Home » රනිල්ගේ කමිටුවකට සජිත්ගේ ප්‍රබලයෙක්

රනිල්ගේ කමිටුවකට සජිත්ගේ ප්‍රබලයෙක්

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

යහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවටම සීතල දේශගුණයක් පැවතිය ද එය පරයමින් දේශපාලන වේදිකාව නම් උණුසුම් වූ ආකාරයක් සෑම පැත්තකින්ම දක්නට ලැබුණි.

ජනාධිපතිවරණය කල් දැමීමේ යෝජනා මතු වෙද්දී ජනපති රනිල් ඉරිදා සිරිකොතට ගොස් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මැතිවරණයට අදාළ තනතුරු ඇතුළු තනතුරු කිහිපයක් පත් කළේය. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබූ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්වය යළි පිරිනැමුවේ ඒ අතරතුරය.

ඉන් නොනැවතී දේශපාලන කාර්යාලයක් ද විවෘත කරනු ලැබුවේ දේශපාලන කරළිය තුළ අමුතු සෙල්ලමක් කරමිනි. ජනපති රනිල් ඉරිදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගියේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට නායකත්වය දීමටය.

එදින මුලින්ම සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සාමාජිකත්වය නිදහස් කිරීමේ යෝජනාව අනුමත කරමින් ඔහුව පක්ෂයේ දේශපාලන සහයෝගිතාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට ද පත් කරනු ලැබීය.

එහි සෙසු සාමාජිකයන් ලෙස වජිර අබේවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, වඩිවෙල් සුරේෂ් සහ පක්ෂයේ 5 වැනි මන්ත්‍රීවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කරන බව නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.

ඉන් නොනැවතී එක්සත් ජාතික පක්ෂ ජාතික මැතිවරණ සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු පත් කළ අතර, ජාතික මැතිවරණ නියෝජ්‍ය ලේකම් ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කරනු ලැබීය. ජාතික ලේකම් ලෙස රවි කරුණානායක පත් කෙරුණු අතර, භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් පත් කරන ලදි. භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් පක්ෂ උප සභාපතිවරයකු ලෙස පත්වීම් ලැබීය. ක්‍රිෂාන් තියඩෝර් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කරන ලද පත්වීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය හිමි විය.

ඊට අමතරව පක්ෂයේ සෙසු නිලධාරි මණ්ඩලය ද පෙර පරිදිම පත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය හිමි වූ අතර පක්ෂයේ නව කලාප සංවිධායක පත් කිරීම්වලට ද අනුමැතිය හිමි විණි. එම කලාප සංවිධායකවරුන් සියලු දෙනාට ජනපති රනිල් අතින් පත්වීම් ලිපි පිරිනැමීමට පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර කටයුතු කර තිබුණි.

විපතට පත් වුවන්ට කඩිනමින් සහන

අයහපත් කාලගුණික තත්ත්වය ගැන ජනපති දැනුම්වත් කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ය. කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලට හා ප්‍රමිත බණ්ඩාරට කතා කළ ජනපති ඔවුන්ට උපදෙස් දුන්නේ වහාම මේ ගැන සොයා බලන ලෙසටය. ඒ අනුව ඔවුන් ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගොස් නිලධාරීන් කැඳවා අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. පසුව සාගල මාතරට හා සීතාවකට ගොස් ආපදාවන්ට ලක්වූවන්ගේ තොරතුරු විමසා බලා අවශ්‍ය සහන ලබාදීමට පියවර ගත්තේය.

සඳුදා උදෙන්ම කොළොන්නාවට ගිය සාගල සජබ මන්ත්‍රී මරික්කාර් හා සරත් වීරසේකර සමඟ එක්වී ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළේය. ඒ අතර ඔහු මෙම කටයුතු ගැන ජනපති රනිල් ද දැනුම්වත් කළ අතර, තමන්ගේ මවු පාර්ශ්වයට සම්බන්ධ සේදවත්ත ග්‍රාමයේ අසල්වැසියන්ගේ සැප දුක සොයා බැලීමට තමන් එන බව ජනපති සාගලට දැන්වීය.

