මෙතුවක් වේලා සිත්තර කලාගාරය තුළ පැවැති අපූරු නිහැඬියාව එක්වරම බිඳී ගියේය. ඒ එහි වූ යාන්ත්‍රික දොර ඉතාමත් සියුම් සද්දක් සහිතව විවෘත කරමින් ඇතුළට ආ දඟකාර යුවතිය නිසාය.
උස හීන්දෑරි යුවතිය ආ විලාසයෙන්ම කලාගාරය තුළ මෙතුවක් වේලා නිහඬවම නිශ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩනයක නිර්මාණය කරමින් හුන් සෑම තරුණ සිසු සිසුවියකගේම දැහැන බිඳ වැටුණාක් මෙනි. ඔවුන් සියලු දෙනාගේම ඇස් ඇය වෙතට ඇදුණේ නිතැතිනි.
ඇඟට ඇලුණාක් බඳුවූ දිග ඩෙනිම් කලිසම ද අත් කොටට කපා තිබුණ අමුතු තාලයේ උඩ ඇඳුම ද ඇයට ගෙන ආවේ අපූර්ව සුන්දරත්වයකි. එහෙත් ඒ සියල්ල පරදවන ආකර්ෂණයක් දක්නට තිබුණේ ඇගේ දෑසේය.
ඇය නළියන සුළු හීන් දිගටි දෑසකට උරුමකම් කියන්නියක් වූවාය. එහෙයින් ඇය කටින් කතා කරනවාට වැඩියෙන් දෑසින් කතා කරන ප්‍රමාණය වැඩියැයි කලාගාරයේ සිටි බොහෝ දෙනා අතර හීන් කසුකුසුවක් ඇති වූයේ ඇය කලාගාරයට පය ගැසූ මුල්ම දා පටන්ය. ඒ කොයික වුණත් ඇගේ දඟකාරී බව මුසු කෝල හැසිරීම ද බොහෝ දෙනාගේ හිතට අල්ලා තිබූ අයුරක් පෙනෙන්නට තිබිණි. එහෙත් ඔවුන් එකිනෙකාට හොරෙන් එදෙස බලා සිටියා විනා එක් කෙනකු හෝ ඒ ගැන වචනයක්වත් නොදොඩා සිටින්නට තරම් පරෙස්සම් විය.
හීන් දෑස තවත් හීන් කරමින් කලාගාරය තුළට ආ දඟකාර යුවතිය “සමාවන්න” කියන්නාක් බඳුව ඇගේ ගුරුතුමිය දෙස බලා යන්තමින් හිස නවා ඇයට සුපුරුදු ස්ථානයේ වාඩිවී චිත්‍ර ඇඳීමට වුවමනා ආම්පන්න එළියට ගන්නට වූවාය.
“අද අප කරන්නේ නිශ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩනයක් පිටපත් කරන්නයි…”
වයස්ගත ගුරුතුමිය ඇය දෙස බලා කීවේ ඇගේ ප්‍රමාදය ගැන කිසියම් නොරිස්සුම් සහගත බවක් ද පෙන්වමිනි. “මේකෙදි අපි අඳුරත් ආලෝකයත් ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනෑ…”
මීට අවුරුදු සියයකට පමණ එපිට සේදිරිස් සිත්තර ගුරුන්නාන්සේ නම් කලාකාරයකු මේ කලාගාරය පටන් ගත්තේ නවීන විද්‍යාවත් පැරැණි සංස්කෘතියත් යා කෙරෙන පාලමක් ලෙසිනි. පැන්සල් ද පින්සල් ද කැන්වස් රෙදි ද ඇතුළුව ආදී කාලයේ චිත්‍ර ශිල්පයට යොදා ගත් බොහෝමයක් දේ භාවිත කෙරෙමින් මේ වනවිට ලෝකයේ පවත්වාගෙන යන අවසන් සිත්තර කලාගාරය මෙයයි. ඒ වාගේම එවකට ලෝකයේ තිබුණේ යැයි සැලකෙන පැරැණි ලෙන් විහාර සිතුවම්, බිතු සිතුවම් සමඟ එවකට ඉන්දියාවේ සුප්‍රසිද්ධ අජන්තාවේ සිතුවම් සංරක්ෂණය කෙරෙන්නේ ද කාලාන්තරයක් තිස්සේ ලෝකයේ නම් දරා සිටි චිත්‍ර ශිල්පීන් හැම දෙනාගේම වාගේ නිර්මාණ ඇත්තේ ද මෙහිය.
