මේ රට කවුරු ආණ්ඩු කළත් IMF ගිවිසුමේ කොන්දේසි අනුවම රට ඉදිරියට ගෙන යා යුතුයි
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථිකය ආපස්ස ගොස් ලෝකයේ බාහිර කම්පනයන්ට ඔරොත්තු නොදෙන ආර්ථික කඩා වැටීමක් ඇති විය. එහිදී ලංකාවේ ඇතිවුණු යුදමය වාතාවරණයත්, ජාත්‍යන්තර කම්පනයන්ට ඔරොන්තු දීමට නොහැකිවීමත් නිසා අපනයන සඳහා ඉල්ලුම අඩු විය. දේශීය වෙළෙඳ පොළ භාණ්ඩ හිඟ විය. උද්ධමන වේගය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. විනිමය සංචිත කඩා වැටුණි. රුපියල් පිරිහි ගියේය. විදුලිය දිගින් දිගටම කපා හැරීය. අයවැය පරතරය පුුළුල් විය. ණය අර්බුද උග්‍ර විය. මේ තත්ත්වය තුළ එදා පැවැති චන්ද්‍රිකා කුමාරණතුංග රජයට රට කෙසේවත් කළමනාකරණය කර ගැනීමට නොහැකි වන ලෙස සෘණ 1.4 දක්වා ආර්ථිකය පහත වැටී අර්බුදය උග්‍ර වූ අවස්ථාවේදී, ඒ රජයේ කොටසක් කැඩී ගොස් පැවැතුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී කැබිනට් මණ්ඩලයක් පත් කෙරිණි.
ප්‍රථම වතාවට ඒ වන විටත් කඩා වැටී තිබූ ආර්ථිකය පුබුදුවා රට ගොඩ ගැනීමට ඉදිරිපත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුම් ගත වී වසරක් යන විට කඩා වැටුණු රට නැවත ගොඩ ගැනීමට කටයුතු කළේය. ඉතිහාසයේ වරක් සිදුවූ දේ නැවත සිදු විය. 2001 දි එදා කඩා වැටුණු රට නැවත ගොඩ ගෙන නැවත බංකොලොත් නොවීම සඳහා 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීතිමය වශයෙන් රට බංකොලොත් නොවීමට අවශ්‍ය නියමයන් පැනවූ, එමෙන්ම ලංකාවේ දේශපාලනයේ සිටින එකම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ මහතා පමණි. දෙවැනි වතාවටත් 2022 දී ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන තවදුරටත් මෙරට ආර්ථිකය පුබුදුවාලීම සඳහා අත්දැකීම, පළපුරුද්ද හා ඉවසීමෙන් යුත් තීක්ෂණ බුද්ධියක් හා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයක් ලබාගත හැකි පරිණත දේශපාලන නායකත්වය හිමි හා ආර්ථික දැක්මක් සහිත එකම දේශපාලන නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අනිවාර්ය කරුණකි. එසේ නොකර කවර ආණ්ඩුවක් හෝ බලයට පත් වුව ද සති දෙකක්වත් ඒ ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකි බව අප තර්කානුකූලව පිළිගත යුතු සත්‍යයකි. මන්දයත් ලංකාවේ 2022 වසරේ සිදු වූ දරුණුතම ආර්ථික කඩා වැටීම මත ඊට පෙර කල්පනා කළ ආකාරයෙන් වර්තමානයේ රටක් පාලනය කළ නොහැකි බව පිළිගත යුතුය. රට බංකොලොත් වීම එක් පුද්ගලයකුගේ හෝ එක් ආණ්ඩුවක වරදින් සිදු වූවක් නොවේ. දශක තුනක් පුරාවට දිගින් දිගටම රාජ්‍ය අයවැය ලේඛනයේ ජංගම ගිණුමේ පවත්නා හිඟය අඛණ්ඩව පැවැතීම ඊට හේතුවයි. මේ නිසා කිසිම ආණ්ඩුවකට එදිනෙදා රාජ්‍ය වියදම් පවා දරන්නට හැකි පමණ ප්‍රමාණවත් ආදායමක් ලැබී තිබුණේ නැත.
