– අනිත් දෙක ජනතා පරාමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවයි
– ඊට විරුද්ධව කතා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
– හෝමාගම ‘ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය’ විවෘත කරමින් ජනපති කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 01 දා එක් වෙමිනි.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.
ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.
එසේම මරණාසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුණ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මඟපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබෙන පළමු රෝහල මෙයයි. අපේ රටේ රෝහල්වල භික්ෂු වාට්ටු පැවතුණා. නමුත් මෙය භික්ෂු වාට්ටුවක් නොවෙයි. රෝගාතුරුව වැඩවසන භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම රෝහල වෙන්කර තිබෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ දකුණු කොරියාවේ Neunghaeng භික්ෂුණින් වහන්සේ ප්රමුඛ සියලු දෙනාට රජයේ ස්තුතිය පිරිනමනවා.
මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඉල්ලා තිබෙන අතර එම සහාය ලබාදීමට කටයුතු කරන බවත් මෙම රෝහල දියුණු කරමින් ඉදිරියට ගෙන යාමට රජයේ ආධාර උපකාර ලබාදෙන බවත් මම ප්‍රකාශ කිරීමට කැමතියි.
ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා.
ඊට අමතරව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඕනෑම රජයක් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට පමණක් නොවෙයි රාජ්‍යයට පැවරෙනවා. එසේ නම් රාජ්‍යයට අයත් අංශ තුන වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වු විධායකය, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වූ පාර්ලිමේන්තුව සහ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් වු අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමිවිය යුතුයි.
මෙම සහයෝගය ලබා නොදී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. මන්ත්‍රීවරු ලෙස අප සියලු දෙනා ව්‍යවස්ථාව අනුගමනය කිරීමට දිවුරුම් දී තිබෙනවා. එසේනම් අප සියලු දෙනා එම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් කිසිවිටෙක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේ ද නැහැ.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්රමුඛස්ථානයක් ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍යයි. ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මූලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.
ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුනයි. අප මෙය පදනම් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ එකකට හෝ විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙනවා.
අද මෙම රෝහලේ රෝගීන් ගණනාවක් සිටිනවා වගේම එක රෝගියෙකු සුව කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා. මරණාසන්නව සිටි රෝගියාව අප දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. නිරන්තරයෙන් අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ලෝකයේ කිසිදු රෝගියෙකු එකවර සුව වෙන්නේ නැහැ. මෙම රෝගියා සුව කිරීමට තව වසර තුන හතරක් ගත වෙනවා. නමුත් මෙම වැඩකටයුතු කරගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සහිත ස්තූතිය පිළිගැන්විමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ රටේ බොහෝ අපහසු යුගයක් පැවතුණා. එමෙන්ම පෝලිම් යුගයක් පැවතුණා. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් පසු අපට අද මෙම තත්ත්වයට පැමිණීමට හැකි වී තිබෙනවා. එය සියලු දෙනා නිතර්කයෙන් පිළිගත යුතු කරුණක්. එතුමා රට මේ තත්ත්වයට ගෙන ආ නිසා තමයි අද මෙම ආගමික උත්සවය සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ. එය අප සෑමවිටම කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන් ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද අද ජනාධිපතිතුමා මෙම කාර්යය වෙනුවෙන් සහභාගී වීම පිළිබඳ මගේ කෘතවේදීත්වය පළ කරනවා.
මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමින් වහන්සේ, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මට්ටක්කුලිය ශ්‍රී වික්රමාධාපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ධම්ම කුසල නායක හිමිපාණන් වහන්සේ, තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය වලේගොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ, තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන්වහන්සේ, උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානයක අතිපුජ්‍ය නිකපෝත චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ, ප්රමුඛ මහා සංඝරත්නය ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් ද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන් සහ දකුණු කොරියාවේ බෞද්ධ දූත පිරිස් ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.