ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයට වැඩමවන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය රෝපණය කිරීම අද පස්වරු 12.30ට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බේන්ස්ද සහභාගි වීමට නියමිතය. බෙන්ඩිගෝ බටහිර පාර්ලිමේන්තු මන්ත්‍රී මාරි එඩ්වර්ඩ්, සංස්කෘතික හා බුද්ධශාසන රාජ්‍ය අමාත්‍ය විදුර වික්රමනායකද ඔස්ට්‍රේලියාවේ රාජ්‍යතාන්ත්‍රික ඉහළ පෙළ නියෝජිතයෝද ඊට සහභාගි වෙති.
මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් විශේෂ සුබ පැතුම් ද එක්කර ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඕස්ට්‍රේලියාවට වැඩම කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර කමිටුව විසින් මෙම අංකුරය වැඩම කරවන ලද්දේ 2019 වසරේදීය. එය වසරකට අධික කාලයක් ගතවන තුරු ඔස්ට්‍රේලියා ජෛව ආරක්ෂණ කමිටුව විසින් ආරක්ෂා කරන ලදි. බෝධි ධම්ම විහාර කමිටුවේ සභාපති දීප්ත වික්‍රමරත්න පවසා සිටියේ මීට පෙර කිසිදු අවස්ථාවකදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ආසියාවේ කිසිදු ස්ථානයක රෝපණය කර නොමැති බවයි. එමනිසා මෙය ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ඔස්ට්‍රේලියාවටද විශාල ගෞරවයක් හිමිවන අවස්ථාවක් බව ඔහු පෙන්වා දුන්නේය.
තාරක වික්‍රමසේකර