ඉන්දියාවේ 18 වැනි ලෝක් සභා ඡන්ද විමසීම පසුගිය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර එය අදියර හතකින් ඉදිරියට ගොස් ජූනි 01 වැනිදා අවසන් විය. ඒ ඡන්ද වීමසීමේ ප්‍රතිඵල ජූනි 04 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තෙවැනි වරටත් ජයග්‍රහණය කර තිබේ. මෙම ලෝක් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිපල ඉතා සංක්ෂිප්තව විමසා බැලුවහොත්, 2014 වසරේ සිට ඉන්දියාව පාලනය කරන අගමැති නරේන්ද්‍ර දමෝර්දදාස් මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිට පිටම තුන්වන වතාවටත් ජයග්‍රහණය කර තිබේ. මෙම මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරිපත් වූයේ සන්ධාන ලෙසය. ඒ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය හා රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ සංධානය යි.
ඉන්දීය ලෝක් සභාවේ මුළු ආසන සංඛ්‍යාව 545 වන අතර ඡන්ද විමසීම සිදු වන්නේ ආසන 543කය. ඉතිරි ආසන දෙක ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව දෙකෙන් බෙදා ඒකට එකක් එකතු කර සරල බහුතරය ලෙස 272ක් හිමිකරගන්නා පක්ෂය ආණ්ඩු බලය අත් කරගැනීමට හැකි වේ. ඒ අනුව ඡන්දය පැවති ආසන 543න් අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය අසන 240ක් හිමිකර ගෙන තිබේ. නමුත් 2019 පැවති මහ මැතිවරණයෙදී භාරතීය ජනතා පක්ෂය තනිව අසන 303ක් දිනා ගත්තේය. ඒ අනුව ඔහුට තනිවම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාව තිබුණි. නමුත් මෙවර ඔහු නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්ව ලබාගෙන ඇති මුළු ආසන සංඛ්‍යාව 293කි. 2019 මහ මැතිවරණයේදී මේ සන්ධානය එකතුවී ලබාගත් අාසන සංඛ්‍යාව 353 විය.
අගමැති මෝදිගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොන්ග්‍රසය ප්‍රමුඛ සන්ධානය අසන 232ක් ලබා ගත්තේය. 2019 වසරේදී මෙම සන්ධානය ඉදිරිපත් වූයේ එක්සත් ජනතා සංධානය යන නමින් වන අතර එහිදී ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 52කි. මෙවර මෙම විපක්ෂ සංධානය ඉතාමත් ඉදිරියට ගමන් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම විපක්ෂ සංධානය ඉතාම මෑතකදී ගොඩනැඟුණු එකක් වන අතර එය ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන්නේ ඉන්දියා (INDIA) කියාය. එනම්, ඉන්දීය ජාතික සංවර්ධන සහභාගීත්ව සන්ධානය (ඉන්ඩියන් නැෂනල් ඩිවලප්මන්ට් ඉන්ක්ලූසිව් එලයන්ස්) ලෙසය. මෙය පක්ෂ 28කින් සැදුම්ලත් සන්ධානයකි. දේශපාලන විද්‍යාත්මක අර්ථයෙන් මේ සියලුම පක්ෂ වාමාංශික හා මධ්‍ය වාමාශික පක්ෂ ලෙස හැඳින්විය හැකි අතර මෝදි නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පක්ෂ 23ක් නියෝජනය කරන අතර එය දක්ෂිණාංශික සන්ධානයකි.
මෙවර මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය දෙස අවධානය යොමු කිරීමේදී මෙය බොහෝදෙනා මවිතයට පත් කළ ඡන්ද ප්‍රතිඵලයකි. මක්නිසාදයත් ඡන්දයට ප්‍රථම ඉන්දියාවෙත් වෙනත් රටවලත් අපේ රටෙත් බොහෝදෙනා සිතා සිටියේ කජු කනවා සේ ඉතාම පහසුවෙන් අගමැති මෝදි ජයග්‍රහණය කරනු ඇති බවය. සාමාන්‍යයෙන් මහ මැතිවරණයක් පවත්වනවිට බටහිර රටවල මෙන්ම ඉන්දියාවෙත් අපේ රටෙත් ජනමත සමීක්ෂණ පැවැත්වෙන අතර ඡන්දය අවසන් වෙමින් තිබෙන විට ද ජනමත සමීක්ෂණ පැවැත්වේ. ප්‍රකට සමීක්ෂණ ආයතනවලින් සිදු කළ මෙවැනි සමීක්ෂණ ගණනාවකින් කියැවුණේ නරේන්ද්‍ර මෝදි ඉතා විශිෂ්ට ජයක්ග්‍රහණයක් ලබන බවය. ඉන්දියා ටුඩේ නැමැති ඉංග්‍රීසි බසින් පළවන සඟරාව විසින් කළ සමීක්ෂණය මඟින්ද අනාවරණ කර තිබුණේ භාරතීය ජනතා පක්ෂයට පමණක් ආසන 322ත් 340ත් අතර ප්‍රමාණයක් නියත වශයෙන්ම හිමිවනු ඇති බවය. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 361ත් 401 අතර ප්‍රමාණයක් හිමිවනු ඇති බවය. අනෙකුත් සමීක්ෂණ වාර්තා මඟින් ද පවසා සිටියේ මේ හා සමාන අනාවැකිය.
