Home » බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, ජනතා පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව යන කරුණුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මුල් තැන ලැබෙනවා

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, ජනතා පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව යන කරුණුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මුල් තැන ලැබෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ඉකුත් දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ “අපේ රටේ හැම එක්කෙනාටම තමන් කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනවා. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ තවත් වගන්තියක් තියෙනවා; බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා. මේ රටේ යුද්ධ තිබුණත් මේ දේ ඉවත් කරන්න කියලා ප්‍රධාන ඉල්ලීමක් තිබුණේ නැහැ. විධායකයේ ඉන්න අය, ව්‍යවස්ථාදායකයේ ඉන්න අය, අධිකරණයේ ඉන්න අය මේ සියලු දෙනාම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු තත්ත්වය අපි පිළිගන්නට වුවමනායි. කාට හරි ඒක වෙනස් කිරීමට ඕන නම්; ව්‍යවස්ථාව වෙනස් කරන එකයි තියෙන්නේ. ඒ ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් ජනතා පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙන එක, භෞමික අඛණ්ඩතාවය මේ එකකට හරි විරුද්ධව කතා කළොත් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්” බවය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් කා අතරත් ලොකු කතාබහක් ඇති විය. මේ ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් දැක්වූ අදහස්වල සම්පිණ්ඩනයකි.


රටත් ජනතාවත් ඔවුන්ගේ අයිතීනුත් රැකගත යුතුයි
– ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ

සමසමාජ පක්ෂය හැටියට අපි දිගටම කියලා තියෙනවා; බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන කොට අනෙක් සියලු ආගම්වලට සැලකිල්ලක් සහ ගරු කළ යුතුයි කියලා. බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඒ ගොල්ලන් බුද්ධාගම යට කරලා දාන්න පුළුවන් තරම් වෑයම් කළා. අධිරාජ්‍යවාදින් ලංකාව වගේම ඉන්දියාවෙත් මේ දේ කරන්න උත්සාහ කළා. එක් අතකින් තුවක්කු අනික් අතින් බයිබලය අරගෙන හිටියා; එදා ඉඳලා අද වෙනකල් අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න දිවිහිමියෙන් අපේ පක්ෂය කටයුතු කළා. භෞමික අඛණ්ඩතාවය අපිත් ගරු කරනවා. ස්වෛරීත්වයටත් අපි ගරු කරනවා. ලංකා සමසමාජ පක්ෂය හැටියට අපේ පක්ෂයේ පිරිස මේ දේවල්වලින් ලේ හැලුවා. ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළා; ස්වෛරී භාවය රැක ගන්න කටයුතු කළා. රටයි ජනතාවයි ජනතාවගේ අයිතීන් රැකගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ.


ප්‍රායෝගික ගැටලුවලට අවධානය යොමු වෙන්න ඕනෑ
– මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්

ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන දේවල් තමයි. ආපහු සනාථ කරලා තියෙන්නේ ඒක තමයි. එතුමා බැඳී ඉන්නේ ඕක කරන්න නෙ. එතුමා දිවුරුම් දීලා තියෙන්නේ ඔය ටික අකුරටම කරන්න. නැත්නම් එතුමා දිවුරුමට එරෙහිව යනවනේ. ඒ එයාගේ දිවුරුම් ප්‍රකාශය නැවත එළිපිට කියලා තියෙනවා එච්චරයි. කෙටියෙන්ම කියනවා නම් ජනාධිපති ධුරයේ එතුමා ඉන්න කාලයේ ව්‍යවස්ථානුකූලව කළ යුතු දේවල් තමයි එතුමා කියලා තියෙන්නේ. සමානාත්මතාවය ව්‍යවස්ථානුකූලව හැම ජන කොටසකටම හරියාකාරව ඉටු කිරීමට වගබලා ගන්න අපට මානව අයිතිවාසිකම්වල ඉතාම පැහැදිලිව කියනවා. නමුත් එහෙම කිව්වට පරිපාලන වශයෙන්, දේශපාලන වශයෙන් එය සමානාත්මතාවය රැකීමට පියවර ගැනීමේදී නොයෙකුත් අවස්ථාවලදී වැරදි සිදුවෙනවා. හැම දේකදිම අපිට උසාවි ගිහිල්ලා නඩු කිය කිය ඉන්න බෑ. සාමාන්‍ය පුරවැසියෙකුට අසාධාරණයක් සිදුවෙනවා නම් ඒ පිළිබඳ පරිපාලනමය අසාධාරණ, විධායක ක්ෂේත්‍රයේ වෙන අසාධාරණ පිළිබඳව ඒවාට කඩිනම් විසඳුම් ලබා ගැනීමේදී ඔම්බුඩ්ස්මන් වගේ දේවල් තියෙනවා. ඒගොල්ලො තීරණයක් ගත්තට එයාලට බලතල නෑ. ඔම්බුඩ්ස්මන් ඉන්නවා. මානව අයිතිවාසිකම් කොමිසමකුත් තියෙනවා. ඒ අය තීන්දු ලබා දුන්නට තීන්දු ක්‍රියාත්මක කිරීමට බලතල නෑ. ඒවා විධිමත් නැතිව සමානාත්මතාවය සහ අයිතිවාසිකම් ඉටුකරන්න ක්‍රියා කරනවයි කියලා නිකන් ජාතික උත්සවවල ගිහිල්ලා කිව්වට තේරුමක් නෑ. ප්‍රායෝගික ගැටලුවලට අවධානය යොමු වෙන්න ඕනෑ.

මේ රටේ බහුතරයක් අදහන ධර්මය බුද්ධ ධර්මය. අවුරුදු 2500ක ශිෂ්ටාචාරයක් බුදු දහමට මේ රටේ තියෙනවා; ඒ ප්‍රමුඛතාවය දීමට අපි කවුරුත් එරෙහි වෙන්නෙ නෑ. නමුත් ආගම ඇදහීමේ අයිතිය කාටත් සමානව ඉටුකිරීමට නොයෙකුත් ගැටලු මතු වෙනවා; බිම් මට්ටමේ නොයෙකුත් ආගම් ස්ථාන ඇති කරන කොට අවට ඉන්න අය විරුද්ධ වීම, කලින් තිබුණා අමාත්‍යාංශ මට්ටමේ වෙන වෙනම තැන්. බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවාය කියන එක ව්‍යවස්ථාවේ තියෙද්දී කැබිනට් අමාත්‍යධූර පවා වෙනත් ආගම් සම්බන්ධයෙන් ලබාදීලා තිබුණා. දැන් ඒක නැති කරලා . ඒක එච්චර සුදුසු නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නවා හැම ආගමක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු. ඒ අයගෙන් කවුරුහරි තෝරාගෙන පත්කිරීමක් කළා නම් හොඳයි. ඒ අයටනේ ඒ අයගේ ආගම තේරෙන්නේ. වෙන ආගමක කෙනෙකුට මේකෙ තියෙන සිරිත් විරිත් පිළිබඳව වැටහීමක් නෑ. මුස්ලිම් ඇමැති කෙනෙකුට එයාට අදාළ ආගම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය එකතු කළා නම් හොඳයි. එයාට මුස්ලිම් ආගමික කටයුතුත් එකතු කරලා දුන්නා නම් හොඳයි, එහෙම නොකර ඉන්න එක ලොකු පාඩුවක්.


බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය දීම යුතුකමක් සහ වගකීමක්
– පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක‍

ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම තමයි; ආණ්ඩුවක වගකීම. ජනතාව තමයි මේ පක්ෂ ගොඩනඟන්න හැමදේම කරන්න උදව් කරන්නෙ. ජනතා පරමාධිපත්‍යය අපිට ලොකුයි. ඒ වගේම සියයට 70 ඉක්මවා මේ රටේ බෞද්ධ ජනතාවක් ඉන්නවා. ඒ බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය ලබාදීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. ඉන්දියාවේ මෝදි හින්දු ආගම පෙරදැරි කරගෙන තමයි; ඉස්සරහට ගියේ. නමුත් බහුවාර්ගික බහු ආගමික රටක බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක් ඒක. නමුත් එදා ඉඳලා තිබ්බ නම් බෞද්ධයාට මුල් තැන දීලා ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න. ඒ වගේම රජයටත් වගකීමක් තියෙනවා; ඉතිහාසය අකා මකා දාන්න පුළුවන්කමක් නැහැ.”ආගමින් තොර මිනිසා තිරිසනෙකි.” කියලා එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා. අවසානයේ අපි බිත්තියට හේත්තු වුණ ගමන් දුවන්නේ අපේ ආගම හොයාගෙන. ඒ වගේම අපි අපේ බුද්ධාගමට ගරු කරනවා වගේම අනෙක් ආගම්වලටත් ගරු කළ යුතුයි. ඒ වගේම භූමියේ අයිතිය අපිට තිබිය යුතුයි. එහෙම නැතුව කෑලි කෑලි කඩල වෙනත් වෙනත් අයට දෙන්න ගියොත් අපි කොහෙන්ද නතර වෙන්නේ?. මේක සොළීන්ගෙන්, පරංගීන්ගෙන්, ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන්ගෙන් බේරගන්න එදා ඉඳලා දිවි පූජා කරපු රණවිරුවෝ හිටපු රටක්. වසර තිහක් අපිත් යුද්ධය අත්වින්දා .මෑත භාගේ ඒ තිස් අවුරුදු සාපලත් යුද්ධය නතර කිරීම සඳහා ජනාධිපතිවරු හතර දෙනෙකුට බැරි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගකීමක් අරගෙන ලෝකය ඉදිරියේ දණ නොනමා අපේ අභිමානය තියා ගත්තා. එහෙම භෞමික අඛණ්ඩතාවයක් ඇති ශ්‍රී ලංකාවේ දමිළ, මුස්ලිම්, සිංහල, බර්ගර් කියන සියලු දෙනාම මේ ශ්‍රී ලංකා මාතාව යටතේ වැඩ කරන්න ඕනෑ. ඉන්දියාවේ මැතිවරණය තිබ්බ වගේම අසල්වැසි රටේ තියෙන බහු වාර්ග දිස්ත්‍රික්ක බහු ආගමික දිස්ත්‍රික්ක තියෙන රටක ඒ කාර්යය කරන ගමන් හින්දු ආගම ගැන ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. ඒ වගේම භාරත කියන නාමය දසත පතුරුවලා තියෙනවා. ඇයි අපට ශ්‍රී ලංකා මාතා කියන නම දසත පතුරවන්න බැරි. අපේ අනන්‍යතාවය අපි තියාගෙන අපි ඉදිරියට යන්න අවශ්‍යයි.


ව්‍යවස්ථාවේ සමානාත්මතාව තහවුරු කරන්න ඕන 
– දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්. සුමන්තිරන්

මේ සියලු දේවල් ව්‍යවස්ථාවේ තියෙනවා. ආගමික නිදහස ව්‍යවස්ථාවේ තියෙනවා. නමුත් සුළු ආගමික ජනතාවට එය ලැබෙන්නේ නෑ. බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනෑ. ප්‍රමුඛස්ථානයත් දීලා තියෙනවා. අපි දන්නා ව්‍යවස්ථාවේ සියලුදෙනාගේ සමානාත්මතාවය ගැන කතා කරලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ සමානාත්මතාවය තමයි තහවුරු කරන්න ඕනෑ. හැම එක්කෙනාම එක සමානයි. හැම පුරවැසියෙකුටම සමාන අයිතිය රටේ තියෙන්න ඕනෑ. බුද්ධාගමේ කියලා තියෙනවා හැම එක්කෙනාටම සම අයිතිය තහවුරු කරන්න ඕන කියලා. එහෙම කියන ආගමට පටහැණිව ඒකටම ප්‍රමුඛස්ථානය දීලා තියෙනවා; කියන එක පරස්පරයක් තියෙනවා. ඒක සංශෝධනය කරන්න ඕනෑ. හැම ආගමක්ම අදහන අයට ඒ අයිතිය ලැබෙන සලස්වන්න ඕනෑ. හැමෝටම ආගමික නිදහස කියන එක පොතෙන් ලැබිලා තිබුණට ඒක ප්‍රායෝගිකව ලැබෙන්නේ නෑ. ප්‍රමුඛත්වය බුද්ධාගමට දෙනකොට අනිත් ආගම්වලට මේ තත්ත්වය වෙනවා තමයි. සෑම පුරවැසියාටම සමානාත්මතාවය ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒකීය රටක් වශයෙන් තියෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. ජනතා පරාමාධිපත්‍යයේ අඩුපාඩුවක් තියෙනවා. බහුතර ජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නේ. ඡන්දයේදී වැඩි ඡන්දයෙන් තමයි ගණන් කරන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ ඒක පොඩ්ඩක් වෙනස් කරලා පළාත්වලට ඒ බලය දෙන්න පුළුවන්නම් මුළු රටෙන්ම ඒ ඒ ජාතීන්ට ඒ ඒ පළාත්වලින් ප්‍රමුඛතාවය ලැබිය යුතුයි.


