බල්ලට ඇති වැඩකුත් නෑ .. හෙමින් ගමනකුත් නෑ…” ගමේ ගොඩේ කවුරුත් අතර මෙහෙම කතාවක් තිබුණට ගෙදර ඉන්න සුනඛයෙක් නිසා පසුගිය දිනක දිවි බේරාගත් දරු පවුලක් ගැන කියන්නයි මේ සූදානම. එක දිගට ඇද හැළුණ අනෝරා මහ වැස්සේ ඒ රාත්‍රියෙ කිසිවෙක් නොදැනම කඩා වැටුණ පස් කන්දට යටවී මියැදෙන්න තිබුණු ජීවිත ගණන හතරකි. සාක්කියක් නැති ඛේදවාචකයක් වන්නට තිබූ ඒ අවස්ථාව අහම්බෙන් වැළකී ගියේ ගෙදර ඇති කළ සුරතල් බල්ලා නිසාය.
මේ සිදුවීම වාර්තා වෙන්නේ අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයෙනි. දිනය ඉකුත් පළමුවැනිදා මධ්‍යම රාත්‍රිය පසුවෙමින් තිබිණි.
“වෙසක් පොහොයත් එක්කම දවස් කිහිපයක ඉදලම අපිට තදින් වැස්ස පටන් අරගෙන තිබුණේ. කොයිම මොහොතකවත් හිතුණේ නැහැ අපිට මේ වගේ අනතුරක් නම් වේවි කියලා. සිද්ධිය වෙන දවසෙ මගෙ බිරිය හර්ෂණි ඇගේ අම්මාගේ නිවෙසට ගිහිල්ලා හිටියේ. ගෙදර හිටියේ මගෙ අම්ම ශාන්ති ජයසිංහයි තාත්තා බෙල්ලන විදානලාගේ සෝමසිරියි, අපේ පුංචි දුව සෙත්මි අකීෂායි මමයි විතරයි. දුවගේ වයස අවුරුදු දෙකහමාරයි. එදා හවස අපේ ගෙවල්වලට ටිකක් එහායින් නිවෙසකට පොඩි පස් කණ්ඩියක් කඩන් වැටිලා තිබුණේ. එයින් කාටවත් හානියක් වෙලා තිබුණෙත් නැහැ.
ඒත් එදා රෑ අපේ ගෙදර ඉන්න කළු බොහොම තදින් බුරන්න ගත්තා. මුලදි නම් හිතා ගන්න බැරි වුණා ඇයි මේ සතා බුරන්නේ කියලා. මම කළුට කට වහගන්න කියලත් කිව්වා. ඒත් රෑ දොළහ මාරට විතරත් කළු බුරන්න ගත්තා. ඒ වෙනකොටත් තදින් වහිනවා. ඒ පැත්තට විදුලිය තිබුණෙත් නෑ. කළු හිටියේ ගේ ඇතුළේ. ඌ සැරින් සැරේ බුරන්න ගත්තා. ඒ වෙනකොට වෙලාව රෑ දොළහමාරට විතර ඇති. කළු ගේ ඇතුළේ ඉදගෙන තදින්ම බුරන්න ගත්තා. මම හිතුවෙම වහින නිසා කළු බුරනවා කියලා. කොහොම හරි ටිකෙන් ටික කළුගේ මේ බිරිල්ල වැඩි වුණා. ඒ වෙනකොට වෙලාව රෑ එකට විතර ඇති. කොච්චර කිව්වත් කළු කට වහන්නෙත් නෑ. අන්තිමට කළු මගෙ ඇඳ ළඟට ඇවිල්ලා තදින් බුරන්න ගත්තා. ඒ වෙලාවෙ නම් මගෙ හිතට පොඩි සැකයක් ආවා..සතෙක් ඇවිල්ලද දන්නේ නෑ මෙයා මේ තරම් බුරන්නේ කියලා. ඒ ගමන මම ෆෝන් එකේ ටෝච් එකත් අරගෙන දොර ඇරන් එළියට ගියා. කළුත් මට ඉස්සර වෙලා ගියා. මම ටෝච් එක ගහලා බැලුවා මුකුත් පේන්නේ නැහැ. ඒත් කළුගේ බිරිල්ල නම් අඩු වුණේ නැහැ. මම ගේ පිටිපස්ස පැත්තට ගියා. කළුත් මට ඉස්සර වෙලා ඒ පැත්තට ගියා. කොහොම හරි ගේ පිටිපස්ස පැත්තේ මිදුලට ටෝච් එක අල්ලලා බලන කොට මඩ පාටට ලොකු වතුර පාරක් ගලනවා දැක්කා. මට දෙවියෝ බුදුන් සිහිවුණා. එතකොටම මට මතක් වුණා, කලින් දවසේ අසල්වැසි නිවසට පස් කන්දක් ඇවිත් තිබුණ බව. මම එසැණින්ම ගෙට දුවලා ගිහින් අම්මවයි තාත්තවයි ඇහැරෙව්වා. දුවවත් වඩාගෙන අපි ගෙදරින් එළියට බැස්සා. ඒ මහ රෑ කළුවරේ කොහෙ කියලා යන්නද . ඊට මිටර් 500කට විතර එහායින් තමයි අපේ පුංචි අම්මලාගේ ගේ තියෙන්නේ. අපි ඒ වැස්සෙම පුංචි අම්මලාගේ ගෙදරට දිව්වා. කළුත් අපිත් එක්කම ආවා. පුංචි අම්මලාගේ ගෙදරට එන අතර මඟදි වාහන දෙකක් එකට හැප්පෙනවා වගේ විශාල ශබ්දයක් අපේ ගේ පැත්තෙන් ඇහුණා. සිද්ධ වුණේ මොකක් ද කියලා ඒ වෙලාවේ හිතාගන්නවත් බැරිවුණා. තද කළුවර නිසා මුකුත් පේන්නෙවත් නැහැ. රෑ පුංචි අම්මලාගේ ගෙදර අපි හිටියේ. පහුවදා උදේ එළිවුණ ගමන් මම ගෙදර පැත්තට ආවා මොනවද වුණේ කියලා බලන්න. ගේ තිබුණ තැනක්වත් හොයන්න නැහැ. නිකම්ම නිකන් පස් කන්දක් විතරයි එතැන තිබුණේ. ඊට ටිකක් එහාට වෙන්න වහලේ සුන් බුන් ටිකක් තිබුණා. අවුරුදු ගාණක් තිස්සේ හම්බ කරලා හදාගත්ත ගේ නිකම්ම නිකම් පස් කන්දක් විතරක් වෙලා තිබුණා. මම පුංචි අම්මලාගේ ගෙදරට ගිහින් අම්මටයි තාත්තටයි මේ විස්තරේ කිව්වා. අපිට කඳුළක් හළනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ හැම ගමනකටම කළුවත් මාත් එක්ක ආවා. සිද්ධිය වෙච්ච දවසේ කළුවා නොහිටියා නම් අපි හැමෝම පස් කන්ද යට. කළුවා අපේ පෙර ආත්මෙක කෙනෙක් වගේ ජීවිත බේර ගත්තේ.. ඒ සතා කන්න දුන්න ගුණ ඉහටත් උඩින් රැක්කා. අපි කවදාවත් කළුවව බැඳලා, කූඩු කරලා හැදුවේ නැහැ. ඌට උගේ පාඩුවේ නිදහසේ ඉන්න දුන්නා. කළුවා ගෙදරම කෙනෙක් ගාණටයි හිටියේ. එයාට කතා කරන්න බැරි ටික විතරයි. එයාට හැමදේම තේරෙනවා. ඌ අපේ ගෙදරට ගෙනැල්ලා අවුරුදු හතක් විතර වෙනවා. “
සිද්ධියට මුහුණ දුන් බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (33) පවසන්නේ හැඬු කඳුළෙනි.
අද ඔවුන්ට ඇත්තේ ඇඳි වත පමණි. ඒ රාත්‍රියේ තමන් හරි හම්බකර ඉතිරි කරගත් කිසිවක් ගන්නට ඔවුන්ට සිහි නොවුණි. ඒ මොහොතේ ඔවුන්ට තිබුණේ ජීවිතය බේරා ගැනීමේ අරමුණ පමණි.
නිවසේ කුමාරගේ බිරිය හර්ෂණී පවසන්නේ මෙවන් කතාවකි.
“එදා මම මගෙ අම්මලාගේ ගෙදර ගිහිල්ලා හිටියේ. මොකක්දෝ වාසනාවකට, පෙර පිනකට අපේ පවුල බේරුණා. කළුවා නැත්නම් පවුලේ කවුරුවත් නැති වෙන්න ඉඩ තිබුණා. ඒ සතාට කන්න බොන්න දීලා ආදරෙන් බලා ගත්තාට කළුවා අපේ ජීවිත බේරුවා. අපි කවදාවත් අනුන්ට අතපාලා ජීවත් වුණ අය නෙමෙයි. ගෙදර විදුලි උපකරණ තිබුණා. අපි ගෙව්වේ මහා ලොකු සැපවත් ජීවිත නොවුණට කාටවත් අතනොපා අපි සතුටින් ජීවත් වුණා. අපිට තේ අක්කරයක් තිබුණා. ඒකෙන් තමයි අපි ජීවත් වුණේ. දැන් අපට කිසිම දෙයක් නැහැ. මුල ඉදලම ගොඩ නැගෙන්න වෙලා තියෙන්නේ. ඒත් කොහොමද එහෙම කරන්නේ කියලා අපිට හිතා ගන්න බැහැ. මගෙ මහත්තයා කුලී වැඩ කළේ. අපිට දැන් අඩුම තරමේ තේ බොන්න ප්ලාස්ටික් කෝප්පයක්වත් නැහැ.
මේ සිද්ධියෙන් පස්සේ තාත්තාගේ ප්‍රෙෂර් වැඩි වෙලා මේ වෙනකොට තාත්තා රෝහල්ගත කරලා ඉන්නේ. මගෙ දරුවා තවම පොඩියි. එයාට අඩුපාඩුවක් කරන්න අපිට බැහැ. ඒත් අපි දැන් මොනවා කියලා කරන්නද? දැන් අපිට කාගෙ හරි පිහිටක් අවශ්‍යයි. පුංචි අම්මලාගේ ගෙදර හැමදාම ඉන්න බැහැ. එයාලට අපිව කරදරයක් වෙයි. කිසිම දෙයක් නැතිව අන්ත අසරණවෙලා ඉන්න අපිට කවුරු හරි පිහිට වෙනවා; නම් ඒක ලොකු දෙයක්. ඇය ඉකිබිඳිමින් පැවැසුවාය.
දුක් සුසුම් අදෝනා මේ හැමදේකටම කන්දෙමින් කළුවා සිය පවුලේ සාමාජිකයන් දෙස බලා සිටින්නේය, මේ පවුලේ එකම ආරක්ෂකයා තමන් කියන්නා සේ කළු නිහඬව ඔවුන් අසලම පසෙකට වී සිටින්නේය. උදේ සවස ලැබුණ බත් පතට ණය නැති කළුවාට දැන් පෙර දවසටත් වඩා පවුලේ සියල්ලෝම ආදරය කරති.
පසුබිම් කතාව මතුගම සමූහ බන්දු තිලක තඹවිට
ඉනෝකා සමරවික්‍රම