අතීතයේත්, වර්තමානයේත් හා අනාගතයේත් මේ තත්ත්වය එසේමය. එනම් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි අස්වැසුම ඇතුළු සහනාධාර මෙන්ම අප රට ලබාගත් ණය සඳහා ගෙවන පොලී යන මේ කරුණු හතර හෝ පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැතිවීම දීර්ඝ කාලයක් පුරාවට පැවති එක් අර්බුදයකි. බොහෝ දෙනා පවසන පරිදි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් වැට් බදු අඩු කිරීම නිසා වූ දෙයක් යැයි පැවසුව ද එය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර ප්‍රකාශයකි. දීර්ඝ කාලයක් පුරාවට වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබුණි. 2023 වසරේදී බදු හා බදු නොවන ආදායම් මෙන්ම ප්‍රදාන යන මේ සියල්ලන්ගෙන්ම මහභාණ්ඩාගාරයට ලැබී ඇත්තේ ට්‍රිලියන 3 ක් පමණි. නමුත් අත්‍යාවශ්‍ය වියදම් ප්‍රමාණය ට්‍රිලියන 4.6 කි. මේ අනුව 2023 වසරේදි ආණ්ඩුව පවත්වා ගෙන යාමට ට්‍රිලියන 1.6ක් මදි වූ බව පිළිගත යුතුය. කුමන පක්ෂයක් ආණ්ඩු කළබව ද කවුරු බලයට පත් වුව ද අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට නම් මුදල් අවශ්‍යය.
මීට පෙර පැවති ආණ්ඩු විසින් කළේ දේශීය හා විදේශීය වශයෙන් ජංගම ගිණුමේ හිඟය පියවීමට ණය ගැනීමයි. මේ ණය ප්‍රමාණවත් නොවන විට පරිපූරක ඇස්තමේන්තු නිකුත් කොට මුදල් අච්චු ගැසීම ද සිදු කළේය. වර්තමානය වන විට ඒ දෙකම සිදු කළ නොහැකි වී ඇත. විදේශයන්වලින් අප ලබා ගත් ණය ගෙවා නොමැති නිසා ණය ලබා ගැනීමට හැකියාවක් නොමැති අතර මුදල් අච්චු ගැසීම ද තහනම් කර ඇත. මේ කරුණු මේ අර්බුදය උග්‍ර වීමට එක් හේතුවක් විය. ඕනෑම ආණ්ඩුවක් යටතේ ජංගම ගිණුමේ හිඟයක් පැවතිණි.
පසුගිය කාලයේ වැටුප් ආදිය ගෙවූයේ දේශීය වශයෙන් ට්‍රිලියන 1.6 ක මුදලක් ණයට ලබා ගනිමින් බව අප කල්පනා කළ යුතුය. නිදහසින් පසු මෑත ඉතිහාසයේ සියලු රජයන් පවත්වා ගෙන යාමටවත් ආදායමක් නොමැති නිසා සියලු සංවර්ධන වැඩ කටයුතු සිදු කළේ ණයට ලබාගත් මුදලිනි. එසේ නොමැතිව මහජනතාවගේ බදු මුදලින් නොවේ. පාරවල් සකස් කිරීමට ණය ලබා දුන්නේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවයි.
රට බංකොලොත්වීමට බලපෑ දෙවැනි හේතුව වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයයි. එනම් රටින් බාහිර විදේශ වෙෙළදාමෙන් රටට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා ඒ වසරේ ගනුදෙනු සඳහා රටින් පිටව යන විදේශ විනිමය ප්‍රමාණය වැඩියි. 1977 සිට දිගටම ගෙවුම් ශේෂය ඍණ අගයක් ගෙන ඇත. ලංකාව සැමදාම ඛණිජ තෙල්, ගෑස්, සහල්, පිටි මෙන්ම යන්ත්‍ර සූත්‍ර ආදිය ගත් විට ඒවා ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ විනිමය අපට උපයාගත නොහැකි විය. සැමදාම රටට අවශ්‍ය කරන දේ ආනයනය කර ඇත්තේ ණයටය. ගෙවුම් ශේෂය ජංගම ගිණුමේ හිඟය පියවා ගෙන ඇත්තේ විදේශ ණයවලිනි.
ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය විශාල ලෙස වැඩිවීම නිසා විදේශීය ණය ලබා ගැනීමෙන් රුපියල දිගින් දිගටම අවතක්සේරු වීම සිදු විය. රුපියල කඩා වැටුණි. 1977 වසරේ ඩොලරයකට ගෙවනු ලැබූයේ රුපියල 8 ක මුදලකි. පසුව එම වසරේ නොවැම්බර් අයවැයෙන් පසු ඒ මුදල රුපියල් 16 ක් විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඩොලරයකට රුපියල් 205 ක් ගෙවනු ලැබීය. ඒ ආණ්ඩුව අවසන් වන විට එය රුපියල් 131 ක් විය. ගෝඨාභය රාජපක්ෂ සමයේ එය රුපියල් 200 ක් විය. ආර්ථික අර්බුදයත් සමඟ එය ඩොලරයකට රුපියල් 420 ක් විය. මේ අනුව ඩොලරයක් වටිනා බඩු ගෙන ඒමට එදා රුපියල් 8 ක් ගෙවූව ද පසුව එය රුපියල් 420 ක් විය. අද එය රුපියල් 300 කි. අපේ ජීවන වියදම ඉහළ යන්නේ මේ අනුව බවත්, බඩු මිල පවසන්නාක් මෙන් අඩු කළ නොහැකි බවත් අපේ ජනතාව නොදන්නා කරුණකි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය හා ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය පියවා ගැනීම සිදුවූයේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගනිමිනි.
මේ තුළින් රට බංකොලොත් වන බව දැනගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප අත්සන් කළ ගිවිසුම් ගණන 16 කි. ඒ 16 වතාවේම නිර්දේශ ඉදිරිපත් කළේ බංකොලොත් වීමෙන් රට මුදා ගැනීමටය. නමුත් එදා ඒවාට විරුද්ධ වී ගිවිසුම් කඩ කෙරුණි. මේ මහා කඩා වැටීමට පෙර පළමු කඩා වැටීම වූයේ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය අවධියේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් වූ ආචාර්ය පී. බී. ජයසුන්දර 2001 දී ආර්ථිකය ඍණ 1.4 ක් වීමය. මෙය පළමු කඩා වැටීමයි. ඒ අවස්ථාවේදී රටේ ආර්ථික අර්බුදය උත්සන්න වී රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් වෙනත් ආණ්ඩුවක් සෑදුවෙමු.
ඒ රජයේ මා ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති විය. ඒ කාලයේ මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධතාව අනුව මූල්‍ය අරමුදල අපට උපදෙස් දුන්නේ මේ ආකාරයෙන් මේ රට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවයි. ඒ නිසා නීතියක් මත මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කෙරිණි.
ඒ අනුව 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවේය. මෙයින් කරුණු තුනක් නීතිගත විය. පළමුවැන්න, 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් විය යුතු අතර; ඉන්පසු දිගටම කවුරු රජය පාලනය කළත් අයවැය පරතරය 5% කට අඩුවෙන් පවත්වා ගැනීමයි. දෙවැන්න වන්නේ 2013 දී නොපියවූ මුළු රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදයෙන් 65% දක්වා ගෙන ඒමයි. එවිට ණය ගෙවීම් පිළිබඳ අර්බුදයක් පැන නඟින්නේ නැත. තුන්වැන්න වන්නේ රජය ලබා ගන්නා ණය සඳහා ලංකා ආණ්ඩුවට ඇප විය හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ක් දක්වා පමණක් වීමයි. කඩා වැටුණු රට එක් වරක් ගොඩ ගත් නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයන්ය. එදා මේ නීති පැනෙව්වේ රට බංකොලොත් නොවීමටය. නමුත් ඍණ ආර්ථිකය ධන කරන්නට බොහෝ කැපකිරීම් කළ අතර චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කෙරිණි. ඒ අනුව 2001 වැටුණු රට ගොඩ ගත්තේය. එදා රට ගොඩ ගත්තේ සාමාන්‍ය ජනතාවට වේදනාකාරී අත්දැකීම් ඇති කරමිනි. එදා රට පාවා දුන් මතය රට තුළ ඇතිකරමින් 2004 අප ගෙදර යැව්වේය. එදා බලයට පත්වූ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලෙක්ම් වූ පී. බී. ජයසුන්දර මේ පනත සංශෝධනය කළේය.
