තමන්ගේ අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් ජීවිතය ජය ගත්තෝ එමටය. අධිෂ්ඨානය හා කැපවීම ජීවිතය ජයගත්තෝ තුළ තිබුණද අභියෝගයක් දරමින් ඒ අභියෝගයට අභියෝග කරමින් ජයග්‍රහණයේ හිනි පෙත්තට යන්නෝ අතළොස්සකි. මෙයද එවැනිම කතාවකි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් වූ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය වන්නේ දරුවකුට 1 සිට 13 දක්වා පාසල් යැවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් කරමිනි.
එහෙත් හලාවත විජය කටුපොත ගම්මානයේ ජීවත් වන අවීෂා නෙත්සරණි මංචනායක මීට වෙනස් වූ මඟක සාර්ථකත්වයක් කරා පිය නැඟූ දියණියක වූවාය. පාසල් ගමනට ඇය සමුදෙන්නේ අට වසරේදීය. ඒ ලංකාවේ ඉහළම ජාතික පාසලක සිටියදීය. ඇය ඒ සමුදීම කරන්නේ තවත් දුෂ්කර වූ අභියෝගයකට මං විවර කරන්නටය. ඇයට එකම ශක්තියක් වූයේ ‘මට පුළුවන්‘ යන හැඟීම පමණි. පාසලේ අට වසරෙදි පාසල් ගමනට ඇය සමුදෙන්නේ පෞද්ගලික අයදුම්කරුවකු ලෙස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට අඩු වයසින් මුහුණ දීමටය.
අන් දරුවෝ එකොළහ වසරේදි සාමාන්‍ය පෙළ ලියද්දි පාසල් ගමන අහවර කළ අවීෂා කිසිදු සහයක් නොමැතිව වයස අවුරුදු 13 දී එනම් 8 පන්තියේදී සාමාන්‍ය පෙළට මුහුණ දුන්නාය. විෂයයන් අටකට මුහුණ දුන් ඇය ඒ විෂයයන් අටටම ‘A‘ සාමාර්ථය ගන්නේ ඇයගේ හැකියාව හා දක්ෂතාව උපරිමයෙන්ම පෙන්වමිනි. අනතුරුව අවීෂා පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ උසස් පෙළ විභාගයට ද මුහුණ දෙන්නට සූදානම් වූයේ තනිවමය. පාසල් ගමන අතහැරි ඇය උසස් පෙළ ගණිත අංශයෙන් විභාගයට සූදානම් වූයේ ඇයට වයස අවුරුදු 15 සම්පූර්ණ වෙද්දීය. වසර දෙකක උසස් පෙළ කාලසීමාව වසරක් වැනි කෙටි කාලයක් තුළ සූදානම් වූ අවීෂා පසුගියදා නිකුත් වූ ප්‍රතිඵල අනුව හෞතික විද්‍යා අංශයෙන් ‘A‘ සාමාර්ථ් තුනක් ලබා ගත්තේ ඉහළම කඩඉම් ලකුණක් ද ලබා ගනිමිනි. ජීවිතයේ ගත හැකි විශාලතම අභියෝගය වූ පාසල් ගමනට ආයුබෝවන් කියා අඩු වයසින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළට මුහුණ දී ජීවිතය ජයගත් මේ දියණියගේ කතාව සිළුමිණ පාඨක හමුවේ ගෙන එන්නේ තවත් දරුවන්ට ආදර්ශයක් ලබා දීමටය.