එසේම මීට බොහෝ කාලාන්තරයකට කලින් මුළු ලෝකයෙන්ම අතුගෑවී ගිය චිත්‍ර සමඟ දෙබස් ද ඇතුළත්ව නිර්මාණය කෙරුණු චිත්‍ර කතා නම් සාහිත්‍යමය විශේෂාංගයේ “නෂ්ටාවශේෂ” කීපයක් දැක ගන්නටවත් ඉතිරිව ඇත්තේ ද මෙම කලාගාරයේය.
ඒ මොනවා වුණත් දැන් මෙම කලාගාරයේ අයිතිකරුවා සේදිරිස් සිත්තර ගුරුන්නාන්සේගේ එකම දියණිය වූ නර්මදාය. උපන් දා පටන් මෙන් සිය ආත්මයට බද්ධ වී උරුම වුණ චිත්‍ර කර්මාන්තය තවදුරටත් යන්තමින් හෝ රැක ගැනීම සිත්තර ගුරුන්නාන්සේගේ දියණියගේ ද එකම පරමාර්ථය විය. නවීන තාක්ෂණයත් සමඟ හරි හරියට පරිණාමය නොවීමෙන් ද බොහෝ කලක් තිස්සේ චිත්‍ර යනු කිසි කමකට නැති කලාවක්ය යන අදහසක් මිනිස් සිතට කාවැද්ද වීමෙන් ද තවදුරක් යා ගත නොහැකිව අභාවයට යමින් පවතින චිත්‍ර කලාවට යන්තමින් හෝ පණ දෙමින් තවත් පුංචි කාලයකටවත් ජීවය දීමට ඇය ඉටාගෙන උන්නාය.
සිය ජීවිත කාලයේ අන්තිම භාගයේත් අන්තිම හරියට ළංව සිටින ඇය මීට වසර ගණනාවකට පෙරාතුව මුල්ම වතාවට සිය පියාගේ ඇඟිල්ලේ එල්ලී මෙම කලාගාරයට එද්දී අපූරු සුන්දරත්වයක් විඳ ගත්තාය. මෙම අපූරු කලාගාරය ඉදිකර තිබුණේ එතැනට එන සෑම සියලු කෙනකුට තමන් සිටිනා පරිසරයේ සෑම අගක් කොනක්ම ඇහැට පෙනෙන අයුරින් යෝධ විදුරු වෘත්තයක් ලෙසිනි. මෙය ඉදි කළ මුල් කාලයේ ගස් කොළන් සතා සීපාවා පවා දැක ගත හැකි වුවද අද වනවිට එහි සතර කොනෙන්ම පෙනෙන්නේ කලාගාරයටත් උඩින් පිපුණ බිම්මල් බඳු නා නා ප්‍රකාර ගොඩනැඟිලි යායකි.
ලෝක උරුමයක් ලෙසින් ද නම් කර ඇති මෙම කලාගාරයේ චිත්‍ර ශිල්පය හැදෑරීමට එන අතළොස්සක් වූ තරුණ සිසු සිසුවියෝ එක්තරා කාලයක අයිස්ලන්තයේ ඉග්ලු නම් ගෙවල්වල කොටුවී සිටි ජනයා මෙන් නොවූහ. මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා තම තමන් විසින්ම නිර්මාණය කරගත් හුදෙකලා සංස්කෘතියකට කොටුවී සිටියත් කලාගාරයේ සිටි සෑම දෙනාම වාගේ එසේ නොවූහ. ඔවුහු බාහිර ලෝකයත් සමඟ ළඟින් ඇසුරු කරන්නෝ වූහ. අනුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගන්නට උත්සාහ කළෝය.