ජනපති කොළොන්නාවට

කොළොන්නාවට ගිය ජනපති මුලින්ම පන්සලට ගොස් එහිදී නිලධාරීන් හා මහජන නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේ ගංවතුර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීමටය. අනවසර ඉදිකිරීම් හා පහත්බිම් ගොඩකිරීම් නතර කිරීමට අදාළව දැඩි නීති ගෙන ඒමට එහිදී තීන්දු කෙරිණි. ඉන් පසුව පීඩාවට පත් ජනතාව මුණගැසීමට ගිය ජනපති ඔවුන්ගේ දුක බෙදා ගත්තේ ජනතාවගේ ඇසට සතුටු කඳුළක් එක් කරමිනි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එදින සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට ද එහිදී තීන්දු කෙරුණි. එදින පෙරවරුවේ දේශපාලන කැබිනෙට්ටුව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට ප්‍රථම එම කණ්ඩායම රැස්වුණේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ කාර්යාලයේ ය. එහිදී ජනපති සමඟ සාකච්ඡා කරන කරුණු ගැන සාරාංශගත කෙරිණි.

ටිරාන්ට කේක්

එම සාකච්ඡාව යන අතරතුර පිටතට පැමිණි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ජනපතිට ඇමතුමක් දී කීවේ එදින ඇමැති ටිරාන්ගේ උපන්දිනය බවය. ඒ අනුව සැලසුමක් ක්‍රියාත්මක වූ අතර, ජනපතිගේ ප්‍රධානත්වයෙන් දේශපාලන කැබිනෙට්ටුව රැස්වෙද්දී ඉටිපන්දම් ගැසූ කේක් ගෙඩියක් තිබෙනු දැක ටිරාන් ද පුදුමයට පත්වූවේය.

කේක් කපා පිරිස ඔහුට සුබපැතීමෙන් පසුව දේශපාලන කැබිනෙට්ටුව රැස්විණි. එදින පෙරවරුවේ මෙන්ම සවස් යාමයේදී ද ටිරාන් වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ කේක් කැපිණි. ඒ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ය.

ජනපති මීදෙණිය වලව්වට

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ රුවන්වැල්ලට ගියේ උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමටය. එහිදී ඔහු සිය ඥාතිත්වයක් ඇති මීදෙණිය වලව්වට ගොස් එහි මඳවේලාවක් නතරව සිටි නැවත එන අතරතුර ගංවතුරෙන් අවතැන් පිරිසේ දුක සැප විමසීමට ද ගියේය. ගුවනින් එන අතරතුර ගංවතුර තත්ත්වය පිරික්සූ ජනපති රනිල් එහිදීම දුරකතනයෙන් අදාළ නිලධාරින්ට කතාකොට උපදෙස් දෙනු ලැබීය.

ජනපතිගෙන් රවීට සුබපැතුම්

බදාදා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිරිසකට අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් පසු පරිසර දිනය වෙනුවෙන් පාසල් පරිසර නියමුවන්ට හා හොඳම හරිත දුම්රිය ස්ථාන 10 ට සම්මාන ප්‍රදානය කෙරිණි. සවස ඔහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවේදියාගේ සිනමා දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උලෙළට එක්වීමටය. එහිදී ජනපති රනිල් 1975 වර්ෂයේ කැලණිය සංවිධායක ලෙස රවීන්ද්‍ර රන්දෙණියගේ පවුලේ අය මුණගැසුණු හැටි සිහිපත් කළේය.

මෝදිගෙන් රනිල්ට ආරාධනාවක්

ඉන්දීය අගමැති මෝදිට කතා කොට සුබ පැතුවේ ඉන්පසුවය. එහිදී ඉන්දීය අගමැතිවරයා සිය දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණෙන ලෙස ජනපති රනිල්ට ආරාධනා කළේය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් කොළඹ අර්නස්ට් ද සිල්වා මාවතේ ස්ථාපිත කෙරුණු දේශපාලන කාර්යාලය විවෘත කළේ සුබ මොහොතිනි. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මෙම කාර්යාලය ස්ථාපිත කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කර තිබුණි. මහා සංඝරත්නය ඇතුළු ආගමික ප්‍රසාදීන්ගේ ආශීර්වාදයෙන් පසුව ඔහු එහි සටහන් පොතක යෙදූ ප්‍රථම සටහන කාගේත් අවධානයට ලක්විය.

රනිල් The Start අරඹයි

“ආරම්භය – The Start” ලෙස ද්වි භාෂාවෙන් සටහනක් තැබූ ජනපති රනිල් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් සිය අත්සන ද යොදා තිබෙනු පැමිණි පිරිසට දැකගත හැකි විය. ඕනෑම අවස්ථාවකදී ක්ෂණිකව අවශ්‍ය තැනට අවශ්‍ය වදන් සටහන් කිරීමට ඇති හැකියාව සැමගේ ප්‍රශංසාවට කාරණයක් වූවේය. එහි පැමිණි අගමැති දිනේෂ්, ඇමැති නිමල් සිරිපාල, ඇමැති බන්දුල, ඇමැති රමේෂ් හා මන්ත්‍රී ලන්සා ඇතුළු පිරිස සමඟ ජනපති සාකච්ඡාවක් ද පැවැත්වූවේය.