අවීෂා නෙත්සරණි මංචනායක පවුලේ එකම දරුවා විය. 2008 පෙබරවාරි 3 වැනිදා උපන් ඇගේ පියා එම්. එම්. කේ. මංචනායක කාර්මික නිලධාරියෙකි. මව උදේනි ප්‍රියංගිකා ගෘහණියකි. සිය එකම දියණිය කඩඉම් විභාගයන්ට මුහුණ දුන් ආකාරය මේ පියාටත් මවටත් තවමත් ආශ්චර්යයකි
“දුව මුලින්ම පාසලට යන්නේ හලාවත විජය මහ විදුහලට. තුනේ පංතිය දක්වා දුව ඒ පාසලේ ඉගෙන ගෙන පස්සේ පුත්තලම විල්පොත අනුර ප්‍රාථමික විදුහලට ඇතුළත් වෙනවා. දුව මේ පාසලේම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා. කිසිදු අමතර පන්තියකට නොගිය දුව ලකුණු 190 ක් අරගෙන ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙනවා. ඉන්පසු ඇය 6 වසරට ඇතුළත් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට. මේ වන විට මමත් ජාඇළ ප්‍රදේශයේ රැකියාවක් කරන නිසා දරුවාගේ පහසුවට අපි මේ ආසන්නයේම කුලියට නිවෙසක් අරගෙන පදිංචි වෙනවා. 6 වසරේදි දුව පන්තියේ පළමුවැනියා වෙනවා. හත වසරේදි කොරෝනා වංසගතයට මුහුණ දෙන්න සිදුවුණා. ඒ වන විට දුවට වයස අවුරුදු 12 ක්. කොරෝනා නිසා හත වසරේදි විභාග තිබුණේ නැහැ. කොරෝනා අහවර වෙද්දි දුව ඒ පාසලේ අට වසරට ඇතුළත් වෙනවා. නමුත් පාසල් ගමන කොවිඩ් නිසා සිදුවන්නේ කඩින් කඩ. මේ අතර 2021 අවසන් වෙනකොට දරුවට මේ පාසලින් ඉවත් වෙන්න ඕන වෙනවා…” පියා මංචනායක පවසන්නේය.
රත්නාවලි බාලිකා වැනි ලංකාවේ ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට දෙනෝ දාහක් පොරකද්දි අවීෂාට ඇවැසි වූයේ පාසලට සමු දෙන්නටය. කොවිඩ් නිසා නිකරුනේ කාලය ගතවීම ඇයට මහත් වදයක් විය. ඒ වන විට අවිෂා 8 වසරවත් සම්පූර්ණ කර නොතිබුණි.
“දුව අපෙන් ඉල්ලීමක් කරනවා 8 පන්තියේදී එයාට සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියලා. ඇයට මුලින්ම මේ අදහස දැම්මේ මම. දවසක් මම ඇගෙන්ම අහනව ඔයාට ඕ ලෙවල් කරන්න මම හදලා දෙන්නද කියලා. ඒ දුව තුළ තිබුණු විශේෂ හැකියාව මම නිතර දැක්ක නිසා. දුවට යම් දෙයක් ගැන හිතන්න පුළුවන්කම තිබුණා. ඇයට තනියම හිතලා යමක් කරන්න පුළුවන්. නමුත් එදා ඒ දේ මම ලොකුවට හිතලා කියපු දෙයක් නෙමෙයි. දුවගේ දැනුම නිසා එක් විෂයක් දෙකක් පමණ ලියන්න කියලයි මම දුවට කිව්වේ. දුව විෂයයන් දෙකකට පමණ 6 පන්තියේදි ටියුෂන් ගියත් පසුව එයත් නැවතුණා. ඉන්පසුව කිසිම විෂයකට ටියුෂන් ගියේ නැහැ. මේ වන විට දුවගේ නෑදැ වෙන අක්කා කෙනෙක් මේ වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම එයාගේ ආසාව වැඩි වීමට තවත් හේතුවක් වුණා…”
අවීෂා එකම දරුවා විය. එකම දරුවාව අධ්‍යාපනය ලැබූ පාසලින් ඉවත් කර අඩු වයසින් කඩඉම් විභාගයන්ට සූදානම් කිරීම මේ මවුපියන්ට අභියෝගයක් නොවුණා නම් එය පුදුමසහගතය. නමුත් දරුවාගේ හැකියාව පිළිබඳ නිරන්තර අවබෝධයකින් සිටි මේ මව හා පියා පියවරෙන් පියවර සූදානම් වූයේ කෙසේ හෝ ඊට අවකාශ සලසන්නටය.
