ජාතිය සතු මහා සම්පත මානව සම්පතය. එම සම්පත විනයක්, ජවයක් මෙන්ම සාමූහික හැඟීමක් සහිතව කණ්ඩායමක් ලෙස ඉලක්කයකට ගොනු කරන ශික්ෂණය ලබා දෙන ප්‍රධානම ඉසව්ව ක්‍රීඩාවය.
දැනට අපේ ජීවිතය හා බද්ධ වුණු ක්‍රීඩා ආදර්ශය ක්‍රිකට්ය. විද්‍යානුකූල ක්‍රිකට් ක්‍රීඩාව යනු දරුවන් තුළ ජීවිත විනය ඇති කරවන්නකි. උපේක්ෂාව සහ දරාගැනීම අත්නොහැර අරමුණු වෙනුවෙන් වෙහෙසීම අවසානයේ ජය පරාජය සම සිතින් දරාගැනීම පිළිබඳ පාඨමාලාවකි. එවැනි ක්‍රීඩාවක් තුළින් ආර්ථිකය විෂයෙහි සිදුකළ හැකි උත්ප්‍රේරණය ද විශාලය.
අපේ රටේ ක්‍රිකට් යනු විලාසිතාවකි. එමෙන්ම ගම් දනව් පුරා උන්මාදයක් සේ පැතිරී ඇති මිහිරකි. මේ ක්‍රිකට් ආශ්වාදය විද්‍යාත්මකව ප්‍රායෝගික කරගත හැකි සුලබ බාධා බිඳ දමන්නේ නම් ලංකාවම ක්‍රිකට් කඳවුරක් කළ හැකි අවකාශ තිබේ. ලෝකයට මීටත් වඩා අභියෝග කළ හැකි විශිෂ්ට ක්‍රීඩකයන් බිහිකර ගැනීමේ ඉඩ හසර තිබේ. ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙතෙක් විරල විය.
එහෙත් ඒ වැදගත් නිලය ස්පර්ශ කළ වටිනා ප්‍රායෝගික ප්‍රයාමයක් දුටුවෙමු.
සහජ දක්ෂතා සහිත සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායමට ප්‍රවේශය සඳහා සම අවකාශ සලසා දීමේ අභිලාෂ සහිතව පහසුකම් සුලභ කිරීම ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේය. එම වැඩසටහනෙහි 2024 පළමු අදියර මැයි මස 28දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
මෙවර එය සංවිධානය කර තිබුණේ ජනාධිපතිවරයාගේ අදහස් ප්‍රකාරව අනාගත තරුණ පරම්පරාවේ සමාජ අර්ථය රූපණය කිරීම සඳහා බිහි කළ ‘යූත් විෂන්’ 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒකාබද්ධවය. EMPOWERING YOUTH තේමාව යටතේ සංවිධානය වූ මෙම වැඩසටහනේ දී දිවයින පුරා විහිදී ගිය පාසල් 105ක වයස අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ බෙදා දීමට සැලසුම් කර තිබිණි.
එහි පළමු අදියර ලෙස කඩුවෙල සහ කෝට්ටේ යන ආසන හැරුණු කොට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 45ක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ සහ කනිෂ්ඨ අංශයේ ක්‍රිකට් උපකරණ ඇතුළත් බෑගය බැගින් ද, පාසල් 22කට කනිෂ්ඨ අංශයේ උපකරණ ඇතුළත් බෑගය බැගින් ද බෙදා දෙනු ලැබුවේය. එක් උපකරණ බෑගයකට, ක්‍රිකට් පිති – ජ්‍යෙෂ්ඨ අංශයට 2ක්, කනිෂ්ඨ අංශයට 3ක්, හිස් ආවරණ 2ක්, පා ආවරණ කට්ටල 3ක්, අත් ආවරණ කට්ටල 3ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් ද ඇතුළත් විය.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 38ක් සඳහා තණකොළ කපන යන්ත්‍ර 38ක් ද ලබා දුන්නේය. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කළ මුදල රුපියල් ලක්ෂ 843කි.
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ජාතික ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටිනු පෙනුණි.
ඉදිරි අදියරවලදී මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරාම විසිරී ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් ආවරණය වනු ඇත. එම භාණ්ඩ බෙදා දීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදා දීමට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සිදු කර ගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලද මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලබා දීමට කටයුතු කරනු ඇත.
වැඩසටහනේ ගැඹුරු අර්ථය ගැන පැහැදිලි කරනු ලැබුවේ යූත් විෂන් 2048 සංවිධානයේ උපදේශක, ජාත්‍යන්තර සිංහ සමාජ උපදේශක, හිටපු සිංහාධිපති ආචාර්ය ලසන්ත ගුණවර්ධනය. ඔහුට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන සියලුම පාසල් රැස්කර මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ මෙම වැඩසටහන නව වටිනාකමක් සහිතව සිදු කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ඉල්ලීම පරිදිය.