එහිදි පිරිස විපක්ෂය මතු කරන 75 වසරක සාපය ගැන කරුණු ඉදිරිපත් කළ යුතු බව කියද්දී ජනපති රනිල් කීවේ අපි අවුරුදු දෙකට කරපු වැඩ ගැන ජනතාව දැනුම්වත් කරන ලෙසටය. අමාරු කාලයක රජයක් භාරගෙන නැවත රට යථා තත්ත්වයට ගෙන ඒමට කළ වැඩ කොටස ගැන තොරතුරු මැති ඇමැතිවරුන්ට දෙන ලෙස ඔහු ආචාර්ය සමරතුංගට පැවසුවේය.

දේශපාලන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ඔහු පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතය. එහි මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියේ ජනපති සමඟ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කිරීම ගැන මෙන්ම ගංවතුර ආපදාවන් ගැන ද මෙහිදී කතා කෙරිණි.

වතුර බැස්සට පස්සේ ගියේ කවුද?

“ගංවතුර වෙලාවේ ජනාධිපතිතුමාත් මිනිස්සු අතරට ගියා. අගමැතිතුමාත් ගියා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුත් ගියා. හැබැයි වෙනදට යන විපක්ෂ මන්ත්‍රීවරු නම් හිටියේ නෑ. විපක්ෂ නායකතුමා ගිහින් තිබුණේ වතුර බැස්සට පස්සේ.” මහාචාර්ය ආශූ කීවේ එය ඉතිහාසගත වාර්තාවක් බව ද පෙන්වා දෙමිනි.

ඉරිදා පැවැත්වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට යාමට ජනපති රනිල් සති අන්තයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

සාගල – දිලිත් හමුවක්

සරත් වීරසේකර මන්ත්‍රීවරයා නිෂ්පාදනය කළ ශ්‍රී සිද්ධා නම් පනාකඩුව තඹ සන්නස ගැන සකස් කෙරුණු චිත්‍රපටය නැරඹීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එක්වූ අතර, එහි පැමිණ සිටි මව්බිම ජනතා පක්ෂයේ දිලිත් ජයවීර සමඟ ඔහු කතා කරමින් සිටිනු කාටත් කුකුසක් ඇති කරවන්නක් විය. ජනපති ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්වෙන මහජන රැලියේ සංවිධාන කටයුතු කිරීමට සාගල රත්නායක එහි ගොස් තිබුණු අතර, ඔහු එක්සත් ජාතික පාක්ෂිකයන් මුණගැසෙන ස්ථානයට අල්ලපු ශාලාවේ ඇමැති කංචන ද පොහොට්ටු සාමාජිකයන් මුණගැසිණි.

මාතර අලි – පොහොට්ටු සමගිය

සාගල සිටින බව ආරංචි වූ ඇමැති කංචන එහි පැමිණි අතර, යූ.එන්.පී පාක්ෂිකයන් ඇමතූ කංචන පසුව කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලව කැඳවාගෙන පොහොට්ටු රැස්වීමට ගියේය. එදා ප්‍රතිපක්ෂ දෙකක දෙදෙනා මෙදා ජනාධිපති වෙනුවෙන් එකම වේදිකාවක සිටිනු දැකීම කාටත් මවිතයට කාරණයක් වූවේය.

ධනුෂ් සීතල නුවරඑළිය උණුසුම් කරයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පහුගිය සතියේ කාගේත් අවධානය දිනා ගත්තේ නුවරඑළියේදී සිදු වූ සිදුවීමක් නිසාය.

ආණ්ඩුවෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1700 කරපු වෙලාවේ වතු හාම්පුතුන් ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළා. ඇත්තම කියනව නම් තොණ්ඩමන් ඒ වෙලාවේ හිටියේ වතු කම්කරුවන් වෙනුවෙන් මේ වැඩේ කළ යුතුමයි කියන තැන.

