දිනවල පවතින අධික වැසි හේතුවෙන් ඇති වී තිබෙන පාරිසරික තත්ත්ව සංකීර්ණය. තෙත් සහිත සීතල ස්වරූපයක ඇති මේ පාරිසරික තත්ත්වය නිසා පාචනය, උණ සන්නිපාතය, මී උණ, ඩෙංගු වැනි වසංගත රෝග සේම හා වාතය කෝප වීමෙන් ඇති වන ඇදුම, පීනස, කැස්ස වැනි රෝගද ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව තිබේ.
ඇදුම වැනි කාලයක් පුරා නිදන්ගතව තිබෙන රෝගයකින් පෙළෙන අයට මෙම කාලයේදී එම රෝග උත්සන්න වීමේ ඉඩකඩ වැඩිය.
ඇදුම රෝගය පිළිබඳ ආයුර්වේද හඳුනා ගැනීම
සාමාන්‍ය ව්‍යවහාරයේ ඇදුම ලෙස හඳුනාගන්නා රෝග තත්ත්වය දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මුහ රෝගය, ඊලය, ඉලප්පුව ලෙස ද බටහිර වෛද්‍ය විද්‍යාවේ Bronchial Asthma ලෙස ද ආයුර්වේද වෛද්‍ය ව්‍යවහාරයේ තමක ශ්වාස නමින් ද හැඳින්වේ.
‘තමක‘ යන සංස්කෘත වචනයෙහි අර්ථය ‘අඳුර‘ යන්නය. මෙම රෝගය ඉතා උත්සන්න වී ස්වසනය ඉතා අපහසු වූ විට රෝගියා අඳුරට වැටුණු ගතියක් ඔහුට දැනේ. එවිට රෝගියා එක්තරා විදිහට ත්‍රාසයට පත් වේ. ඇදුම රෝගයට ආයුර්වේදයේ තමක ශ්වාස ලෙස හැඳින්වෙන්නේ ඒ අර්ථයෙනි.
ස්වසන පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා මේ රෝග තත්ත්වයේදී සිදු වන්නේ ස්වසන පද්ධතියට අයිතිවන ශ්වාස නාලිකා අභ්‍යන්තරයේ තිබෙන සියුම් සෙන් සිවිය ප්‍රදාහිත වී ඉදිමීමයි. ඒ නිසා ඇති වන ශ්‍රාව නොහොත් සෙමවලින් ශ්වාස නාලිකා විවර අවහිර වෙන අතර, එම ශ්වාස නාලිකා නිර්මාණය වී තිබෙන සියුම් මාංශ පේශීන් සංකෝචනය වී එම නාලිකා විවරය තවදුරටත් පටුවීම සිදු වේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇදුම රෝගියාට ආශ්වාස සහ ප්‍රාශ්වාස අසීරු වීමය. විශේෂයෙන්ම ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය සිදුවන්නේ ඉතා ආයාසයෙනි.
ආයුර්වේද විග්‍රහයේදී ශරීරයේ විවිධ අවයව සහ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය මෙහෙයවන යම් ශක්ති ප්‍රභව පහක් පිළිබඳ පෙන්වා දෙයි. ඒවා වායු ශක්ති ප්‍රභවය වෙයි. එම ශක්ති ප්‍රභව 05 නම්,
1. ප්‍රාණ වායුව
2. උදාන වායුව
3. ව්‍යාන වායුව
4. අපාණ වායුව
5. සමාන වායුව ය.
මෙම වායු ප්‍රභේද පහෙන් ප්‍රාණ වායුව හිසෙහි පිහිටමින් ගෙල සහ උරස ප්‍රදේශයේ සියලුම ක්‍රියාවලි පාලනය කරයි. අශ්වාසය සහ ප්‍රාශ්වාසය මෙහෙය වන්නේ ද මෙම ප්‍රාණ වායුවය. ඇදුම රෝගයේදී සිදු වන්නේ සෙම වර්ධනය වීමට තුඩු දෙන හේතු නිසා සෙම කෝප වීමෙන් සහ වාතය වර්ධනය වීම නිසා වාතය කෝප වීමෙන් ද ප්‍රාණ වායුවේ ක්‍රියාකාරීත්වය අවහිර කිරීමය.
මුල්වරට ඇදුම රෝගය වැලඳුණු අවස්ථාවල බොහෝ විට රෝගය මතුවන්නේ රාත්‍රී කාලයේ දී ය. කල්ගතවෙත්ම ඇදුම ඇතිකරවන හේතු කාරක සුලභ වී දවසේ ඕනෑම වෙලාවක ඇදුම රෝගය ඇති විය හැක. මෙම රෝගයට වයස් භේදයක් නැත. ළමා කාලයේ සිට මහලු විය දක්වාම ඕනෑම අවධියක දී ඇති විය හැකිය.