ජාතිවාදය වර්ගවාදය ඇවිස්සීම කිසිසේත් නොවිය යුතුයි
– සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන කරුණු ටිකක් එතුමා කියලා තියෙන්නේ. අපි සමගි ජන බලවේගය හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන ඒ අයිතිවාසිකම් ඒ ලෙසම ගරු කරනවා ඒවා අපේ පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ; රටේ නායකයෝ විදිහට ඒ දේවල් ආරක්ෂා කරන්න අවශ්‍යයි. විශේෂයෙන් ඒ ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ජනතා පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛතාව, භෞමික අඛණ්ඩතාවය යන කරුණු ආරක්ෂා කරමින් ඒවා උල්ලංඝනය නොවෙන විදිහට කටයුතු නොකර ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම නායකයන්ගේ වගකීම වගේම ඒවා ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම ජනතාව විසින්ද සිදු කළ යුතුයි. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රමුඛස්ථානය දෙමින් අනෙක් ආගම්වලට ගරු කරමින් ආගමික ජාතික සහයෝගිතාවයක් ඇතිව අපි අපේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනවා; ජාති භේද ආගම් භේද නැති පක්ෂයක් අපේ පක්ෂය. සියලු ආගම්වලට ජාතීන්ට එකතු වෙලා ඉන්න පුළුවන් පක්ෂයක් අපේ පක්ෂය. යම් යම් පක්ෂ මේ රටේ ඡන්ද ලබා ගැනීමට ජාතිය ආගම විකුණමින් කටයුතු කළා. මේ රටේ තිස් වසරක යුද්ධයක් තිබුණා. භීතියෙන් ඇලලුණු කාලයක් අපි ගත කළා. ජාතිවාදය ඇවිස්සීම වර්ගවාදය ඇවිස්සීම කිසිසේත් නොවිය යුතුයි. මේ රටේ ජාතිවාදය ආගම් වාදි පක්ෂ හෙට දවසෙත් මේ දේ කරන්න පුළුවන්; නමුත් අපි අන්තවාදී ආගම් සහ ජාතිවාදී පක්ෂ නොවෙයි; අපි ගොඩනැඟිය යුත්තේ ජාතික සමගීය. ඒ තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වයක් කරා යන හෙටද වසක් අපි ඇති කරගත යුතුයි. එක ධජයක් යටතේ සියලු ශ්‍රි ලාංකිකයන්ට එකට ජීවත් විය හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. රටක නායකයා ලෙස එතුමාත් සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට නායකයා ලෙස කටයුතු කළ යුතුයි; එය රටක නායකයෙකුට පැවැරී ඇති වගකීමක්. ඒ නායකත්වය තුළ මේ කියන කරුණු ආරක්ෂා කිරීම ද ඒ නායකත්වයට පැවැරිලා තියෙන වගකීමක්.