“ඇය මේ අවදානම ගත්තේ 8 පන්තියේ විෂයයන් පවා නියමිත පරිදි අවසන් කරන්නේ නැතුවයි. දුවගේ ඉල්ලීම මමත් විටින් විට මඟ හරින්න උත්සාහ කළත් දුවගේ ඉල්ලීම ප්‍රබල වුණා. ඇය නිතරම කිව්වේ මට කරගන්න පුළුවන් කියන එක විතරයි. නමුත් පාසලේ අධ්‍යාපනය ලබද්දී පෞද්ගලික අයදුම්කරුවකු ලෙස විභාගයට මුහුණ දෙන්න බැහැ. එහෙම නීතියක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට පවා ගිහින් මම මේ ගැන සොයා බැලුවා. අවසානයේ දරුවා පාසලින් අස්කරගන්න සිදු වුණත් එය එකපාරටම කරගන්න බැරි වුණා. විදුහල්පතිතුමිය ඊට අකමැති වුණා. පසුව අවශ්‍යතාව කියලා 2021 දෙසැම්බර් 22 දරුවා පාසලින් අස්කර ගත්තේ මවගේත්, මගේත් කැමැත්ත අරගෙනයි. පාසලින් දරුවාට අස්වීම ලබා දෙයි ද නැද්ද යන සැකය නිසා අස්වීම දෙන තෙක් දරුවාට ඒ ගැන කිව්වේ නැහැ. නමුත් ලොකු අවදානමක් ගත්තේ. දරුවාට සාමාන්‍ය පෙළ ලියන්න කියන අදහස දෙන්න අපිට අමාරු වුණා. මන්ද මේ වන විටත් 8 පන්තියේ වැඩ පවා අවසන් කර තිබුණේ නැහැ
මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට තිබුණේ මාස 6 ක් වගේ කෙටි කාලයක්. නමුත් දුව පාසලින් අස්කර ගත් පසුව එයා විභාගයට සූදානම් වුණා. ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණයට මුහුණ දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් දරුවට ඕන කරන ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොත් හොයා ගන්න බැරුව ගියා. ඉංග්‍රීසියෙන් විභාගයට මුහුණ දුන්නත් දරුවා ඒවාට මුහුණ දුන්නේ සිංහල මාධ්‍ය පෙළ පොත්වලින්. එයාට බැරිවන දේවල් ඉගෙන ගත්තේ යූටියුබ් එකින්…”
“දුව හවසට අනිවාර්යයෙන් සෙල්ලම් කරනවා. මම ගණිත විෂයයට අදාළ සමහර කොටස් දුවට කියලා දුන්නත් අනික් සියල්ලම තනියම එයාම කර ගත්තා. මේ වෙද්දි අපිට විශ්වාසයක් ගොඩනැඟුණා දුවට විභාගය කර ගන්න පුළුවන් වෙයි කියලා. දුව සාමාන්‍ය පෙළට ලිව්වේ විෂයයන් 8කට. ඒ සියල්ලටම A සාමාර්ථ 8ක් ගත්තා. ඉන්පස්සේ දුව උසස් පෙළට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මේ වන විට එයා උසස් පෙළ සඳහා වෙනත් පාසලකට ඇතුළත් කරන්න උත්සාහ කළත් අඩු වයස නිසා ඒ අවස්ථාව මඟ හැරී යනවා. නමුත් දුවට අවශ්‍ය වෙනවා අවුරුද්දකින් උසස් පෙළ විභාගයටත් ලියන්න. මම දුවට කිව්වේ ජීව විද්‍යා අංශයෙන් විභාගයට ලියන්න. මගේ ආසාව වුණේ ඇය වෛද්‍යවරියක් කරන්න. නමුත් එයාගේ කැමැත්ත වුණේ ඉංජිනේරුවකු වීමට, ගණිත අංශයෙන් මුහුණ දෙන්න. පසුව ගණිත අංශයෙන් පාඩම් කරද්දි මමත් දුවට උදවු කළා. කිසිම පෞද්ගලික පන්තියකට ගියේ නැහැ. අවශ්‍ය පොත් ගෙනත් දුන්නත් ඒවා වසරක් තුළ බලන්න දුවට වේලාවක් තිබුණේ නැහැ. මේ වන විට වයස අවුරුදු 15 සම්පූර්ණ වුණා.