ඒ අනුව 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ නීති සංශෝධනය කිරීමට දායක වූ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන් රට බංකොලොත් වීමේ වගකීම දැරිය යුතුය. ඉන්පසුව සුපුරුදු පරිදි ණය ගෙවමින් රජයන් පවත්වා ගෙන ගියේය. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල වැනි අය ලබා දෙන සහනාධාර ණය මදි වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ගිනි පොලියටත් ණය ලබා ගත්තේය. යුද්ධයට මුදල් අවශ්‍ය වූ විට මහින්ද රාජපක්ෂ යුගයේදි ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ලබා ගත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 6.5 කි. නමුත් වසර 5 කට යහපාලන රජය ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර අමෙරිකානු ඩොලර් බිලියන 12 ක් ලබා ගෙන තිබුණි.
මේ නිසා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම සඳහා ලොව පිළිගත් ආයතන වන පිච් රේටින්, මෝඩි වැනි අන්තර් ජාතික ආයතන විසින් ලංකාව ණය තිරසර බව නැති නිසා ශ්‍රේණිගත කිරීම්වලින් පහළට ඇද දැමීය. එවිට අපේ අය පැවැසූයේ අපේ වැඩපිළවෙළ නොතේරෙනකම නිසා ලංකාව ශ්‍රේණගත කිරීම්වලින් පහළට ඇද දමා ඇති බවයි.
නමුත් ඔවුන්ට එසේ කළ නොහැකිය. අපේ රටේ සියලු ඉලක්කම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලෝක මූල්‍ය ක්‍රමය විශ්ලේෂණය කරන ආයතන සතුව ඇත. මන්ද ඔවුන් සියල්ලටම මඟපෙන්වන ආයතනය වෙයි. අපේ මහ බැංකුවට හෝ දේශපාලනඥයන්ට හෝ අප බංකොලොත් නොවන බවත් අපට ණය ගෙවිය හැකි බවත් පැවසිය හැකිය. නමුත් ඔවුන් පවසන්නේ ශ්‍රේණිගත කිරීම්වලින් පහතට දැමූ විට ණය ගෙවිය නොහැකි බවයි. මෙවැනි දේ නිසා ඇතිවන පළමු ප්‍රතිඵලය වන්නේ අපට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමයි. ලංකාවට ණය ගෙවිය නොහැකි බව දැනගත් විට ලංකාවේ බැංකු නිකුත් කරන ණයවර ලිපියකට තුන්වැනි පාර්ශ්වයකින් වගකීම් සහතිකයක් අවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස ලංකාවේ බැංකු ණයවර ලිපි නිකුත් කළ විට අමෙරිකානු බැංකුවකින් ඒ සඳහා වගකීම් සහතිකයක් ලබා දිය යුතුය. ඒ සඳහා අතිරේක මුදලක් වැය වේ.
ඒ අාකාරයෙන් අවසානයේ සිදු වූ දෙය වන්නේ අපේ සංචිත බිංදුව දක්වා පහත වැටීමය. මේ නිසා එදා තෙල් නැවට ගෙවීමට මුදල් නැති විය. ගෑස් නැවට ගෙවීමට මුදල් නැති විය. කිසිදු දෙයක් ගෙන්වීමට මුදල් නොමැති විය. විදුලිය කැපුණි. මේ කිසිවක් නොදන්නා අන්තවාදීන් දුප්පත් ජනතාවට කිව්වේ ආණ්ඩුව මුදල් සොරා කෑ බව කියමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරා දමා, ව්‍යවස්ථාදායකයේ 72 කගේ නිවෙස් ගිනිබත් කොට ප්‍රචණ්ඩත්වය දියත් කළේය. මේ සියල්ලම තාර්කික සිතුවිල්ලකින් කළ දේ නොවේ.
ඒ නිසා කිසිවකුත් රට භාර නොගන්නා විට 2001 වැටුණු රට ගොඩගත් අත්දැකීම් හා පළපුරුද්ද ඇති රනිල් වික්‍රමසිංහයන් ඉදිරිපත් වූයේ තමන් ජාත්‍යන්තරය සමඟ කතාබස් කොට රට බේරා ගන්නා බව පොරොන්දු වෙමිනි. ඉන්සුව ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම ඇතිකර ගත්තේය. අප පිළිබඳ ලෝකයේ නැවත් විශ්වසනීය බවත් ඇති කළේ IMF ගිවිසුමය. කවුරු ආණ්ඩු කළත් IMF ගිවිසුමේ කොන්දේසි අනුවම රට ගෙන යා යුතුයි. 16 වතාවක් එම ගිවිසුම් කඩා දැමූ ආකාරයෙන් කඩා දැමිය නොහැකිය.
සුභාෂිණි ජයරත්න