“මේ වෙලාවේ ක්‍රීඩා භාණ්ඩ කට්ටලවලට අමතරව ලංකාව පුරා විහිදුණු පාසල් අතුරෙන් තෝරා ගත් පාසල් 37කට තණ තීරුවල තණකොළ කපන යන්ත්‍ර බෙදා දුන්නා. එය සිදු වුණේ මෙහෙමයි. පාසල්වලින් තමන්ගේ ක්‍රීඩා පිටියේ මැද විකට් එක හදලා දෙන්න කියලා හෝ සයිඩ් ටර්ෆ්ස් එකක් හදලා දෙන්න කියලා හරි පාසල් ක්‍රිකට් සංගමය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම සයිඩ් ටර්ෆ් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් හදපු අයට එම තණතීරු නඩත්තු කරගන්න අද තණකොළ කපන යන්ත්‍ර ලබා දෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂිකව පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක ප්‍රමාණයක් වියදම් කරනවා. ඉස්සර පෞද්ගලික අනුග්‍රාහකයො හිටියට මේ වන විට පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ වගේම ජනාධිපතිවරයා විසින් ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට රුපියල් බිලියන එකහමාරක ප්‍රතිපාදන අය වැයෙන් වෙන් කර තියෙනවා. ඒ සඳහා යෝජනා පත්‍ර සකස් කර අවසන්. මේ සියලු කටයුතු වෙනුවෙන් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගෙන් ලැබෙන්නේ විශාල පිටුබලයක්, ඉදිරියේ දී මේ ක්‍රියාවලියේ නියත ප්‍රතිලාභත් අපේ ගම් දනව්වල දරුවන්ට ලැබෙයි.” ලසන්ත ගුණවර්ධන පැවසුවේය.
මෙම වැඩසටහන ප්‍රායෝගික කිරීම වෙනුවෙන් කැපවුණු ‘යූත් විෂන් ‘ 2048’; කණ්ඩායමට නායකත්වය දෙන්නේ සෙනුල දීලනය. ඔහු එම සංවිධානයේ සභාපතිය. සිය යෝජනාව පිළිගෙන ලංකාව පුරා විහිදුණු පාසල්වලට ක්‍රීඩා උපකරණ බෙදා දීමට එක් වීම සම්බන්ධව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාට ස්තුතිවන්ත වුණේය. ඔහු කීවේ හුදු ක්‍රීඩා උපකරණ බෙදා දීමකට වඩා මේ ප්‍රවේශයට අගයක් එක් කිරීමට සිය කණ්ඩායමට හැකිවූ බවය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ද මේ අවස්ථාවේ අදහස් දැක්වූයේය.”ක්‍රිකට් ක්‍රීඩාව අපේ ජනතාව අතර කොටසක් හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. එයින් පාසල් ක්‍රිකට් වැදගත් තැනක් ගන්නවා. ජාතික ක්‍රීඩකයන් බිහි වෙන්නේ පාසලෙන්. පසු ගිය කාලේ අපි රටක් වශයෙන් විශාල අර්බුධ රැසකට මුහුණ දුන්නා. අද ආර්ථිකය යම් ස්ථාවර මට්ට්මකට ගෙනත් තිබෙනවා. මෙතැනින් ඉදිරියට අප ආර්ථිකය වර්ධනය කළ යුතුයි. ක්‍රිකට් වැනි ක්‍රීඩා දියුණු කරන්නත් පුළුවන් වෙන්නේ එවැනි තත්ත්වයක් රටේ ඇති වුණාමයි. එහි අනෙක් පැත්ත තමයි ක්‍රිකට් ක්‍රීඩාව ආර්ථිකය දියුණු කරන්නත් වැදගත් වෙනවා. සංචාරක ව්‍යාපාරයට, රට ගැන තිබෙන ආකර්ෂණය වර්ධනය කරන්නට වැනි හැමදේටම ක්‍රීඩාව වැදගත්. මේ රට අනාගතයක් තිබෙන රටක්. අපට අවස්ථාවල් සහ සම්පත් ගණනාවක් තියෙනවා. මානව සම්පතේ සිට ස්වාභාවික සම්පත් සියල්ල තියෙන රටක ඉදිරිය දෙස බලාපොරොත්තුසහගතව දැකිය හැකි අර්ථවත් ගමනක් තමයි අපි ආරම්භ කරලා තියෙන්නෙ. ක්‍රීඩාව සම්බන්ධව මෙවැනි ව්‍යාපෘති ඒ අනාගතය සම්බන්ධව විශාල ආලෝකයක් දල්වනවා…
ක්‍රිකට් කොළඹ පාසල් කීපයකට පමණක් සීමා වූ අතීතයක් තිබිණි. ක්‍රිකට් වෙනස් වූයේ දෙබරවැව සෙන්ට්‍රල් එකෙනුත් පැමිණ ජාතික කණ්ඩායම නියෝජනය කළ වර්ණවත් ක්‍රීඩකයන් නිසාය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික ලකුණු උපදින කෙත් බිම පුළුල් වීම යනු එහි උපන් සාර පල විසල් වීමය. වර්ණයෙන් විචිත්‍ර වීමය. එහි අග පල අනාගතයේ දී මේ ජාතිය ලබා ගනු ඇත.
ඡායාරූප – ශාන් රූපස්සර