මෙම රෝගය වැලඳීමට හේතු බොහෝමයක් ආයුර්වේදයේ දී විග්‍රහ කෙරේ. එම හේතු කාණ්ඩ වශයෙන් වෙන් කළොත්
1. ආහාරමය හේතු,
2. විහරණමය හේතු,
3. රෝගමය හේතු,
4. පාරිසරික හේතු,
5. මානසික හේතු,
6. අභිඝාත හේතු,
7. ජානමය හේතු වශයෙන් වෙන් වෙයි.
ආහාරමය හේතු
සෙම වැඩෙන හා වාතය වැඩී කෝප කරන ගුරු ආහාර, විෂ්ඨම්භී හෙවත් බඩ පුරෝ දැමීම කටුක, තික්ත, රළු විදාහී (දාහය ඇති කරන) ආහාර පාන අධිකව භෝජනය කිරීම, උඳු, තල, පිටි නිෂ්පාදන, තල තෙල්, දියගොඩ දෙකෙහිම ජීවත් වන සතුන්ගේ මාංශ මුදවාපු කිරි, අමු කිරි වැනි ආහාර බහුලව භාවිත කිරීම, දොස් වගුරුවන ආහාර නිතර අනුභවය, ආයුර්වේදයේ සඳහන් වන හිම ජලය ( සිසිල් කළ ජලය) සහ බීම වර්ග නිතර භාවිතය ඇදුම රෝගය වැලඳීමට විශාල ඉඩක් විවර කරන ආහාරමය හේතූන්ය.
වර්තමානයේ පවතින කාලගුණික තත්ත්ව උඩ මෙවැනි ආහාර නිතර පරිභෝජනය කළොත් ඇදුම, පීනස වැලඳීමට ඇති ඉඩකඩ වැඩිය. කලක් තිස්සේ ඇදුම රෝගයෙන් පෙළෙනවා නම් මෙවැනි ආහාර වර්ග පරිභෝජනයෙන් සිදු වන්නේ රෝගය තව තවත් උත්සන්න වීමය.
විහරණමය හේතු
විහරණමය හේතු යනු පුද්ගල ඇවැතුම් පැවැතුම්ය. අධික සීතල ජලය පානය හා නිතර ස්නානය, තදින් හමන සුළඟට නිරාවරණය වීම, රාත්‍රී කාලයේදී විදුලි පංකා යට නිදා ගැනීම, අනවශ්‍ය ලෙස අධික ව්‍යායාමයේ යෙදීම, අධික මෛථුන සේවනය වැනි කරුණු ඇදුම රෝගය වැලඳීමට වැඩි අවස්ථා සලසන විහරණමය හේතු ලෙස ආයුර්වේදයේ පෙන්වා දී තිබේ.
රෝගමය හේතූ
යම් යම් රෝග නිසා ද ඇදුම තත්ත්වය ඇති විය හැකිය. නිතර නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, කැස්ස වැනි රෝග කල්ගත වෙමින් තිබුණොත් ඇදුම රෝගය ඇතිවීමට බලපායි. එම රෝග සඳහා නිසි අවස්ථාවේ නිසි ප්‍රතිකර්ම ගත යුතුය. අතීසාරය, උණ, ආමදෝෂ, රත්පිත්ත රෝග, පාණ්ඩුව වැනි රෝගවල උපද්‍රව හැටියටත් ඇදුම රෝගය ඇති විය හැකිය.
මානසික හේතු
මානසික ආතතිය ඇති කරන හේතු, අසතුට, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, දුක දොම්නස වැනි හේතුවලින් නිතර පීඩාවට පත් වෙනවා නම් එවැනි මානසික ආතතීන් ද ඇදුම රෝගයට හේතු කාරකයන්ය.
පාරිසරික හේතු
උදාහරණ මේ වකවානුවේ පවතින පාරිසරික තත්ත්වයන්ය. සීතල, සුළඟ, වර්ෂාව වැනි තත්ත්වයත් කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ රසායනික සංඝටක සහිත දූෂිත වායුව ආඝ්‍රාණය කිරීම, සමහර මල්වල පරාග, දුම් සහිත පරිසරයක කල් ගෙවීම, සෘතු විපර්‍යාස, අපට පාලනය කරගත නොහැකි පාරිසරික සාධක නිසාත් ඇදුම රෝගය ඇති වෙයි.
