රටේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3%ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා 50%ක ඡන්ද ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සමහරු ප්‍රශ්න කරති. එහෙත් ඊට පිළිතුරු වශයෙන් සමහරු නඟන ප්‍රශ්නයක් වන්නේ 2020 මහමැතිවරණයේදී ඡන්ද දෙලක්ෂ හතළිස් අටදහස් හාරසිය තිස්පහක් පමණක් ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය දිනීම ඊටත් වඩා අපහසු නොවන්නේද යන්නයි.
මෙම ප්‍රශ්න දෙකෙන්ම මෙවර ජනාධිපතිවරණය පිළිබඳව සැලකිලිමත් විය යුතු ප්‍රකාශයක් ඉදිරිපත් වන අතර, එවැනි තත්ත්වයක් තුළ පෙර ලැබූ ඡන්ද සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් ඇති නොවන ප්‍රධාන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය පමණක් බව ද පෙනී යයි. ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබු එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය ජනාධිපති තරගයේදී ලබාගත හැකි යැයි අපේක්ෂා කරන ඡන්ද ප්‍රමාණය පිළිබඳව මෙන්ම සමගි ජන බලවේගයට එවැනි ප්‍රශ්නයක් නැති නමුත් එයට පහසුවෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකිද යන ප්රශ්නය පිළිබඳව සැබෑ තත්ත්වය හඳුනාගත හැක්කේ ඒ පිළිබඳව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන් පමණි.
ඒ ඒ පක්ෂ විසින් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව පිළිබඳ අවබෝධ කරගත හැකි මීට පෙර පැවති ආසන්නම මැතිවරණ වන්නේ 2018 ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයයි. ඊට අමතරව ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මාස්පතා හෝ කලින් කලට ජනමත සමීක්ෂණ ලෙස තොරතුරු ඉදිරිපත් කරන ආයතන 2ක් මෙරට ක්‍රියාත්මක වන බව ද පෙනී යයි. මේ ආයතන දෙකම මාස්පතා ඉදිරිපත් කරන ජනමත සමීක්ෂණ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන්ම සිටින අතර, සමගි ජන බලවේගය දෙවැනි තැන සිටී. එක් ආයතනයක අලුත්ම වාර්තාව අනුව මෙම පක්ෂ දෙක සම තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ඉතාමත් අඩු ඡන්ද සංඛ්‍යාවකින් තුන්වැනි තැන සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊටත් වඩා අඩු මට්ටමක සිටී. මෙම ආයතන දෙකම තොරතුරු ලබා ගන්නේ පුද්ගලයන් 1,000කටත් අඩු පිරිසකගේ අදහස් ලබා ගැනීමෙන් බව පෙනී යයි. කෙසේ වුවද අද වනවිට මහජනතාවගේ ඡන්ද පිළිබඳ මතයට අනුව මෙම සමීක්ෂණ ආයතන දෙක විසින්ම එළිදක්වනු ලබන සමීක්ෂණ වාර්තා පිළිබඳ ප්‍රකාශ කළ හැක්කේ ඒවා මහපොළොවේ යථාර්ථයෙන් ගවු ගණනක් ඈතින් සිටින සමීක්ෂණ බවයි.
2019 සහ 2020 ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ප්‍රතිඵල විමසා බලන විට ජනමතය සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ විශේෂ තත්ත්වයකි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 2019 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූයේ සජිත් ප්‍රේමදාස මහතාය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස සිටියද එම අවස්ථාවේ ඇති වූ බලපෑම් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණි. එම ජනාධිවරණයේදී ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හැට නව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස්පහක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේ ඡන්ද පනස්පන් ලක්ෂ හැටහතර දහස් දෙසිය තිස්නවයක් පමණි. එසේ වුවද 2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය සමගි ජන බලවේගය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව විසිහත් ලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය අසූහතරක් පමණි.
2019දී එක්සත් ජාතික පක්ෂය ලැබු ඡන්ද සංඛ්‍යාව සහ 2020දී සමගි ජන බලවේගය ලැබු ඡන්ද සංඛ්‍යාව අතර වෙනස ඡන්ද විසිහත් ලක්ෂ අනුදෙදහස් දෙසිය පනස්පහකි. ඒ අනුව ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පාවිච්චි කළ ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂවල ඡන්දත් එක්සත් ජාතික පක්ෂයට ඍජුවම ලැබුණු ඡන්ද ප්‍රමාණයත් ඉවත් කළ විට පැහැදිලිවම ලක්ෂ දහනවයක පමණ ඡන්ද දායකයන් පිරිසක් ඡන්ද පොළට ගොස් නැති බව පෙනේ. මෙම තත්ත්වය අනුව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය අඩු මට්ටමක පවත්නා අතරම සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය ද 22%ක් වන බව පෙනේ. ඒ අනුව සමගි ජන බලවේගයට ද 50%ක ප්‍රතිශතයකට පත්වීම සඳහා දැනට පවතින ඡන්ද ප්‍රමාණය දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් වැඩිකර ගත යුතුව ඇත. එවැනි තත්ත්වයක් තුළ පන්සියයකට වැඩි පිරිසකගේ අදහස් විමසා රටේ ජනමතය එය ලෙස හුවා දක්වන තත්ත්වයට වඩා මෙම ජනාධිපතිවරණයේදී ඡන්දදායක හැසිරීම වෙනස් බව පෙනෙනු ඇත. එහෙත් එම යථාර්ථය සමීක්ෂණ ආයතනවලට නොපෙනීම හෝ ඇතැම් විට පෙනුණද මහපොළොවේ යථාර්ථයට එහා ගිය දේවල් පෙන්වා මහජනතාව නොමඟ යැවීමට ඔවුන් කටයුතු කරන බව පෙනේ. මහමැතිවරණයේදී පක්ෂය දෙකඩ වීම සහ නියත පරාජය නිසා සමගි ජන බලවේගයට ඡන්දය පාවිච්චි නොකළ දහනව ලක්ෂයක එක්සත් ජාතික පක්ෂ පිරිස පමණක් තම නායකයා දැනටමත් ජනපති පදවියට පත්ව සිටින අවස්ථාවක ඔහු වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි නොකරනු ඇතැයි සිතිය හැකිද?
ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස සැලකෙන පක්ෂ තුන අතරින් සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට සහාය පළ කරන බව රටේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි යැයි අපේක්ෂිත එකම පක්ෂයක් හෝ මේ දක්වා ප්‍රකාශ කර නැත. වැවිලිකරුවන්ගේ සංගමය මෑතකදී ප්‍රකාශයට පත්කර ඇති තොරතුරුවලට අනුව වැවිලි අංශයේ සේවය කරන වතු කම්කරුවෝ පමණක් හයලක්ෂ හැත්තෑදාහක් සිටිති. සේවය නොකරන පිරිස ද එකතු කළ විට වතු අංශයේ මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද දස ලක්ෂය ඉක්මවීමට ඉඩ තිබේ. මේ වන විට ජීවන් තොණ්ඩමන් තමා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබේ. එහෙත් වතුකරයේ අනෙක් නායකයා වන දිගම්බරන් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා ඕනෑම නායකයකු යටතේ තමන්ට ඇමැති පදවියක් ලබා ගැනීම අවශ්‍ය වන බවයි.