එබැවින් සෑම දෙනාම වාගේ ඔවුන්ට පුංචි නිදහසක් ඉඩකඩක් ලැබුණු සෑම විටෙකදීම වාගේ එකිනෙකා සමඟ කතා බහ කරන්නටත් විහිළු තහළු කරන්නටත් පෙලැඹී සිටියහ. මේ බොහෝ කතා බහට එකතු වුණ අලුත්ම මාතෘකාව බවට අලුත් සිසුවිය පත් වූයේ නිරායාසයෙනි. මේ නිසාම ඇය සෙස්සන් අතර නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක් වූවාය. ඇයගේ දඟකාර නළියන ඇස් දෙක නිසාම ඇය ‘මොනාලිසා” නම් මීට අවුරුදු සිය ගණනකට පෙර ලෝක ප්‍රසිද්ධව තිබූ සිතුවමේ නමින් හැඳින්වූවාය. නර්මදා ගුරුතුමිය නොවන්නට කලාගාරයේ සිටි කිසිවකු හෝ මොනාලිසා සිතුවම ගැන ද නොදන්නවාට කිසිම සැකයක් නොවිණි. ඒ කොහොම මොනවා වුණත් දඟකාර සිසුවිය ද සෙස්සන් සමඟ කොහෙත්ම ඇඟෑලුම් පාන්නට නොගියාය. එහෙත් ඇය අතීත පුරාවෘත්තවල සඳහන් වලව්වල ළමාතැනීලා මෙන් ආඩම්බරකාරියක් නොවූවාය. අනෙක් අතට ඇය කලාගාරයේ සිසුවියක වූයේ වැඩි ඈතකදී නොවුණ හෙයින් ද අනෙක් අතට ඇය කාගේ කවුරුන්දැයි හරි හමන් තොරතුරක් නොලැබී ඒ ගැන කට කතා පැතිර යාමෙන් ද ඇය කෙරෙහි සෙස්සන්ගේ වැඩි අවධානයකට ලක්වූ බවක් ද පෙනෙන්නට තිබිණි.
එක්තරා කාලයක මේ ලෝකයට විශාල මෙහෙවරක් කළා යැයි සැලකුණු සමාජ ශාලා වෙබ් අඩවි ද මුහුණුපොත ද දැන් මේ වනවිට විශ්වාස කළ නොහැකි තාක්ෂණික මෙවලම් බවට පත්ව තිබුණෙන් ඇය ගැන හරිහමන් තොරතුරක් සොයා ගැනීම ද කොහෙත්ම ලේසි පහසු නොවීය.
අලුතෙන් තම සිත්තර කලාගාරයට එක්වූ සිසුවිය ගැන නර්මදා ගුරුතුමියට ද එතරම් වැඩි මනාපයක් නොවුණාක් මෙනි. ඇය ද දිගින් දිගටම අලුත් සිසුවිය ගැන ඇස ගසාගෙන උන්නාය.
අලුත් සිසුවියගේ හැඩකාරකම තරමට ඇගේ කිසිම නිර්මාණශීලිත්වයක් දක්නට නොවිණි. එහෙත් ඇය යම් යම් අංශවලින් හොඳටම දස්කම් පෑවාය. ඇයත් සමඟ සිටින කණ්ඩායම චිත්‍ර ශිල්පය ඉගෙනගන්නට ආ අලුත්ම කණ්ඩායමක් වීයෙන් තව තවත් බොහෝ දෑ ඔවුන්ට ඉගෙන ගැනීමට සිදුවී තිබිණි.