ඔන්න ඔය ගැන කතා කරන්න තමයි පහුගිය 30 වෙනිදා සබ්ජෙක්ට් එකට සෙට් වෙන ඔක්කොම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එකතු වුණේ. නිලධාරින් දේශපාලනඥයන් වතු හාම්පුතුන් වෘත්තීය සමිති මේ ඔක්කොම එතන. ඔය රැස්වීමට ජීවන් තොණ්ඩාමන් ආවෙ හරියට දකුණු ඉන්දීය සිනමාවේ වීරයා ධනුෂ් වීදි සටනකට බහින විදිහට කිව්වොත් වැරදි නෑ.

කතාබහ උණුසුම් වෙද්දි ධනුෂ්ගෙ පාට් එක ඇට් කරපු ජීවන්ගේ රතු කට්ට සීමාව ඉක්මවා ගියා. කැලණි වැලි ප්ලාන්ටේෂන් එකට අයත් නුවරඑළිය “point pedrow” වත්තේ වතු අධිකාරිවරයාට පහරක් දෙකක් වැදුණා කියලයි දැක්ක අය කිව්වේ.

අන්තිමේ වතු අධිකාරිවරයා මේ ගැන කියන්න ගියේ පොලිසියට. වතු අධිකාරිගේ පැමිණිල්ල භාර ගන්න එපා කියලා ඇමති ජීවන්ගෙන් පොලිසියටත් බලපෑම් එල්ල වූ බව වාර්තා වේ.

“පොලිසිය කොහෙද එහෙම කරන්නේ. නීතිය කාටත් සාධාරණයි.” මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන් මේ ගැන කිව්වේ එහෙමයි.

ජීවන් එතනින් නැවතුණේ නැහැ. මහ පාර අවහිර කරමින් තමන්ගේ වෘත්තීය සමිතිවල සෙනඟ දාලා වතු හාම්පුතුන්ට විරුද්ධව උද්ඝෝෂණයකුත් පටන් ගත්තේය.

අන්තිමේ එතන ඇතිවුණු තත්ත්වය පාලනය කරන්න පොලිසියටත් බැරි වුණා. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරන් අලස්ට සිද්ධිය ගැන දිගටම පැමිණිලි. ජීවන් තොණ්ඩමාන් මේ විදියට පොලිසියටත් අවනත නැතුව නීතිය අතට අරගෙන වැඩ කරන්නේ MSD (ඇමති ආරක්ෂක සේවයේ) එකේත් හයිය ඇතිව කියලයි ඇමති ටිරන්ට පැමිණිලි ආවේ. කොහොම වුණත් තත්ත්වය පාලනය කරන්න විශේෂ කාර්ය බළකායේ සහාය ගන්න නියෝග කරන්න ටිරාන්ට සිදු විය.

ඊට පහුවදා ඒ කිව්වේ 31 වෙනිදා ඇමැති ජීවන් නුවරඑළියට ආවේ මහා සෙනඟකුත් එක්ක පොලිසිය වට කිරීමටය. ටිරාන් අලස් ඇමැතිගේ ආරක්ෂාවට එස් ටී එෆ් එක යෙදවීම නිසා තත්ත්වය පාලනය විය. ටිරාන් කරපු වැඩේ ගැන දේශපාලනඥයන් හුඟ දෙනෙක් ඔහුට කතා කර ප්‍රශංසා කළ බව ද වාර්තා වේ.

ඒ අස්සේ ජීවන් කෙළීන්ම මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන්ට කතා කරලා වෙච්චි වැරැද්ද ගැන කනගාටුව ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

ජනපති රනිල් වෙනුවෙන් ප්‍රසන්න ජපානයට

ඇමැති ප්‍රසන්න මේ දිනවල ඉන්නේ ජපානයේ ය. ඇමති ප්‍රසන්න ජපානයට ගියේ ජපානයේ සවාරාහී පිහිටි ලංකා ජීවිහාරයේ හතළිස් වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සහභාගි වීමටයි. පසුගිය සිකුරාදා ජපානයට ගිය ඇම­ැතිවරයා ඉරිදා තිබූ ලංකා ජී විහාරයට වසර හතළිහක් පිරීමේ උත්සවයට සහභාගි විය. රොෂාන් ගොස් තිබුණේ ද මේ උත්සවයට සහභාගි වීම සඳහායි. පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති රනිල්ගේ විශේෂ නියෝජිතයා ලෙස ජපානයට ගිය ඇමැති ප්‍රසන්න ජනාධිපතිවරයාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයක් ද එහිදී බානගල උපතිස්ස හිමියන්ට භාර දීමට අමතක කළේ නැත.

