේය. ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය වන්නේ කාරණා තුනක් මගිනි. පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය යන එම තෙයාකාරයම බිඳ වැටී තිබූ හෙයින් ඒවා නඟා සිටුවීම සඳහා ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ඉන්ධන, ගෑස්, විදුලිය අහිමි ජනයා වෙත ඔවුන්ගේ ජිවත් වීමේ අයිතිය සහතික කරන්නේ ඒ අනුවය. ආර්ථික වශයෙන් බංකොලොත් රට, ආර්ථික වර්ධන වේගයක් ඇති දේශයක් බවට පත් කරන්නේ එම මූලික අයිතිවාසිකම් බලවත් කිරීම පිණිසය.
එක්වර යමෙක් දකිනු ඇත්තේ ‘පෝලිම් යුගය’ නිමා වූ බව පමණය. නැතහොත් ආර්ථිකය යළි නැඟී සිටින බවය. මේ නැඟී සිටින්නේ අභිමානවත් දේශය බව අප තේරුම් ගත යුත්තේය. ව්‍යවස්ථාවෙන් සහතික වූ පරමාධිපත්‍ය බිඳ වැටුණු කල්හි බංකොලොත් වන්නේ සමස්ත රාජ්‍යයයි. රාජ්‍යය ගරා වැටුණු කළ යළි නඟා සිටුවිය නොහැක්කේය. ඒ සඳහා ආපසු හැරීමක් නැත. සමස්ත සමාජයම ගෝත්‍රික රටාවක් සඳහා ඇදී යනවා ඇත. මේ මේ රටට දැන් අවශ්‍යව ඇත්තේ න්‍යාය පත්රයකි. සභාවේ වැඩ කටයුතු කළ හැකි ආකාරයට ශාලාව සකසා තිබේ. අත්දැකීම් බහුල, අප්‍රතිහත දිරිය ඇති, සත්‍යය නීරස වුව ද සත්‍යම ප්‍රකාශ කරන සභාපතිවරයෙක් මුලසුනේ ඇත. එතැන් සිට ඉදිරියට යෑම සදහා න්‍යාය පත්‍රය වන්නේ ‘ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව’ යන කාරණා බව සභාපතිවරයා රටට පැහැදිලි කර තිබේ. ඒ මාර්ගයේ ඉදිරියට යෑම සඳහා සමාජයක් ලෙස සුදානම් විය යුත්තේ, ඊළඟ දශකයේ අපේ කතාව ගොඩනැඟෙන්නේ ඒ මත්තේ වන බැවිනි.