Home » රෝයල් පාක් ඝාතකයාට දුන් ජනපති සමාව මෛත්‍රීට පාරාවළල්ලක් වූ හැටි

රෝයල් පාක් ඝාතකයාට දුන් ජනපති සමාව මෛත්‍රීට පාරාවළල්ලක් වූ හැටි

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment
ඝාත­න­යට ලක් වූ ඉවෝන් ජොන්සන් සහ ඝාතක ජූඩ් ශමන්ත ඇන්තනී ජය­මහ

ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ධනපතියන් ජීවත් වූ රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ සුපුරුදු නිහැඬියාව 2005 ජූලි මස 01 වැනිදා බිඳී ගියේ ජීවිත කාලය තුළදී තමන් කිසිසේත් දැකීමට අපේක්ෂා නොකළ බියකරු දර්ශනයකින් කම්පිත වූ ස්වීඩන් සිංහල මිශ්‍ර ජාතික පවුලේ සාමාජිකයන්ගේ විලාපයෙනි.

ස්වීඩන් ජාතික පියකුට සහ ශ්‍රී ලාංකික මවකට දාව එළිය දුටු සුරූපී ඉවෝන් ජොන්සන් නම් වූ සුරූපී 19 වියැති තරුණියගේ පොඩිපට්ටම් වූ හිස සහිත හැඳ සිටි ඇඳුමින් ගෙල සිර කළ මළ සිරුර දුටුවන්ගේ සිත් ප්‍රකම්පනය කිරීමට සමත්ව තිබිණි.

සිය මවුපියන් සහ සොයුරිය වූ කැරලැයින් ජොන්සන් සමඟ රෝයල් පාක් නිවාස සංකීර්ණයේ ජීවත් වූ ඇය සිය දිගුකාලීන පාසල් මිතුරු ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගිය අතර මවුපියන්ගේ ඉල්ලීම මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී සිටියාය.

එම කාලය තුළ ඉවොන්ගේ සොයුරිය වූ කැරලැයින් ජෝන්සන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ජූඩ් ශමන්ත කටයුතු කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ඉවෝන් ජොන්සන් කිසිවක් දැන නොසිටියාය.

කැරොලයින් සහ ජූඩ් 2005 ජූනි මස 30 වැනිදා රාත්‍රි සමාජ ශාලාවකට යාමට සූදානම් වූ අවස්ථාවේදී ඉවෝන් ද ඊට එක්වූවාය.

එහිදී සිය සොයුරිය සමඟ ජූඩ්ගේ ඇති සම්බන්ධය පිළිබඳව ඉවෝන්ගේ සිතේ සැක ඇතිවෙමින් තිබුණි. ඒ පිළිබඳව සමාජ ශාලාවේදී ඇය ජූඩ්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

සිය හිස රිදෙන බව පැවසීම නිසා කැරොලයින් ජෝන්සන් සමඟ ජූඩ් ශමන්ත නැවත නිවෙසට පැමිණ තිබූ අතර ඇය නිවෙසේ රඳවා පිටතට යන අවස්ථාවේදී 24 වන මහලේ විදුලි සෝපානය අසලදී ඔහුට ඉවෝන් ජොන්සන් මුණගැසී තිබිණි.

එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වූ අතර එම බහින්බස් වීම සමඟින්ම ඔවුන් තරප්පු පෙළ දිගේ මහල් කිහිපයක් පහළට පැමිණ තිබිණි.

මෙහිදී දැඩි ලෙස කෝපයට පත් වූ ජූඩ් ශමන්ත ඉවෝන් ට පහර දී ඇගේ හිස කිහිප වරක් බිත්තියෙහි වද්දා පොඩිපට්ටම් කිරීමෙන් නොනැවතී ඇගේ කෙස් වැටියෙන් ඇදගෙන 19 වැනි මහලට පැමිණ ඇත. අනතුරුව ඇය ඇඳ සිටි ජීන්ස් වර්ගයේ දිගු කලිසම ගෙන ඇගේ ගෙල සිර සිරකොට මරා දමා තිබිණි.

පසුදින පැවති පන්තියකට සහභාගී වීමට කැරලයින් ජොන්සන් සහ ඇගේ මව නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එහි යම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු වූයේ නැත.

එහෙත් පසුව ඔවුන්ට දැක ගැනීමට ලැබුණේ ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ ඉවෝන්ගේ පොඩි පට්ටම් වූ හිස සහිත මළ සිරුරය.