එපමණක් නොව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තම මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රකාශ කර සිටියේ ඔහු නායකත්වය ලබාදෙන භාරතීය ජනතා පක්ෂයට පමණක් ආසන 370ක් හිමිවනු ඇති බවත්, ඒ අනුව ඔහුගේ නායකත්වය යටතේ තරග කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අසන 400ක් හිමිවනු ඇති බවත්ය. නමුත් එය එසේ සිදු නොවූ බව අප දැන් හොඳින් දනී.
මෙවර මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ බලකොටුව වූ වරණාසි නගරයේ ඔහුට මීට පෙර ලැබී තිබූ විශාල වැඩි ඡන්ද ප්‍රමාණය පහළ බැස තිබුණි. එසේම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මහ ඇමතිවරයා ලෙස බලය තහවුරු කළ ඔහුගේ දේශපාලන ගමනේ කේන්ද්‍රය වූ ගුජරාට් ප්‍රාන්තයේ මෙතෙක් ඔහුට පෞද්ගලිකව ලැබී තිබූ ඡන්ද ප්‍රමාණය ද විශාල ලෙස අඩුවී තිබුණි. මෝදි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමතිවරියක වූ ස්ම්‍රිති ඉරානි කොන්ග්‍රස් පක්ෂය හමුවේ පරාජයට පත් විය. ඉන්දිරා ගාන්ධි මැතිනිය පවා නියෝජනය කළ මෙම මැතිවරණ කොට්ඨාසයේ රාහුල් ගාන්ධි ආසන දෙකකට තරග කළ අතර එහි එක් ආසනයකින් ඔහුට ලැබී තිබූ මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 6කටත් වඩා වැඩි විය. මෙම අනපේක්ෂිත ප්‍රතිඵලය නිසා බොහෝදෙනා මවිතයට පත්ව තිබේ.
අගමැති මෝදි නියෝජනය කරන සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාව හිමිව ඇති නිසා ඔහු තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන අතර එය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් ද වේ. මීට ප්‍රථම පිට පිටම තුන්වතාවක් අග්‍රාමාත්‍යවරයා බවට පත් වූයේ ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා වූ පණ්ඩිත් ජවහර්ලාල් නේරුය.
අගමැති මෝදි ඡන්ද ව්‍යාපාරයට පෙර සිටම දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන තිබිණි. මේ සඳහා ඔහු තමන් යටතේ පවතින සම්පත්, නවීන තාක්ෂණය, ඩිජිටල් වේදිකා ආදී සෑම දෙයක්ම භාවිත කර තිබූ අතර තාප්ප හා නගර මධ්‍යයේ මෝදිගේ දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කර තිබුණි. එසේම මෝදි අගමැතිවරයාට දේවත්වය ආරෝපණය කිරීමක් පවා සිදු කර තිබුණි. වරක් ඔහුම ප්‍රකාශ කර සිටියේ “ දෙවියන් විසින් තමන් මේ ලෝකයට එවා ඇත්තේ ඉන්දියාව පාලනය කිරීමට හා එය සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා” බවයි. තනි පක්‍ෂයක බලයට ඉන්දියාව නතු කළ යුතුයි කියන මතය ඔහු තුළ දැඩිව පැවතිණි. මෙම ඡන්ද ප්‍රතිඵලය විසින් ඒ මතය දැඩිව අභියෝගයට ලක්කර තිබේ. දශකයක පාලනයකින් පසු අති මහත් බහුතරයක් මෝදිට ලැබේවි යැයි ඔහු මෙන්ම බටහිර මාධ්‍යයෙන් ද විශ්වාස කළ නමුත් එය එසේ වී නැත.