මේ ආකාරයට දැනටමත් රටේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් හිමි දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව සිටී. ජූනි 08 වැනිදා අම්බලන්තොටදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන සන්ධානයේ මහජන රැලියක් පැවැත්වේ. මෙම සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු පිරිස එකතුව සිටින බවද පෙනී යයි. මෙහි විශේෂත්වයක් වන්නේ 2020 මහ මැතිවරණයේදී මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිකරගත් ගිවිසුම අනුව තරග කළද, ඇතැම් පොහොට්ටු නායකයන් විසින් ඔවුන්ට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේම ඉල්ලීම් කර ඇති බවයි. හම්බන්තොට මහින්ද අමරවීරට, කෑගල්ල රංජිත් සියඹලාපිටියට, අනුරාධපුරය දුමින්ද දිසානායකට, ගම්පහ ලසන්ත අලගියවන්නට වැනි අයට ඡන්දය නොදෙන ලෙස ඉල්ලීම් කළද ඔවුන් ජයග්‍රහණය කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දාහතර ලක්ෂයක් ලැබුණි. එම ප්‍රමාණයෙන් ද වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මේ හැරෙන්නට සැලකිය යුතු පක්ෂ ප්‍රමාණයක් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී සිටී. ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුතු ඊපීඩීපී පක්ෂය, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුතු ටිඑම්විපි පක්ෂය, කරුණා අම්මාන් විසින් පිහිටුවා ඇති නව දේශපාලන සංවිධානය සිය සහාය දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රකාශයට පත්කර තිබේ. පොදුජන පෙරමුණෙන් දැනට වෙන්වී සිටින සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසකගෙන් සමන්විත තවත් සන්ධානයක් ගොඩනඟාගෙන ඇති අතර එයද මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. අරුන් සිද්ධාර්තන් උතුරේ සෑහෙන ජන කොටසකට නායකත්වය දෙන අතර, ඔහු යාපනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ. එම්.ඒ. සුමන්දිරන් සහ විග්නේෂ්වරන් ඇතුළු තවත් උතුරු නැඟෙනහිර මන්ත්‍රීවරු රැසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව මේ දක්වාම තීරණයක් ගෙන නැත. දැනටමත් කැබිනට් මණ්ලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ද එම තනතුරට පත්කර ගතයුතු බවයි. කෙසේ වුවද පොදුජන පෙරමුණේ තීරණය එම පෙරමුණේ දේශපාලනය කෙරෙහි තීරණාත්මකව බලපානු ඇත. එම පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කළහොත් එයට ඉදිරියේදී තනි පක්ෂයක් ලෙස පැවතීමට හැකිවනු ඇත. එහෙත් තම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කළහොත් අනිවාර්යයෙන්ම එම පක්ෂයට දැනට සිටින මන්ත්‍රීවරු පිරිස වුවද දෙකට බෙදෙනු ඇත. එබැවින් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද තීරණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා තම ජනපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කළ පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු සමඟ එකතු වීමට සූදානම් වන බවද වාර්තා වේ.
මේ සියල්ලට වඩා වැදගත් වන්නේ ආහාර, ඉන්ධන, ගෑස්, විදුලිය ආදිය නොමැතිව අපායක මෙන් ජීවත්වීමට සිදුවූ ශ්‍රී ලාංකික ජනතාව තමන් සහ රට එම තත්ත්වයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට අර්බුද අවස්ථාවලදී නායකත්වය ලබා නොගෙන පලාගිය, අත්දැකීම් හෝ පළපුරුද්දක් නැති පුද්ගලයන් ජනාධිපති ධුරයට එක්කර යළි අපාගත වීමට කටයුතු කරනු ඇත්ද යන ප්රශ්නයයි.
ඉහත තොරතුරු අනුව පැහැදිලි වන්නේ 3%ක් ඡන්දය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණත්, 22%ක් ඡන්දය ලබාගත් සමගි ජන බලවේගයත් තවමත් තනි පක්ෂ ලෙස පවත්නා නමුදු රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය වටා විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණයක් මේ වනවිටත් එකතුව සිටින බවයි. ජූනි 06 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන පක්ෂ කාර්යාලය කොළඹදී විවෘත කළේ ඔහු අනිවාර්යයෙන්ම මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පෙන්නුම් කරමිනි. ඉහතින් විස්තර කරන ලද විවිධ දේශපාලන පක්ෂවල මේ වනවිටත් ගෙන ඇති තීරණ අනුව පැහැදිලි වන්නේ රටේ දේශපාලනයේ යථාර්ථය ඇතැම් සමීක්ෂණවලට වඩා වෙනස් බවත් දැනටමත් ජනාධිපති ඡන්ද ප්‍රතිඵල පිළිබඳව නිශ්චිත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් නොවේද?
සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය