සදාකල් ආනන්දයෙන් යනු ලියෝ තෝල්ස්තෝයි විසින් ලියන ලදුව 1859 දී මුල්වරට The Russian Messenger නම් සඟරාවේ පළ වූ “පවුලේ සතුට” ( Family Happiness) නමින් ඉංග්‍රිසියට පරිවර්තනය වූ කෙටි නවකතාවේ (novella) සිංහල පරිවර්තනයයි. මෙහි ග්රන්ථ නාමය
රුසියානු බසින් ද එයම බව වටහා ගත හැකි ය.
මේ කෙටි නවකතාව එතරම් ප්‍රකට එකක් නොවූවත් එය විචාරක සම්මානයට පාත්රවූවකි. මෙය බුර්ෂුවා පන්තියේ ජීවන ක්‍රමය පරමාදර්ශීකරණය කරන්නේ යැයි චෝදනා එල්ල විය. එහෙත් එය තෝල්ස්තෝයිගේ ‘හොඳම කෘතියක්’ ලෙස රුසියාවේ පළ වූ Sovremennik නම් සාහිත්‍ය සිව්මාසිකයේ 1865/4 කලාපයේ පළවූ විචාරයක සඳහන් වීමෙන් පසු එය කෙරේ සාහිත්‍යකාමීන්ගේ අවධානය යොමු විය.
මෙම කතාව කියන්නේ තරුණ ගැහැනු ළමයකු වන සතළොස් හැවිරිදි මාර්යා ඇලෙක්සැන්ද්රොව්නා – කෙටියෙන් මාෂා – ය. ඇගේ මවගේ අභාවය නොබෝ දිනකට ඉහත සිදුවූ අතර, පියා නැසී ගොස් බොහෝ කලකි. ඇයට සෝනියා නමින් නැඟණියක් සිටියි. ඔවුන්ගේ දේපළවල කළමනාකාරීත්වය ළඟපාත එවැනි ම වලව්වක පැරණි පවුලේ මිතුරකු වන සර්ජි මිහයිලොවිච්ට පැවරී ඇත. සතිස් හැවිරිදි ඔහුගේ සිතේ මුල දී ඇය ගැන ඇත්තේ පියකු තම දියණියට දක්වන්නාක් වැනි සෙනෙහසකි.
“ඔහු මගේ පියා ගැනත් ඔහු හා මිත්‍ර වූ ආකාරයත් මා කුඩා දැරියක සේ සෙල්ලම් බඩු ඇසුරේ සෙල්ලම් කළ කාලයේ ඔවුන් දෙදෙනා එකට ගෙවූ ප්‍රීතිමත් අවස්ථා ආදියත් ගැන මට කීය. මීට පෙර කිසිවිටෙකත් නොසිතූ විරූ ආකාරයට මගේ පියා සරල ඉතා ප්‍රියමනාප ලෙස මට පෙනුණේ මේ කතා නිසාය. සර්ජි මගේ රුචි අරුචිකම් ගැන මා කියවන පොත් ගැන සහ මා කරන්ට අදහස් කරන දේවල් ගැන විමසමින් ඒ පිළිබඳව උපදෙස් දුන්නේ ය. කෙළවරක් නැතුව විහිළු කරන, මට සරදම් කරන, මට සෙල්ලම් බඩු තනා දෙන විනෝදාත්මක මිතුරා අතුරුදන් වී ගොසිනි. දැන් ඉන්නේ විවෘත හදක් ඇති බරපතළ ආදරබර අයෙකි. ඔහු පිළිබඳව නිරායාසයෙන් ම මා තුළ ඇල්මක් හටගත්තේ ය. ඔහු හා කතා කරන විට මා තුළ යම් ආතතියක් ඉබේම හටගන්නා බවක් දැනුණු නමුත් මම මහත් ප්‍රීතියට හා සැහැල්ලුවට පත්වීමි. මා කතා කළ සැම වචනයක්ම කිරා බැලුවෙමි. හුදෙක්ම මගේ පියා නිසා ඔහු දැනටමත් මා ගැන ඇති ඇල්ම, මා නිසා ම ලබා ගන්නට මට අවශ්‍ය විය.”
මාර්යා ඇලෙක්සැන්ද්රොව්නාලාගේ නිවාස පාලිකාව මෙන් ම සුළු මවක් වැනිව මාෂාට සහ සෝනියාට ආදරය කරන කාත්යාගේ නොමඳ ආශීර්වාදය මේ යුවළට ලැබෙයි.
ඇය සිය සිත ඉපැදි ආදරය ඔහුට හෙළි කරයි. තමා ද ඇයට ආදරය කරන බව ඔහු වටහා ගනියි. තමා මේ පෙදෙස හැරදා යන්නට තීරණය කළ බව දිනෙක ඔහු ඇය හා කියයි. එහෙත් ඒ ඇත්ත නොවන බව ඇගේ ප්‍රශ්න කිරීම්වල දී ඔහුට පිළිගන්නට සිදු වෙයි.
ඉතින් ඔවුහු විවාපත් වෙති. නව යුවළ සැමියාගේ නිවෙසේ පදිංචියට යති. සර්ජි සිය මවට ඉතා ආදරය කරන අතර ඒ අම්මා පුතුට මෙන් ම ලේලියට ද එකසේ ආදරය කරයි. එහෙත් නොබෝ දිනෙකින් ම මේ පිටිසර ඒකාකාරී දිවි පෙවෙත ඇයට නුරුස්නේ වෙයි. සර්ජි ඇය කැටුව පීතර්ස්බුර්ග් නුවර පදිංචියට යයි.
ඒ නුවර දී ඇය ඉහළ පන්තියේ කාන්තාවන්ගේ ඇසුරට වැටෙයි. ඒ කාන්තාවෝ මේ ළාබාල ගැමි යුවතියට ඇලුම් කරති. ඇය බාල්වලට සහ නැටුම්වලට සහභාගි වන්නට ආසා කරයි. සර්ජි ඒවාට ඇය කැටුව යයි. ඔහුගේ සිතේ මේවා ගැන නොරිස්සුමක් වෙතත් ඇයට එය නොහඟවයි.
පීතර්ස්බුර්ග් සමාජය තම බිරිය ගැන දක්වන උනන්දුව ගැන සර්ජි බෙහෙවින් සතුටු වන නමුත් “සමාජය” සඳහා වූ ඇගේ ආශාව ගැන කෝපයට පත් වෙයි. එහෙත් ඔහු ඇයට බලපෑම් කරන්නට උත්සාහ නොකරයි. ඔහුගේ සිතේ ඇය ගැන ඇති ගෞරවය නිසා ය ඒ.
මේ නිසා, ඔහු තම නව යොවුන් බිරියට “සමාජයේ” හිස් බව සහ කැතකම පිළිබඳ සත්‍යය තනිවම වටහා ගන්නට ඉඩ සලසයි. එහෙත් කෙමෙන් සිය බිරිය කෙරෙහි ඔහුගේ විශ්වාසය පළුදු වේ. අවසන ඔවුහු එකිනෙකාගේ වෙනස්කම් ගැන එකිනෙකාට මුහුණ දෙති.
තමන් අතර පැවැති දැඩි ආදරය හදිසියේ ම ප්‍රශ්නයට ලක්වීම නිසා දෙදෙනා ම කම්පනයට හා ශෝකයට පත්ව සිටිති. යමක් වෙනස් වී ඇත. උඩඟුකම නිසා දෙදෙනා ම ඒ ගැන කතා කිරීමෙන් වැළැකී සිටිති. ඔවුන් අතර විශ්වාසය හා සමීපකම නැති වී යයි. ආචාරශීලි මිත්‍රත්වය පමණක් ඉතිරි වේ. ඒ අතර පීතර්ස්බුර්ග් ආගමනයට පෙර සිටි දැඩි සමීපතාවට නැවත පැමිණීමට මාෂා ආශා කරයි.
ඔවුහු පෙරළා ගමට යති. දරුවන් බිහි කළත්, යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ආදරය පිළිබඳ තමාගේ සියලු අපේක්ෂා සුන් ව ඇති බවක් ඇයට දැනෙයි.
ඔවුන්ගේ දැඩි ආදරය වෙනස් වූයේ ඇයි? ඔවුන් එය නැවත ගෙන ඒමට උත්සාහ නොකරන්නේ ඇයි? තමා පීතර්ස්බුර්ග් සමාජයට එක් වීම ඔහුට නොරිසි විණි නම් ඒ බව ඇයට නොකීවේ ඇයි? ඔහුගේ පිළිතුර ඇය අසන්නට බලා සිටි පිළිතුර නොවේ. එහෙත් ඒ ඇසුරෙන් ඔවුන් අතර දිගු සංවාදයක් ඇතිවේ. එයින් සමෝධානයක් ඇතිවේ. ඔවුන්ගේ ආදරය අලුත් වෙයි.
“ඉක්බිති මම ඔහුගේ සිඟිති ශීතල දෙපා, ඔහුගේ බඩ පොඩිත්ත සහ මෘදු කෙටි හිස කෙසින් යාන්තමින් වැසුණු සිඟිති හිස සිප ගන්නට වීමි. මගේ සැමියා මා අසලට ආවේය. මම වහා සිඟිත්තාගේ මූණ වසා නැවත විවෘත කළෙමි.
‘ඉවාන් සර්ජිච්’ මගේ සැමියා ඇඟිල්ලකින් පුතාගේ නිකට යට කිතිකවමින් කීය. එහෙත් මම නැවත දරුවා වසාලීමට යුහුසුලු වීමි. ඔහු දෙස බොහෝ වෙලා බලා සිටිය යුත්තේ මා විනා වෙන කිසිවෙක් නොවේ. මම මගේ සැමියා දෙස බැලීමි. මගේ දෙනෙත් හමු වූ විට ඔහුගේ දෙනෙතින් පිළිඹිබු වූයේ මහා සිනාවකි. දිගු කලකට පසු ප්‍රථම වාරයට ඒ දෙස බැලීම පහසුවක් හා ආනන්දයක් වූ බව මට හැඟුණේය.
මගේ දරුවන් ද මගේ දරුවන්ගේ පියා ද පිළිබඳ අලුත්ම ආකාරයේ ආදරයක්, අලුත් ජීවිතයකට සහ අද මේ දක්වා මා වින්දනය කරන වෙනස් ම ආකාරයක අතිමහත් ආනන්දයකට පදනම ස්ථාපනය කළේය…..”
ඉනික්බිති ඔවුන් එතැන් සිට සදාකල් ආනන්දයෙන් දිවි ගෙවූ බව එනයින් දත යුතු.
‘සදාකල් ආනන්දයෙන්’ රාණි සේනාරත්න රාජපක්ෂගේ පරිවර්තනයකි.