අභිඝාත හේතු
වැටීම්, තැළීම් වැනි අවස්ථාවල පපුව, බෙල්ල, හිස වැනි ස්ථානවලට නොහොත් මර්මස්ථානවලට පහර වැදීම අභිඝාත හේතුන් ලෙස හැඳින්වෙයි.
ඇදුම රෝගියකුට මුහුණපෑමට සිදුවන අපහසුතා
ඇදුම රෝගය උත්සන්න වූ පුද්ගලයා ක්‍රියා විරහිත පුද්ගලයකු වෙයි. ආයාසයෙන් ඇති වන කැස්සෙන් සෙම මදක් ගැලවී ගිය විට යම් සහනයක් සුළු වේලාවකට ඇති වෙයි. නමුත් කැස්ස මඟින් සෙම පිට නොවුණොත් ඇදුම රෝගය අතිශයින්ම දුක්ඛිත තත්ත්වයකට පත් වෙයි. එම රෝගීන්ට යහනක හාන්සී වී සිටිය නොහැක, නින්ද නොයයි, දිගා වී සිටීම නිසා වාතය අවහිර වී ඇලපත දෙපැත්ත වේදනාව මතු වෙයි. වාඩි වූ විට පහසුවක් දැනෙයි. පපුවට කොට්ටයක් තබා ඉදිරියට නැමී වාඩි වූ විට යම් පහසුවක් දැනෙයි. සීතල ඔරොත්තු නොදෙයි, නිතර උණුසුමෙන් සිටීමට ඇදුම රෝගියා ප්‍රිය කරයි. ආශ්වාස කිරීමට ගන්නා වෙහෙස නිසා එම රෝගින්ගේ ඇස් නිතරම උඩ බලා ගත් ස්වභාවයක් ගනියි. නළල දහදියෙන් තෙත් වෙයි. මුඛය වියළි ස්වභාවයක් ගනියි. ඇඟ පුරාම වේදනාව අපහසුව ඇති වේ. ආහාර රුචිය නැති වෙයි. ආයුර්වේද විග්‍රහය අනුව ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේදි එම රෝගීන් කාණ්ඩ දෙකකට වෙන් කෙරෙයි. එක් කාණ්ඩයක් හොඳ කාය ශක්තියක් ඇති බලවත් රෝගීන්ය. දෙවන කාණ්ඩය කෘෂ දුර්වල රෝගීන් ය.
බලවත් රෝගීන්
බලවත් රෝගීන් අතරෙන් යම් කෙෙනකුගේ සෙම දෝෂය බලවත් නම් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී පපුවේ ගොර ගොර ශබ්දය ඉතා හොඳින් ඇසෙයි. කහින විට සෙම ගැලවි යයි. තව කෙනකුට වාතය බලවත් නම් එම රෝගියාගේ සෙම වියළි ස්වාභාවයක් ගන්නා නිසා සෙම පහසුවෙන් ගැලවී නොයයි. ස්වසනයේදී ශබ්දයක් නොඇසුණත් සියුම් හඬක් ඇසෙයි.
මේ දෙදෙනා අතරෙන් සෙම බලවත් රෝගියාට ආයුර්වේදය පෙන්වා දෙන්නේ සෙම ඉවත් කිරීම සඳහා පංච කර්මයේ එන වමන කර්ම වැනි ප්‍රතිකාර ක්‍රමය සහ සෙම ශෝධනය කිරීමය. වාතය බලවත් ශක්තිමත් රෝගියාගේ සෙම වියළි ස්වභාවයක් ගන්නා නිසා ශෝධනය නොකර සමන ප්‍රතිකර්ම මඟින් රෝගය සුව කළ හැකිය.
කෘෂ දුර්වල රෝගින්
සෙම බලවත් කොටසක්ද වාතය බලවත් කොටසක්ද මේ අතර වෙති. සෙම බලවත් වුවද වාතය බලවත් වුව ද ඔවුන් කෘෂ දුර්වල රෝගීන් නිසා ඔවුන්ට වමන ප්‍රතිකර්ම වැනි ශෝධන කර්මවල නොයෙදිය යුතුය. ඔවුන්ගේ රෝග තත්ත්වයට ගැළපෙන ලෙස කසාය, ගුලි, කල්ක, අනුපාන, තෙල් ගැල්වීම් වැනි සෙම හා වාතය සමනය කරන ප්‍රතිකර්ම කොට ඔවුන් සුවපත් කළ යුතුය.