ජපානයේ සිට ප්‍රසන්න සහන සේවා මෙහෙයවයි

ඇමැති ප්‍රසන්න ජපානයේ සිටියදී ඔහුගේ බලප්‍රදේශය වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ අකරතැබ්බයකට මුහුණ දුන්හ. ඒ පැවති අධික වැසි සහිත කාලගුණය නිසයි. මේ ආරංචි වූ වහාම ඇමැති ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා ඇමතුවේය.

ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඊට අමතරව ඔහු ජපානයේ සිට සියලුම පොහොට්ටු මන්ත්‍රීවරුන්ටත්,හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සහ මන්ත්‍රීවරුන්ටත් කතා කළ ඇමැතිවරයා ජනතාවට සහන සැලසීමට අවශ්‍ය සහයෝගය දෙන්නයි ඉල්ලා සිටියේය.

නව සන්ධානයේ ඇමැතිවරුන්‌ගේ හමුවක්

නව සන්ධානයට සහාය දෙන මැති ඇම­ැතිවරුන්ගේ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ලිමේන්තුවේ පිහිටි නිල කාමරයේදී සිදු විය. මේ අවස්ථාවට මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

නිමල් සිරිපාල ඇමැතිවරයා සහ නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙම හමුවට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආරම්භ කිරීමේ හමුවට සහභාගි වීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.

මහින්දානන්ද ගුණතිලක ගැටුම

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පසුගිය සඳුදා ජනාධිපති මන්දිරයේදීය. රැස්වීම ආරම්භ කිරීමට පෙර මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් ඇති විය. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවය. මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ යෝජනාවක් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබීම මේ ගැටුමට හේතුවයි. ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ද වෙයි. මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ අතර දීර්ඝ කාලයක් තිස්සේ නොහොඳ නෝක්කාඩුවක් තිබූ අතර අවස්ථා කිහිපයකදීම බරපතළ වාද විවාද සිදුවනු දක්නට ලැබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට පෙර මෙවර සිදු වූයේ ද එයයි. ජනාධිපතිවරයා පැමිණීමත් සමඟ ගැටුම සමථයකට පත් වුවත්, රැස්වීම අවසන් වීමෙන් පසු එය යළි ආරම්භ විය. මහින්දානන්ද අලුත්ගමගේ විමසුවේ ” දැන් උඹ මොකද කියන්නේ ‘ මහින්දානන්ද, ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඇසූයේ රැස්වීමෙන් පිටව යමින් සිටියදීය. “ඇයි මොකද කියන්නේ? ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අතඇරියේ නැත. දෙදෙනා අතර වාග් සංග්‍රාමය ගැටුමක් බවට පත්වෙමින් තිබුණි. රාජපක්ෂ මන්ත්‍රීවරයා මහින්දානන්ද දෙසට ආවේය. මහින්දානන්ද ඉදිරියට ගියේය. ඇදවැටුණු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ” මහින්දානන්ද මට ගැහුවා ” කියමින් කෑගැසුවේය. ඒ මොහොතේ එතැන සිටි මන්ත්‍රීවරු දෙදෙනාව දෙපැත්තට තල්ලු කර සිද්ධිය සමථයකට පත් කළහ. ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුදා රෝහලට ඇතුළත් කෙරිණි.

ගැටුම් ඇතිකර නොගන්නා ලෙස නාමල්ගෙන් ඉල්ලීමක්

පසුගියදා ජනාධිපති කාර්යාලයේ ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ගුටි බැට හුවමාරුවක් සිදුවී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට රෝහල්ගත වන්නට සිදු විය. මෙය ආරංචි වූ වහාම නාමල් රාජපක්ෂ පැමිණියේ නාරාහේන්පිට යුද හමුදා රෝහලටය. ඒ ගුණතිලක රාජපක්ෂ බැලීමටය. නාමල් මේ වන විට සිටියේ මලලසේකර මාවතේ නිවෙසේය. එදින ඔහු කණ්ඩායම් රැස්වීමට පැමිණියේ නැත. යුද හමුදා රෝහලට යන විට එතැන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම සහ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පැමිණ සිටියහ. කොහොමද ආරංචි උනේ ජනාධිපති කාර්යාලයෙදි වෙච්ච සිද්ධිය; ජගත් සමරවික්‍රම නාමල්ගෙන් ඇසීය. අපිට ඉතින් ඕනෑම තැනක දේවල් ක්ෂණිකවම ආරංචි වෙනවා නාමල් සිනාසෙමින් පැවසීය. ඉන් අනතුරුව නාමල් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා පිටතට පැමිණියේය. ඊට පසුදින නාමල්ගේ මලලසේකර පාරේ නිවෙසට මන්ත්‍රීවරුන් තිහක් පමණ පැමිණියේ ආසන සම්මේලන මාලාව පිළිබඳව කතා කිරීමටය. මෙහිදී මන්ත්‍රීවරු කතා වුණේ ඊට කලින් දින සිදු වූ මහින්දානන්ද හා ගුණතිලක රාජපක්ෂ අතර සිදු වුණ ගුටිබැට හුවමාරුව පිළිබඳවය. මෙහිදී නාමල් පැවසුවේ මීට වඩා සබුද්ධිකව කටයුතු කිරීමට තිබූ බවය.