කාලය ටිකින් ටික ගෙවී ගියේය. කලාගාරයේ සිසු සිසුවියනට එන්න එන්නම වැඩ වැඩි වෙන්නට විය. එහෙත් ඒවා බොහොමයක්ම සරල නිර්මාණාත්මක දේවල් වීයෙන් ඔවුනට බොහෝ විට මොළය වෙහෙසවා වැඩ කළ යුතු නොවීය. ඇතැම් විටෙක ඔවුනට ලැබුණ නිර්මාණය පාරක තොටක දකින දෙයක් ප්‍රති නිර්මාණය කිරීමය. නැත්නම් ජාන තාක්ෂණය මඟින් මේ වනවිට අලුතින් නිපදවා ඇති සුන්දර සතකුගේ රූපයක් ඇඳීමය. එහෙමත් නැත්නම් නවීණ තාක්ෂණය මඟින් වැඩි දියුණු කර ඇති පැරැණි යෝද ගසක් පිටපත් කිරීමය. මේ හැම දෙයකදීම දැන් දැන් අලුත් සිසුවිය ඉදිරියෙන් සිටින්නීය. ඇය දැන් සෙස්සන් අතර හොඳින්ම කැපී පෙනෙන සිසුවියයි.
“අපි මෙච්චර කාලයක් ඇන්දේ වටපිටාවෙ අපට ඇහැට පේන්න කනට ඇහෙන්න තියෙන දේවලින් කෙරුණ නිර්මාණ විතරයි. හෙට ඉඳන් අපි භාවාත්මක සිතුවම් කලාව ගැන අවධානය යොමු කරන්න ඕනෑ…” නර්මදා ගුරුතුමිය කටහඬ අවදි කළාය. “භාවාත්මක චිත්‍රයක් කියන්නේ… අපේ හැඟීම් උද්දීපනය කෙරෙන විදියේ කිසියම් නිර්මාණයක්… සැබෑ මනුෂ්‍ය හදවතක් තිබෙන කෙනකුට සැබෑ රසයක් වගේම ජීවිතයට කිසියම් අර්ථයක් එක් කෙරෙන දෙයක්…”
ගුරුතුමියගේ මේ දේශනාවෙන් පසු ඇය කලාගාරයට ආවේ එක් දිනකි. එදා ද ඇය සිටියේ අන් කවරදාකවත් නොවූ විරූ අයුරින් හොඳටම බිය පත්වය. වෙනදා ඈ කෙරෙන් දිස්වුණ කෙළිලොල් බව ද දෑසේ දක්නට ලැබුණ නළියන සුලු බව ද පෙනෙන මානයකවත් දක්නට නොවිණි. ඒ මොනවා වුණත් යළි කෙදිනක හෝ දඟකාර සිසුවිය කලාගාරයට නොආවාය. ඇය ගැන සෙසු සිසු සිසුවියන් අතර යළි යළිත් නොයෙකුත් කයි කතාන්දර ඇතිවිය. ඒ කතාන්දර මොනවා වුණත් දඟකාර සිසුවිය යළිදු කිසිදාක ඔවුන්ගේ දෑස්වලට නොපෙනුණාය. ඇයට සිදු වූ දෙයක් දැන ගැනීමට ද නොහැකි විය. කාලය තව තවත් ඉදිරියට යද්දී ඔවුන්ගේ මතකයෙන් ද ඇය සමුගෙන සිටියාය.
මේ අතර එක් දිනක් කලාගාරයට අමුත්තෙක් ආවේය. තරමක් වියපත් එහෙත් කඩිසර බව තවමත් ගිලිහී නොගිය හෙතෙම නර්මදා ගුරුතුමිය ළඟට ආවේ බොහෝ ආචාර පූර්වකව ගෞරව සම්පන්න අයුරෙනි.
“සමාවන්න… මම මහාචාර්ය පරණමානගේ… අර මේ කලාගාරයට ආව අලුත් සිසුවියගේ භාරකාරයා… අර මොනාලිසා කියලා කවුරු කවුරුත් කතාවුණ කෙනා ගෙ…”
“ආ… ප්‍රොෆෙසර් පරණමානගේ… අර ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා… ඇය… ඔබතුමා අර ළමයාගේ භාරකරයා කිව්වේ…? ඇයි ළමයට අම්මලා තාත්තල නැද්ද…?”