තෙවන වරටත් මෝදි ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත්වීම පිටුපස ඇති ප්‍රධාන සාධක වන්නේ ඉන්දියාව ලෝකයේ ඉහළම වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතයක් සහිත රටක් බවට පත් කිරීමට ඔහුගේ පාලන කාලය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ය. දළ වශයෙන් පසුගිය වසරවල එය සියයට 6ත් 8ත් අතර අනුපාතයක් ගත්තේය.
එසේම ඔහුගේ පාලන කාලය තුළ ඉන්දියාව ලෝකයේ පස්වන ආර්ථික බලවතා බවට පත් විය. ඔහු ඡන්දයේදී පවසා සිටියේ 2025 වන විට ඉන්දීය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 දක්වා වැඩි කරන බවත් 2030 වන විට එය ට්‍රිලියන 10ක ආර්ථිකයක් දක්වා වර්ධනය කරන බවත්ය. එහෙත් මෙම ආර්ථික මාදිලියේ ආරම්භකයා මෝදි ආණ්ඩුව නොව 1991 අගමැතිවරයාව සිටි නරසිංහ රාවොගේ ආණ්ඩුවය. ඔහුගේ මුදල් ඇමතිවරයා වූයේ සුප්‍රකට ආර්ථික බුද්ධිමතකු වූ මන්මෝහන්සිංය. නව ලිබරල් ආර්ථික මොඩලයට ඉන්දියාව විවෘත කළේ ඔහු විසිනි. මෝදි අගමැතිවරයා විසින් එය ඉතාම පළල් ආකාරයෙන් ඉදිරියට ගෙන ගියේය. බටහිර ධනවත් රටවල අප දකින අති නවීන ගොඩනැඟිලි, මහා වෙළෙඳසැල්, වරාය, ගුවන්තොටුපල, මන්තීරු හයේ හතේ අධිවේගී මාර්ග, උමං දුම්රිය, අහස් දුම්රිය මේ ආදී සෑම දෙයකම ඉතාම සීග්‍රයෙන් වර්ධනය කිරීමට අගමැති මෝදිගේ පාලනය සමත් විය. එසේම විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ද විශාල දියුණුවක් ඇති වූ අතර හඳේ මින් පෙර ගවේෂණය නොකළ දක්ෂිණ ද්‍රැවයට සාර්ථකව අභ්‍යාවකාශ යානයක් ගොඩබැස්වීමට පවා ඉන්දියාව සමත් වූයේ ඔහුගේ පාලන සමයේදීය.
එසේම ඔහු ඉන්දියාවේ බහුතර ජනතාවට ආමන්ත්‍රණය කළ හැකි හින්දු ආගමේ මූලධර්ම මත ගොඩනැඟුණු ආර්ථික සමාජ හා සංස්කෘතික පසුබිමක් ඇති කිරීමට කටයුතු කළේය. ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ පටන් ඔහු තුළ මේ අදහස් දක්නට ලැබුණි. මෙම අදහස් ඉන්දියාවේ බහුතර ජනයා උන්මාදයට පත් කිරීමට උපකාර වුවත් එය ඉන්දියාවේ සුවිශාල මුස්ලිම් ජනගහනයක් මෝදි අාණ්ඩු විරෝධී තැනකට තල්ලු කරනු ලැබීය.
මුස්ලිම් නොවන රටක සිටින විශාලම මුස්ලිම් ජනගහනය සිටින්නේ ඉන්දියාවේය. එය කෝටි 20ක් පමණ වේ. එවැනි රටක හින්දු මතවාදය පමණක් අන්තවාදීව පැලපදියම් කිරීමට යෑම නිසා විශාල සමාජ බෙදීමක් ඇති කිරීමට ඔහු මුල් විය. මීට කදිම උදාහරණය වන්නේ මෙම වසර මුලදී අයෝධ්‍යා නගරයේ මුස්ලිම් දේවස්ථානය පිහිටි ස්ථානයේ රාම් දේවස්ථානය ඉදිකිරීමය. එසේම හින්දු අන්තවාදීන් විසින් මුස්ලිම් ජනයාට පහරදී ඝාතනය කිරීම ද මෝදිගේ මෙම පිටුබලය නිසා සිදු විය. ඔහුගේ මේ අන්තවාදී අදහස් ඔහු කෙරෙහි විශාල ආකර්ෂණයක් ඇති කිරීමට මුල් වූ අයුරින්ම ඔහුගේ පසුබෑමට ද එය මුල් වී ඇති බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වේ. ඔහු පුද්ගල වන්දිත ප්‍රතිරූපයක් ගොඩනඟමින් මෝදි ‘ඉන්ද්‍රජාලයක්’ලෙස පෙන්වා දෙමින් සන්නාමයක් ගොඩනඟා තිබුණ ද එය මේ වනවිට බිඳ වැටෙමින් ඇති බව මේ ඡන්ද ප්‍රතිඵලය පෙන්නුම් කර තිබේ.