බාහිර පුද්ගලයන්ට ඇතුළු විය නොහැකි ලෙස ආරක්ෂක නිලධාරීන් ද සහිතව සුවිශේෂී ජනකොටසක් ලෙස ජීවත්වූ පිරිසක් පදිංචිව සිටි රෝයල් පාක් නිවාස සංකීර්ණයට ප්‍රවේශ වීම අසීරු මෙන්ම අපහසු කටයුත්තක් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන් සහ වැලිකඩ පොලිසිය ඉවෝන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළහ.

එම අවස්ථාවේදී අදාළ ඝාතනය ගැන කිසිවක් නොදන්නා අයුරින් හැසිරීමටත් එම ස්ථානයට පැමිණ ඉවෝන් ජොන්සන්ට අවසන් ගෞරව දැක්වීමටත් ජූඩ් ශමන්ත කටයුතු කර තිබුණි.

කෙසේ වුව ද ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමේදී බිත්තියේ වූ ලේ තැවරුණු ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක් කළ අතර එම ඇඟිලි සලකුණු ජූඩ් ශමන්තගේ බවට ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව තහවුරු කළේය. එම ඇඟිලි සලකුණ මත වූ ලේ ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන්ගේ බවට ඩී. එන්. ඒ. පරීක්ෂණ මඟින් අනාවරණය කෙරිණ.

ඉවෝන් ජොන්සන්ගේ හිස පඩිපෙළේ සහ බිත්තියේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඝාතනයට ලක් වූ සිය සොයුරියට උපරිම සාධාරණය ඉටු කිරීම සඳහා නීතියේ හස්තයට දෑත දිගු කළ කැරොලැයින් ජොන්සන් තමන් දන්නා සියලුම කරුණු විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ කළාය.

ඒ අනුව ජූඩ් ශමන්ත ඇන්තනි ජයමහ එම වසරේදීම අත්අඩංගුවට ගැනිණි.

ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ අතර 2005 ජූලි මස පළවෙනිදා හෝ ඊට ආසන්න දිනක ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම ඔහුට එරෙහිව නඟා තිබූ අධිචෝදනාව විය.

එකී නඩු විභාගය දින පනස් පහක් පුරා මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න හමුවේ සිදුකෙරුණු අතර එවකට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාව සිටි ජයන්ත ජයසූරිය විසින් පැමිණිල්ල වෙනුවෙන් සාක්කි මෙහෙයවන ලදී.

ඝාතනයට ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොයුරිය වූ කැරලයින් ජොන්සන් එම විභාගයේ ප්‍රධාන සාක්කිකාරියක වූ අතර බටහිර පන්නයට ජීවත් වූ ඔවුන්ගේ ජීවන රටාව සහ රාත්‍රි සමාජ ශාලාවල කාලය ගත කරන අයුරු මෙන්ම ඔවුන් අතර ඇතිවූ බව කියන ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නඩු විභාගයේදී ඇය විසින් සාක්කි ලබාදෙනදි.

එහිදී පැමිණිල්ල විසින් ම අදාළ ස්ථානයෙන් ලබාගත් රුධිර සාම්පලවල අයත් ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකාර ජූඩ් ශමන්ත මානසික රෝගයකින් නොපෙළුණු බවට එහිදී සාක්ෂි ඉදිරිපත් විය.

තරුණියගේ මුහුණ කිහිප වරක් බිත්තියේ හප්පා ඇති අතර කෙස් වැටියෙන් අල්ලා තරප්පු පෙළ දිගේ ඇදගෙන ආ බවට ස්ථානීය පරීක්ෂණ සහ සාක්ෂි මඟින් නඩු විභාගයේදී අනාවරණය විය.

එම නඩු විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව තීන්දුවක් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ අතර විත්තිකරු සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට තීන්දු කරමින් වසර දොළහක බරපතළ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් වින්දිත තරුණියගේ පාර්ශ්වයට ගෙවීමට ද නියම කෙරිණ.

එකී තීරණයෙන් අගතියට පත් විත්තිකාර ජූඩ් ශමන්ත තමන්ට නියම කළ සිරදඬුවම් ඉවත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ අතර ඔහුට නියම කළ දඬුවම ප්‍රමාණවත් නොවන බැවින් එම දඬුවම වැඩි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ද අභියාචනයක් ඉදිරිපත් කරන ලදි.

එම අභියාචනා පෙත්සම් දෙක විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුගේ අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයාගේ අභියාචන පෙත්සමට අවසර ලබා දුන්නේය.

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අභියාචනාධිකරණය විසින් ම මරණ දඬුවමක් පනවමින් විත්තිකරුට නියම කර තිබූ වසර දොළහක සිර දඬුවම මරණ දඬුවම තෙක් ඉහළ නැංවීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එහිදී තීරණය කළේය.

එකී තීරණයෙන් අතෘප්තියට පත් විත්තිකරුගේ මවුපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින් ප්‍රකාශයට පත් කළේ විත්තිකරුවකුට මරණ දඬුවම ලබාදීමේ බලය මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද ඇති බවය.

ඒ අනුව විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් ලබා දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කරන ලදී.

අනතුරුව බන්ධනාගාරගත කරන ලද ජූඩ් ශාමන්ත ට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කරමින් ඔහුට නියම වී තිබූ මරණ දඬුවම ජීවිතාන්තය තෙක් වන සිරදඬුවමක් බවට පත් කිරීමට 2016 මැයි මස 17වැනිදා එවකට විධායක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබිණි.

අනතුරුව 2019 ඔක්තෝබර් මස 3 වැනිදා ගන්න ජූඩ් ශමන්ත ජයමහ නමැත්තාට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කරමින් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා කටයුතු කළේය. එම වගන්තිය යටතේ සුවිශේෂි සමාව ලැබීමෙන් අනතුරුව ජූඩ් ශමන්ත එදිනම රටින් පිටවූ බවට වාර්තා පළ විය.

ජූඩ් ශමන්ත ට තමන් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට යන බවට ඊට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිවරයා ඊට හේතුව ලෙස දක්වා තිබුණේ ඔහුට සමාව ලබා දෙන ලෙස ඔහුගේ මවුපියන් විසින් පෞද්ගලික ඉල්ලීමක් කර තිබීමත් කෝපයට පත් වීම නිසා සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් එම ඝාතකයා පසුතැවීමට පත් වී තිබීමත් යන කරුණුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරෙයි.

එම සමාව ලබා දීමට එරෙහිව කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව නමැති සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ ජනාධිපති සමාව ලබාදීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට තීන්දුවක් ලබා දී එම සමාව ලබාදීම අහෝසි කරන ලෙස ඉල්ලමිනි.

පෙත්සම් විභාගය පැවති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් කරුණු දැක්වූ අතර වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. දින කිහිපයක් පුරා පැවති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් වන තීන්දුව පසුගිය 06 වැනිදා ‍ප්‍රකාශයට පත් කළේය.

මෙම පෙත්සම විභාග කළ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව වූයේ අදාළ සමාව ප්‍රදානය කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවසන් ඒකමතික තීන්දුවක් ලබා දුන් විනිසුරුවරුන් තිදෙනාම ඊට හේතු පැහැදිලි කරමින් පිටු තුන්සිය හයකින් යුතු නඩු තීන්දු තුනක් වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කළහ.

එම හේතු පැහැදිලි කිරීම් ඇතුළත් සාරාංශ නඩු තීන්දු විනිසුරුවරුන් තිදෙනා විසින්ම විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව රාජගිරිය රෝයල් පාක් මිනීමැරුමට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාවන් දෙකක් ලබාදීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විසින් ලබා දී ඇති පරමාධිපත්‍ය බලය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බව ට ඒකමතිකව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි බලරහිත කිරීමට තීරණය කළේය.

සිරකරුවකුට ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ජූඩ් ශමන්තට සමාව ලබාදීමේදී හිටපු ජනාධිපතිවරයා අනුගමනය කර නැති බව ද එම සමාව ලබාදීමට හේතු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත් වී ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදි.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් පෙත්සම්කාර පාර්ශ්වයට සහ රුපියල් ලක්ෂ දහය බැගින් වන වන්දි මුදල් ඝාතනයට ලක් වූ තරුණියගේ පියාට සහ සොයුරියට සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරන ලදි. එසේම ඔවුන්ට වැය වූ නඩු ගාස්තු ද ඔහු විසින් ගෙවිය යුතු බවට නියම කරන ලදි.