“ඇත්තම කියන්න මම තමයි ඒ ළමයගේ තාත්තා… ඒත් එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා…”
“ප්‍රශ්නයක්…?”
“ඔව්… සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් කිව්වාම හිතන්නේ අර ලේ සම් මස් ඇටවලින් ජානවලින් සම්බන්ධ පිය පදවියක් කියලනේ… ඒත් මගේ අර දුව එහෙම කෙනෙක් නෙමෙයි… එයා මතුපිටින් මිනිස් රූපයක් වගේ පෙනෙන රොබෝවෙක් විතරයි… එයා කොටින්ම කෘත්‍රිම මිනිස් නිර්මාණයක් විතරයි…”
“ආ… හැබැයි ඒක මට නිකමට වගේ හිතුණා… ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා…”
“ඒ මොකක්ද…?”
“ඇයි ඒ වගේ කෙනෙක් මගේ මේ කලාගාරයට චිත්‍ර අඳින්න එව්වේ…?”
“ඔබතුමියට කියන්න මම එයාව මෙතැනට එවලා කළේ ලොකු පරීක්ෂණයක්…”
“පරීක්ෂණයක්….?”
“ඔව්… ඒක ඔබතුමියටත් වැදගත් දෙයක්…”
“වැදගත් දෙයක්…? මොකක්ද ඒක….?”
“ඔව්… මමත් බැලුවේ මේ දිගින් දිගටම මිනිසුන්ගෙන් ඈත්වෙලා යන චිත්‍ර කලාව තවදුරටත් රැක ගන්න පුළුවන්ද කියලයි… ඇත්තම කියන්න ඔබතුමිය නොහිටින්න දැන් මේ වෙනකොටත් මුළු චිත්‍ර කලාව අතු ගෑවිලා ගිහින්නේ…”
“චිත්‍ර කලාව රැකගන්න….? ඒක නම් හොඳටම හොඳ අදහසක්…” “ඔව්… කොටින්ම මම කළේ චිත්‍ර කලාවයි විද්‍යාවයි යා කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් එකක්? දැන් තියන තත්ත්වයත් එක්ක බලපුවාම කරන්න තියෙන්නේ එච්චරයි… අද නවීන තාක්ෂණයත් එක්ක කලාව කියන දේ යටපත් වෙලා ගිහින්…”
“විද්‍යාවයි චිත්‍ර කලාවයි යා කරන්න පුළුවන් බොහෝම සීමිත තැනකදී විතරයි… භෞතිකව යාවුණා වගේ පෙනුණත් යා වෙන්නේ බොහෝම සීමිත අවස්ථාවකදී විතරයි… එකක් තමයි අපට පුළුවන් මේකට භාවිත කරන්න පින්සල පෑන සායම් වගේ සම්ප්‍රදායික ආම්පන්න වෙනුවට වෙනත් ලේසි පහසු විදියට දේවල් පාවිච්චි කරන්න… ඒ වගේම අපට පුළුවන් දැනට මේකට පාවිච්චි කරන කැන්වසය කඩදාසිය වගේ දේවල් වෙනුවට වෙනත් විදියේ තාක්ෂණික මෙවලම් යොදාගන්න… එයින් එකක් තමයි ඩිජිටල් ක්‍රම වගේ තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගන්න… ඒත් මේ මොනවා යොදා ගත්තත් සැබැ නිර්මාණයක් බිහිවෙන්නේ නෑ…”
“සැබෑ නිර්මාණයක් බිහිවෙන්නේ නෑ…?”