එසේ වුවත් මෝදිගේ පාලන කාලය තුළ ඇති වූ ආර්ථික වර්ධනය නිසා විශාල පිරිසක් අතට ආදායම් ගලා අාවේය. දිළිඳුකම සම්පූර්ණයෙන් නොවුණ ද යම් පමණකට අඩු විය. විශාල මධ්‍යම පන්තියක් ගොඩනැඟිණි. එසේම ඉන්දීය බුද්ධිමතුන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් මහා පරිමාණ ආයතනවල ප්‍රධාන විධායකයන් බවට පත්ව තිබේ. නමුත් මේ ආර්ථික වෘද්ධිය සමාජයේ ඉහළ තලයට පමණක් සීමි වූ අතර පහළට ගලා ආවේ නැත. මෙනිසා ආර්ථික හැකියාවක් ඇති සුළුතරයක් විශාල ලෙස සිය ආර්ථික හැකියාවන් වර්ධනය කර සුඛෝපභෝගී ජීවිත ගත කරද්දී තවත් විශාල පිරිසක් මේ ආර්ථිකයෙන් අන්ත දිළින්දන් බවට පත් කෙරිණි. උදාහරණයකට මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය පෙන්වාදිය හැකිය.
ලොව ප්‍රධාන පෙලේ ධනවතුන් මෝදිගේ පාලනය විසින් බිහි කර තිබුණ ද මේ වනවිට ඉන්දියාවේ අධ්‍යාපනය ලැබූ තරුණ ප්‍රජාව අතර විරැකියාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 8.1කි. පහත් යැයි සැලකෙන කුලවල රැකියා විරහිත අනුපාතය මීටත් ඉහළය. මෙනිසා විශාල දිළිඳු ප්‍රජාවක් එරට තුළ බිහිවෙමින් තිබේ.
එසේම ඔහුගේ ඡන්ද ප්‍රතිඵලය අඩුවීමට බලපෑ තවත් කාරණය වන්නේ ඔහු විසින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට ගත් ක්‍රියාමාර්ගය. මේ නිසා ස්වීඩනයේ පර්යේෂණ ආයතනයක් විසින් ඉන්දියාව හඳුන්වා දී ඇත්තේ ඡන්දයෙන් පවත්වා ගෙන යන ප්‍රභූතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසය. නියෝ ලිබරල් ආර්ථික මොඩලය විසින් ඇති කර තිබෙන අසමානතා පිරුණු ඇස් නිලංකාර කරන සංවර්ධනය විසින් විරැකියාව, සමාජ අසහනය වර්ධනය කර තිබෙන ආකාරයත් රට තුළ විශාල දිළිඳු ප්‍රජාවක් නිර්මාණය කර ඇති ආකාරයත් මෙම ඡන්ද ප්‍රතිඵලය විසින් අපට මනාව වටහා දී තිබේ. නියෝ ලිබරල් ආර්ථික මොඩලය හරහා අද ස්වාධීන රාජ්‍යයන් පවා මෙහෙය වන්නේ පාරජාතික සමාගම් විසිනි. ඉන්දියාව තමන් අවට ඇති රටවල් තම අණසක මත පවත්වා ගෙන යාමට කටයුතු කරන අතර ඒ වෙනුවෙන් ව්‍යවසායකයන් යොදවා ඇති ආකාරය ද පෙනෙන්නට තිබේ. අද නේපාලය පවසන්නේ ඉන්දියාවේ මෙම බලපෑම නිසා නේපාලයට දියුණු විය නොහැකි බවයි. මේ නිසා ඉදිරියේදී අප රටට වුවත් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව අවදියෙන් කටයුතු කිරීම මෙරට පාලකයන්ගේ වගකීම වෙයි.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක
රසික කොටුදුරගේ