ඒ වන විට දුවගේ පාසලේ යාළුවන්ට සාමාන්‍ය පෙළ කරන්නත් තවත් වසරක කාලයක් තියෙනවා. නමුත් මෙයා උසස් පෙළටත් සූදානම් වෙනවා. විභාගයේදි තරගකාරිත්වයක් අත්විඳින්න දරුවට ලැබුණේ නැහැ. 2023 වසරේ දුව උසස් පෙළට මුහුණ දෙනවා. එයා කැමැති නැහැ කිසි දෙයකට අමතර කාලයක් ගන්න. එයාට ඕන වුණේ හැමදේම ඉක්මනට කරන්න. විභාගයේදි භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය දා දුවට එක කොටසක ගැටලුවක් මතු වෙනවා. ඒ නිසා දුව බලාපොරොත්තු වන විදිහට ඒ විෂයයට මුහුණ දෙන්න බැරිව යනවා. මේ නිසා පසුවදා දුව විභාගයට යන්න බැහැ කියනවා. නමුත් අපි හිත හදලා පසුවදා රසායන විද්‍යා විෂයට ඇයව යවනවා. එයාට හොඳ ලකුණකට යන්න පුළුවන් බව අපි දැක්කා. A තුනක් හෝ A දෙකයි B එකක් ලැබෙයි කියලා හිටියත් A තුනක් ලැබුණා. ඉසෙඩ් ස්කෝර් එක 2.0384 ක්…..” පියා මංචනායක පවසන්නේ ආඩම්බරයෙනි.
අවීෂාගේ පිටුපස වූ ප්‍රබල ශක්තිය මේ පියාය. එහෙයින් පියා ඒ අභියෝගය දරන්නට පෙර දරුවාට ඒ සඳහා ඇති අවකාශය පිළිබඳ හොඳින්ම හදාරන්නේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවා ඇයට ඇති අවස්ථාව ගැන පිරික්සන්නේය.
“දුව කුඩා කාලයේ සිටම වයසට වැඩි දක්ෂතාවක් පෙන්වනවා. එකේ පන්තියේ හිටියත් තුන හතර පන්තියේ දක්ෂතාවයක් පෙන්නුවා. එය ඇයට සහජයෙන් ආ හැකියාවක්. හොඳින් තේරුම් ගැනීමට මෙන්ම හොඳ මතකයක් තිබුණා. ගම්පහ රත්නාවලි බාලිකාවට යද්දි පවා විශේෂ හැකියා පෙන්නුවා. දරුවා පාසලින් ඉවත් කරනවට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. අංක එකේ පාසලකින් ඉවත් කිරීම මටත් දරා ගන්න බැරි දෙයක් වුණා. දුව හැම වෙලාවෙම අපිව දිරිමත් කළේ මට කරන්න පුළුවන් කියලා පමණයි.
දුව ටියුෂන් යන්න කැමැති නැහැ. ක්‍රීඩා වැනි දේ කළත් එයත් ටික කාලයක් වුණා. පාසලින් ඉවත් වූ නිසා ක්‍රීඩා කටයුතු කරන්න ලැබුණේ නැහැ. දුව චිත්‍ර අඳින්න දක්ෂයි. සමස්ත ලංකා චිත්‍ර ජයග්‍රහණ සහතික පවා තියෙනවා. එයාගේ බලාපොරොත්තුව වුණේ ඉංජිනේරුවරියක් වීමටයි…” මව උදේනි පවසන්නීය.
මවගේත් පියාගේත් මේ කතා මැද අවිෂාට ද කියන්නට බොහෝ දේ ඇත. මේ මෙහෙයුමේ නියමුවා ඇයය. තමන් තුළ වූ ආත්ම ශක්තිය මෙන්ම අභියෝගයට ඇය මුහුණ දුන්නේ කෙසේද යන්න කියන්නට කතාවක් අවීෂාට ද ඇත.
“මට සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඕන කියන අදහස මුලින්ම ඇති වන්නේ 2021 අග කාලයේදීයි. ඒ වන විට මම රත්නාවලි බාලිකාවේ 8 වසරේ ඉගෙන ගන්නේ. මේ වන විට 8 වසර පන්තියේ පාඩම් වැඩ අවසන් වී තිබුණේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළට මුහුණ දෙන පන්ති පවා ආරම්භ වී තිබුණෙත් නැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට යමක් කරන්න හිතුණොත් කරන්නම ඕන. මට ලොකු විශ්වාසයක් තිබුණා සාමාන්‍ය පෙළ කරන්න පුළුවන් වෙයි කියලා. හිතන තරම් අමාරු නැති බවත් මට තේරුණා. මට එහෙම හිතුණත් සාමාන්‍ය පෙළ පොතක්වත් මම දැකලා තිබුණේ නැහැ. පස්සේ තාත්තට මගේ අදහස කිව්වා. ඒත් තාත්තා මුලින්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. අම්මා කොහොමත් කැමැති වුණේ නැහැ. පස්සේ මගෙන් බේරෙන්න බැරිම තැන ඒ අය මට කැමැත්ත දෙනවා. නමුත් මට පාසලේ සිට පෞද්ගලික අයදුම්කරුවකු ලෙස විභාගයට මුහුණ දීම නීත්‍යනුකූල නැති නිසා පාසලින් අස් වෙන්න සිදු වුණා. එය මට දුකක් වුණේ නැහැ, ඒ මගේ බලාපොරොත්තුව කරා යාමේ අභිලාෂය දැඩිව තිබුණු නිසා. පාසලින් අස්වූ පසු මම විභාගයට සූදානම් වෙන්න ගත්තා.