“ඔව් දැන් ඔබතුමා අර රොබෝ දුවට හැදුවා වගේ චිත්‍ර ශිල්පයේ හැම දත්තයක්ම… නිර්මාණයක්ම කවලා හැදුවත් කවදාවත් සැබෑ ශිල්පියෙක්වත් සැබෑ නිර්මාණයක්වත් බිහිවෙන්නේ නෑ…. සිද්ධ වෙන්න පුළුවන් කවුරුන් හරි අනුකරණය කිරීමක් හරි එහෙමත් නැත්නම් අමු අමුවෙ කොපි කිරීමක් හරි විතරයි… ඇත්තෙන්ම ඔබතුමාගේ දුව ඇන්ද චිත්‍ර දැක්ක ගමන්ම මට හිතුණා මේවා කොතැනක හරි තිබුණ දේවල් මතු වෙලා තිබෙනවා මිසක එයාගේ හදවතින්ම එන නිර්මාණාත්මක දේවල් නෙමෙයි කියලා.”
“ඒ කොහොමද එහෙම වෙන්නේ…? නවීන තාක්ෂණය භාවිතයෙන් සමහර වෙලාවට අපි කිසිදා නොදැක්ක අපූරු නිර්මාණ බිහි කරන්න පුළුවන්…”
“ඒක ඇත්ත වෙන්න පුළුවන්… යාවෙලා වගේ පෙනුනත් ඒක හරියට අර හැන්දෑ යාමෙට ක්ෂිතිජයේදී ඉර මුහුදෙ ගිලෙනවා වගේ පෙනෙන දෙයක්… ඒත් සැබෑ නිර්මාණයක් බිහිවෙන්නේ චිත්‍ර ශිල්පියාගේ ආධ්‍යාත්මයත් එක්ක බැඳිලයි. චිත්‍ර ශිල්පය විතරක් නෙමෙයි සංගීතය කලාව නැටුම් වගේ අනෙක් කලාත්මක දේවලුත් එහෙමයි… ශිල්පියාගේ ආධ්‍යාත්මයත් එක්න නොබැඳෙන තාක් කවදාවත් සැබෑ නිර්මාණයක් බිහිවෙන්නේ නෑ… චිත්‍ර ශිල්පියෙක් පුංචි ඉරි කෑල්ලක් ගහන්නෙත් සංගීතඥයෙක් පුංචි සංගීත කණ්ඩයක් නිර්මාණය කරන්නේත් ඒ ශිල්පියාගේ මුළු හදවතින්ම එන බැඳීමත් එක්කයි… කවද හරි දවසක චිත්‍ර හරි වෙන මොනයම් හරි කලාවක් හරි නංවනවා නම් කරන්න තියෙන්නේ එක දෙයයි.”
“ඒ මොකක්ද…?”
අපේ මේ ලෝකෙ මිනිසුන්ගේ හදවත්වල ආධ්‍යාත්මික දියුණුව ඇති කරල මිනිස්කම කියන්නේ මොකක්ද කියල තේරුම් කරල දෙන එක විතරයි…”
“ඒ කියන්නේ කවදාවත් විද්‍යාවයි කලාවයි යාවෙන්නේ නෑ කියන එකද…?”
මහාචාර්ය පරණමානගේ පැනයට නර්මදා ගුරුතුමිය ටික වේලාවක් යනතුරු ඔහුගේ මුහුණ බලා උන්නා මිස කිසිදු පිළිතුරක් නොදුන්නාය.
“අද හෙටම නොවුණත් තවත් අවුරුදු සිය ගණනකින් හරි කවදහරි දවසක කලාව වගේම විද්‍යාවත් රැක ගන්න ලොකු සටනක් කරන්න වෙන දවසක් එනවා… එදාට මිනිසුන්ට තේරුම් කරල දෙන්න වෙන්නේත් එකම එක දෙයයි.. ප්‍රොපෙසර්”
“ඒ මොකක්ද….?”
“ඒකත් අර මම මුලින්ම කිව්ව දේම තමයි….”
“ඒ කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරල මිනිස්කම මොකක්ද කියන එක තේරුම් කරල දෙන එක විතරයි…”
උපුල් වික්‍රමනායක