ස්වාධීනත්වය ස්වෛරීත්වය දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙනුත් රැකිය යුතුයි
– ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායක ඩබ්. වීරසිංහ

ආර්ථික වශයෙන් ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම නැති වී යන පරාධීන වැඩපිළිවෙළක යෙදී සිටින ගමන් ඇත්ත වශයෙන්ම මේ කියන කතා අපිට වැදගත් අවංක සහ සත්‍යවාදී කතා විදිහට සලකන්න බැහැ. එය අවංක ප්‍රකාශයක් ලෙස අපිට පිළිගන්න අමාරුයි. අපේ පක්ෂයක් ලෙස කියන්නේ මේ රටේ බෞද්ධයන් වැඩි පිරිසක් ඉන්නවා. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය යන ඒ තත්ත්වය පිළිගන්න අතරම සියලු ආගම්වලට තමන්ගේ ආගමික කටයුතු කරගෙන යාමට අයිතිවාසිකම් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යෙදුණෙත් ඒ දේම තමයි. මූලික කරුණ වෙන්නේ ස්වාධීනත්වයයි, ස්වෛරීත්වයයි කියන දේ වචනවලින් කියලා වැඩක් නැහැ; ආර්ථික ස්වාධීනත්වයයි ආර්ථික ස්වෛරීත්වයයි නැති කරගන්නා පරාධීන වැඩපිළිවෙළක යෙදි සිටින ගමන් මේ කියන දේවල් කියන එකේ ඒ තරම් අර්ථයක් නැහැ. අපි ඉන්නේ දූපතක. මේ රට එක්සත් ව තියෙන්න අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා. රට එක් රටක් ලෙස තිබීම අවශ්‍යයි කියන තැන වගේම ජාතීන්ගේ අයිතිවාසිකම් කොමියුනිස්ට් පක්ෂය පිළිගන්නවා. එසේම රට තුළ තවත් රාජ්‍යයන් බිහි නොවිය යුතුයි; එක රටක් ලෙස මේ රට පැවැතිය යුතුයි කියලා අපි කියන්නේ. ජනතාවගේ බලශක්තිය හැසිරවීමේ අයිතිය වෙනත් රටකට ගියොත් වෙන වෙන රටවල්වලට වෙනත් විදේශික බලවේගවලට වෙනත් රටවල කොම්පැනිවලට ගියොත්; අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය රැකෙන්නේ කොහොමද? ඒ නිසා වචනවලින් කියන එක පමණක් නොවෙයි ස්වාධීනත්වය ස්වෛරීත්වය දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙනුත් රැකිය යුතුයි.


ව්‍යවස්ථාවේ තියෙන කරුණු කවුරුත් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ
– ජාතික ජනබලවේගය මහලේකම් ටිල්වින් සිල්වා

මේ දේවල් අමුතුවෙන් කියන්න ඕන දේවල් නොවෙයි. මේ කරුණු සියල්ලම ව්‍යවස්ථාවේ තියෙනවා. දැන් ජනාධිපතිවරයා මෙහෙම කතා කළාට,. මෙහෙම කතා කරන ජනාධිපතිම තමයි සාම ගිවිසුම් ගහලා රටේ අර්බුද ඇතිවෙන තැනට ගෙනාවේ. මොකද රටක නායකයෙක් බැඳී ඉන්නවා; ව්‍යවස්ථාවේ දේවල් වන ජනතා පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙන එක, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න. ප්‍රධාන වශයෙන් මේ කරුණු ව්‍යවස්ථාවේ තියන කරුණු කවුරුත් රකින්න බැඳිලා ඉන්න කරුණු. අපේ රටේ කවුරුත් මේ දේවල් වෙනස් කරනවා කියලා නැහැනේ. ඒ නිසා මේ වගේ දේවල් කියලා වැඩක් නැහැ. අපේ රටේ මේ දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ව්‍යවස්ථාවට ප්‍රමුඛත්වය දීම කවුරුත් පිළිගන්න කරුණක්. ඒ දේවල් ගැන සංවාදයක් නැහැ. ව්‍යවස්ථාව තුළ තියෙන දේවල් කවුරුත් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි සංවාදයක් අවශ්‍ය නැහැ.

සුහද්‍රා‍‍ දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division