“පෙළ පොත්වලින්ම පාඩම් කර විභාගයට සූදානම් වෙන්න ගත්තා. පස්සේ මම යූටියුබ් එකිනුත් නොදන්න තැන් බලලා ගැටලු නිරාකරණය කර ගත්තා. මට දවසට පැය 7 ක් නිදා ගන්න ඕන. හවසට සෙල්ලම් කරනවා. ඒ කරන වැඩ කරලා මම අනිත් වෙලාවේ පාඩම් කරනවා. මෙහෙම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ විෂයන් 8 කටයි. එහෙම වුණේ කාලය අඩු නිසා. පෙරදිග සංගීත විෂය අතහැරියා. විෂයයන් 4 ක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළා. පස්සේ උසස් පෙළට ගණිත අංශයෙන් මුහුණ දෙනවා කියන අදහස මට කාලයක් පුරාවට පැවැති අදහසක්. උසස් පෙළ කරද්දි මට තනියම විසඳා ගන්න බැරි ගැටලු ආවා. අහන්න ගුරුවරයකු පවා සිටියේ නැහැ. ටියුෂන් ගියේ නැහැ. නිදහසේ ඉන්න ඕන කියන අදහසක් ඒ කාලයේ සිටම තිබුණ නිසා ටියුෂන්වලට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තගෙන් මුල් කාලයේ ගණිතය ඉගෙන ගත්තා. මට තනියම කරන්න පුළුවන් කියන හැඟීම තිබුණා. නමුත් මගේ පාසල් ගුරුවරු ලබා දුන් සහය අමතක කරන්න බැහැ.
උසස් පෙළ විභාගයට මම මේ ප්‍රතිඵලය බලාපොරෙත්තු වුණා. නමුත් භෞතික විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රයේ ගැටලුව නිසා A සාමාර්ථයක් ලැබෙයි ද කියා සැකයක් තිබුණා. හිතපු ආකාරයෙන් ලියා ගන්න බැරිව ගියා. නමුත් ඒ සාමාර්ථ 3ක් ලැබුණා. මගේ දිස්ත්‍රික් ලකුණ වුණේ 16. ජාතික ලකුණ 905.
මොරටුව විශ්වවිද්‍යාලයට ගිහින් ඉංජිනේරුවකු වී රටට සේවයක් කිරීම තමයි මගේ අරමුණ වුණේ. නමුත් මගේ ඉසෙඩ් ලකුණට අනුව මොරටුව විශ්වවිද්‍යාලයට ඉහළම ඉංජිනේරු පාඨමාලාවට තේරෙයි ද කියා ගැටලුවක් තියෙනවා. වෙනත් ඉංජිනේරු පාඨමාලාවන්ට නම් මොරටුව විශ්වවිද්‍යාලයට යාහැකියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පහසුවෙන් ඇතුළත් වෙන්න පුළුවන්.” අවීෂා පවසන්නීය.
උසස් පෙළ සමතුන්ගේ බොහෝ කතා අතුරින් අවීෂාගේ කතාව වෙනස්ම මඟක් ගන්නේය. එය සම්ප්‍රදායෙන් වෙනස්ම වූ කතාවක් වුවත් අවීෂාගේ හැකියාව, ශක්තිය මෙන්ම අධිෂ්ඨානය අප අගය කළ යුතුව ඇත. කෙනකුට යාමට බැරි වූ ගමන් මඟක් ඇය ගොස් ඇත්තේය.
ඡායාරූප – ප්‍රසාද් පුර්ණමාල්
(පුත්තලම දිසා සමූහ)