ඇදුම රෝගය වැලඳුණු මුල්ම අවධියේදී ඔහුට හෝ ඇයට ගැළපෙන ප්‍රතිකාර පද්ධතියට නිසි පරිදි යොමු වීමෙන් එම රෝගය නිට්ටාවට සුව කර ගත හැකියි. නමුත් කල් ගත වුණොත් සුව කර ගැනීමට තිබෙන අවස්ථාව යම් තරමකට සීමා වේ. ප්‍රතිකර්ම සඳහා වැඩි කාලයක් ගත වෙයි.
ඇදුම රෝගියාගේ ශරීරයේ බලයේ ස්වභාවය, කෝපවී ඇත්තේ සෙම ද වාතය ද යන ස්වභාවය, රෝගය ඇති වීමට බලපෑ හේතූ, රෝගියාගේ වයස, ජීවත්වන පරිසරය, අනුව එක් එක් රෝගියාගේ ස්වරූපය එකිනෙකට වෙනස්ය. එම නිසා සෑම රෝගියකුටම පොදු ප්‍රතිකර්ම පද්ධතියක් සුදුසු වන්නේ නැත.
සරල ප්‍රතිකර්ම
මේ දැක්වෙන්නේ ඇදුම රෝගය සඳහා තාවකාලික සහනයක් ලබා ගත හැකි බෙහෙත් වට්ටෝරු කිහිපයකි.
එයින් වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගන්නා තෙක් තාවකාලික පහසුවක් ලබා ගත හැකියි.
කෝලශ්ලෙස්මා තෛලය, මහා සිද්ධාර්ථ තෛලය, සර්ව විෂාධි තෛලය යන මෙම තෙල් වර්ගවලින් එක් වර්ගයක් තරමක් රත් කොට පපුව, ඇලපත් (දෑලවර) හොඳින් ආලේප කොට පිරිමැද බුලත් කොළයක් රත් කොට තවන්න.
වැඩිහිටි අයට නම් එම තෙල්වලින් මේස හැන්දක් කලවම් කර අමු ඉඟුරු ඉස්ම ටිකක් බිංදු දහයක් පමණ දමා එයට සීනි මේස හැන්දක් කලවම් කර ගුලියක් ලෙස ගෙන එය බී උණුසුම් ජලය පානය කළ විට සෙම ටික පහසුවෙන් ගැලවී ගොස් යම් පහසුවක් දැනෙනු ඇත. ආඩතෝඩ දලු මද පවනේ වේලා කුඩු කර බෝතලයක දමා තබා ගෙන තේ හැඳි එකක ප්‍රමාණයක් උතුරන වතුරට දමා හොඳට තැම්බුණු පසු පෙරා සීනි එක්කර දවසට දෙවරක් නොකඩවා දිනපතා බීමට හුරු වීම නිතර නිතර ඇදුම රෝගය හැදෙන අයට රෝගයේ අපහසුව එක්තරා දුරකට පාලනය කරගත හැකිය. මේ රෝගීන් රෝගයට අහිතකර ආහාර රටාවෙන් සහ ජීවන රටාවෙන් වැළකී සිටීම වැදගත්ය.
දූවිලි තිබෙන පරිසර, දුම් රැඳෙන ස්ථානවල නොරැඳීමත්, අධිකව වෙහෙස වීමෙන්, අධි ශීත ගුණයෙන් යුතු කෑම (බණ්ඩක්කා, වම්බොටු, මෑ කරල්, නිවිති, මුඟුණුවැන්න, අළු කෙසෙල්, ඉදුණු කෙසෙල්, අළු පුහුල්, කැකිරි, පිපිඤ්ඤා, කොමඩු වැනි ආහාරවලින් මිදිය යුතුයි.
අන්නාසි, තක්කාලි, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, බිත්තර, මුදවාපු කිරි, එළකිරි, ඔවුන්ට නුසුදුසුය. නිදිවැරිම සේම දිවා කාලයේ නිදා ගැනීමද නුසුදුසුය. බඩට අනවශ්‍ය තරම් හෝ බඩ පිරෙන තෙක් ආහාර නොගත යුතුය. තමන්ගේ ආහාර මාත්‍රාව පාලනය කර ගැනීම අත්‍යවශ්‍යය.
සුදුසු ආහාර
ශරීරයේ සෙම හා වාතය සමනය කරන ආහාර සුදුසුය.
රතු ලූණු, සුදු ලූණූ, කොල්ලු, තිබ්බටු, පෙති තොර, පැණි තෝර, කුප්පමේණියා දළු, තෙබු දලු, කුරිංඥං කොළ, අඟුණ කොළ, මොනර කුඩුම්බිය, කර කොළ. පැහිච්ච නෙල්ලි, දෙළුම්, කාමරංකා, අඹරැල්ල, නාරං, මුද්දරස් පලම්, සුදුසු ආහාර අතර වේ.