රැස්වීම් අවලංගු කළ නාමල් ගංවතුරට බහී

මේ දිනවල පොහොට්ටුවේ ආසන සම්මේලන රට වටා පැවැත්වෙන අතර, පසුගිය ඉරිදා එම රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් පැවැත්වීමට තිබුණේ බියගම ආසනයේදීය. නමුත් එදින ධාරානිපාත වර්ෂාවක් දිවයිනටම ඇද හැලෙන්නට විය. ඒ වගේම බියගම ආසනය ද ගංවතුර නිසා යට වෙන්නට පටන් ගෙන තිබිණි. නාමල් මෙහිදී වහාම රැස්වීම අත්හිටුවීමට පියවර ගත් අතර, බියගම ගංවතුරෙන් පීඩාවට පත්වන ජනතාවට ආධාර ලබාදීමට රුපියල් මිලියනයක පරිත්‍යාගයක් පක්ෂය වෙනුවෙන් සිදු කෙරිණි. එමෙන්ම පොහොට්ටුවේ සියලුම ආසන සංවිධායකවරුන්ට පණිවිඩයක් යවමින් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසුවේ සියලුම ආසන සංවිධායකවරුන් සිය ආසනවල අවතැන් ජනතාවට සහාය දෙන ලෙසටය.

වජිර ගාල්ලේ පාරවල් හදයි

2024 වර්ෂයේදී මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් මාර්ග 4ක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය සති අන්තයේදී ආරම්භ විය.

ඒ අනුව ඌරගහ, මහඒදණ්ඩ සිට මඩකුඹුර කටුකුරුදු ගහ දක්වා මාර්ගයත්, අලුත්වල ගෝනපීනුවල ප්‍රධාන මාර්ගයේ සිට හැරිස්ලන්ඩ් වත්ත, ටියුඩර් ලැබුණහේවා මාවතත්, පොද්දිවල මලාමුර සිට කොළඹ කඩය දක්වා මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමත්, වීරපාන මද්දෝවිට මර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමත් ගාල්ල දිස්ත්‍රික් නායක එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මැතිවරණ ආසන කොට්ඨාස 4ක තෝරාගත් මාර්ග 4ක් මෙහි පළමු අදියර ලෙස ආරම්භ වුණු අතර ඉදිරියේදී මෙවැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතාව වෙනුවෙන් සිදුකරන බව මෙහිදී වජිර ප්‍රකාශ කළේය.

“මීට වසර දෙකකට පමණ පෙර රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර ගන්නා විට මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැතිකමින් ලංකාවේ ක්‍රියාත්මක වූ සියලු සංවර්ධන ව්‍යාපෘති ඇණහිට තිබුණා. ඒ අවස්ථාව වනවිට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට තිබුණු අභියෝගය වුණේ කඩා වැටුණු ඔබේ ජීවන තත්ත්වය යළි නඟාසිටුවීමයි.

දැන් අපට තිබෙන්නේ රටේ සංවර්ධන කටයුතු සඳහා යොමුවීමයි. 2024 වර්ෂය අවසන් වීමට ප්‍රථම රටේ අබලන් වී තිබෙන මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී තිබෙනවා. දිවයින පුරා මෙවැනි අබලන් මාර්ග රැසක් මේ අනුව ප්‍රතිසංස්කරණය වෙනවා.

රුපියල් බිලියන 63ට වගකියන්නේ කවුද කියා අජිත්ගෙන් ප්‍රශ්නයක්

ලෝක පරිසර දිනය යෙදී තිබුණේ ජුනි මස 05 වැනි දාටය. එදින පාර්ලිමේන්තුවේදී ලෝක පරිසර දිනය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබුණේ සංවර්ධන ආයතනය මඟිනි.

මෙහිදී ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂයි.

පරිසරය රැකගන්නා අතරතුර නියම සංවර්ධනය ද සිදුකිරීම තිරසර සංවර්ධනය යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division