සිය දියණිය අහිමි වූ මවුපියන්ට නීතියේ පිළිසරණක් ද නොමැතිව විඳීමට සිදු වූ මානසික පීඩාව පිළිබඳව අධිකරණයේ සුවිශේෂි අවධානය යොමු වූ බව ද එම පීඩාව සහ ඔවුන්ට අත්විඳීමට වූ මානසික වේදනාව මුදලින් තක්සේරු කළ නොහැකි වුව ද ඔවුන්ට යම් සාධාරණයක් ඉටු කිරීම උදෙසා මෙම වන්දි මුදල ඔවුන් වෙත ගෙවීමට හිටපු ජනාධිපතිවරයාට නියම කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් අවධාරණය කළේය.

ජනතාව ගෙවන බදු මුදල් මෙවැනි ක්‍රියාවන් සඳහා වන්දි ගෙවීමට යෙදවීම සුදුසු නොවන බැවින් අදාළ මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් රුපියල් සියය බැගින් වන වන්දි මුදලක් සහ ඊට අදාළ නඩු ගාස්තු පෙත්සම්කාර පාර්ශ්වය සහ ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන් වෙත ගෙවන ලෙස රජයට නියම කරන බව ද නඩු තීන්දුවෙහි සඳහන් වේ.

දැනට මෙරටින් පලා ගොස් සිටින බව පැවසෙන ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තා සිටින තැනකින් සොයාගෙන මෙරටට රැගෙන ඒම සඳහා උදර්පන නීතිය සහ ජාත්‍යන්තර සම්මුතීන් අනුව කටයුතු කරන ලෙස ද බලධාරීන්ට නියම කෙරිණ. මෙරටට රැගෙන ආ විගස ඔහු නැවත බන්ධනාගාරගත කරන ලෙස ද නීතිපතිවරයාට නියම කරන ලදි.

ජූඩ් ශමන්තට සමාව ලබාදීමේදී තවත් සිරකරුවන් හැටනම දෙනෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබාදී ඇති අතර එම සිරකරුවන්ට මෙම නඩු තීන්දුව මඟින් කිසිදු බලපෑමක් නොවන වන බව ද එම තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

මෙම විත්තිකරුට දෙවන වරට ජනාධිපති සමාව ලබාදීම 2019 ඔක්තෝබර් මස 30 වැනිදා සිදුකර ඇති අතර එමඟින් ඔහුට ලබා දී තිබූ සිර දඬුවම් අහෝසි කර තිබුණි.

එකී සමාව ලබාදීම මුල් වූ හේතු අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අපොහොසත් වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ එම සමාව ලබාදීම්වලට අදාළව ඇති ලිපි ගොනුවල ද ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොමැති බව ද නඩු තීන්දුවෙහි සඳහන් කර තිබේ.

මෙම තැනැත්තාට සමාව ලබාදීමේ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සහ එම වරදකරුගේ මවුපියන් විසින් ද කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ඊට අමතරව ඔහු විසින්ම පෞද්ගලිකව ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බව ද විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ලිපියක් මඟින් අදහස් විමසා ඇති බව ද විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දී තිබේ.

සිරකරුට ජනාධිපති සමාව ලබා දීමේද අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා හෝ විනිසුරු මඩුල්ලේ මතය විමසිය යුතු අතර එම මතය සමඟ නීතිපතිවරයාගේ මතය විමසිය යුතුය. ඉන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශය ලබාගත යුතුය.

එම කරුණු දෙකම නීතිපතිවරයා විසින් අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අධිකරණ ඇමතිවරයා විසින් එම නිර්දේශ සියල්ල ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

මෙකී මෙම ඝාතන සිද්ධියේ වරදකරු වන දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබාදීමේදී එම ක්‍රියාපටිපාටිය සම්පූර්ණ වශයෙන්ම නොසලකා හරිමින් කටයුතු කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබේ.

එකී සමාව ලබාදීමේදී අදාළ නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සහ 34(1)වගන්තිය නොතකා හරිමින් එම වගන්ති උල්ලංඝනය කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ද අදාළ නඩු තීන්දුවේ සඳහන් වෙයි.

ජනාධිපතිවරයා විසින් ලබාදෙන ජනාධිපති සමාවන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව පසක් කරමින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලද්දේ මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමිනි.

එහිදී ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය කළේ සමාව ලබාදීමේදී අනුගමනය කළ නීතිමය ක්‍රියාමාර්ගය නිසි ලෙස අනුගමනය කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවය. යම් සිරකරුවකුට සමාව ලබාදීමේදී ජනාධිපතිවරයා සතු විධායක බලය පමණක්ම නොව ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සිහිපත් කිරීමට මෙය කදිම උදාහරණයකි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division