Home » කෙලින්ම කතා කරමු

කෙලින්ම කතා කරමු

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන දෙදෙනා අතර ආරවුලකින් පසුව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල් ගත කර තිබිණි. කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසන්නේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැස්වීම අතරතුරදීත් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණ බවත් රැස්වීම අවසානයේදි තමාට අසභ්‍ය ලෙස බැණ වැදුණ කාරණය විමසූ අවස්ථාවේදී ඔහු විසින් බැණ වැදුණ බවත්ය.

එහිදි බහින් බස්වීමක් ඇති වූ අතර තමා විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහර නුදුන් බව මහින්දානන්ද මන්ත්‍රීවරයා පවසයි. බහින් බස් වීම දුරදිග යන නිසා දෙපාර්ශ්වයම දෙපසට කිරීමට අනෙක් මන්ත්‍රීවරුන් උත්සාහ කළ අවස්ථාවේදී එම මන්ත්‍රීවරයා ඇදවැටුණ බවත්ය. කෙසේ වෙතත් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට රැස්වීම් ශාලාව අසලදී පහරදුන් බවයි. මේ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් පවසන අදහසුයි.

මම ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට කිසිසේත් පහරදිමක් කළේ නැහැ වගකීමෙන් කියනවා
– පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

ඇත්තටම එදා මොකද වුණේ.?

එදා මුකුත් විශේෂ දෙයක් වුණේ නෑ. මම එයාට ගැහුවා කියන කතාව සම්පූර්ණ බොරුවක්. මේ රැස්වීම අතරතුරදි මන්ත්‍රීවරයා දිගින් දිගටම අසභ්‍ය විදිහට බැණ වැදුණා. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඉදිරියේ කුණුහරුප කියලා මට බැණ වැදුණා. මම කිව්වා මේ රාජ්‍ය නිලධාරීන් ඉස්සරහා මට කුණු හරුප කියන්න එපා කියලා. ඒත් එයා ඒක අහන්නේ නැතුව දිගින් දිගටම මට බැණ වැදුණා. මේ මන්ත්‍රීවරයා මම කිව්ව දේට ඇහුම් කන්නොදි මට දිගටම බැණ වැදුණා. ඉන් පසුව මම කිව්වා රැස්වීම ඉවර වුණාම අපි එළියට ගිහින් හිමින් කතා කරගමු කියලා. ඒත් මේ මන්ත්‍රීවරයා අහන්නේ නැහැ.

එහෙම නම් ගුණතිලක මන්ත්‍රීවරයා කියන්නේ ඔබ ඔහුට පහරදීම නිසා ඇද වැටී ඔහුගේ පාදයක් බිඳුණා කියලා?.

නැහැ මම පහර දුන්නේ නැහැ. මේක යටිනුවර සංවර්ධන කමිටුවේ ප්‍රශ්නයක්. ඒ ගැන කෝප් එකේ නිලධාරීන් ඉස්සරහා මේ මන්ත්‍රීවරයා මට කෑගැහුවා. එළියට ආවාම මම ඇහුවා මොකද මට බණින්නේ කියලා නිලධාරීන් ඉස්සරහා කෑගහන්න එපා කියලා මම කිව්වා. එළියට එනකොට මම ඒක විමසුවා. ඒ අවස්ථාවේ අපේ කට්ටිය ගෝරියක් යයි කියලා දෙපැත්තට ඇද්දා. මාව සහන් මන්ත්‍රීතුමා ඇද්දා. යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා එයාව ඇද්දා. ඒ අවස්ථාවේදි එයාව වැටුණා. වැටිලා තමයි කකුළ මොකක්ද වෙලා තියෙන්නේ.

ඔබතුමා කියන්නේ එතුමාට පහරදිලා නොවෙයි වැටිලයි කකුල කැඩුණේ කියලා?

ඔව් මම ගැහුවේ නැහැ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු පනහකට වැඩිය එතන හිටියා. ඒ ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මම පහරදීමක් කළාද කියලා. මම එහෙම පහර දුන්නේ නැහැ. රාජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් මන්ත්‍රීවරුන් හයදෙනෙක් කාර්යාල නිලධාරීන් දිවුරුම් ප්‍රකාශ මඟින් මට දීලා තියෙනවා. ඒ ප්‍රකාශවලින් කිසිදු පහරදීමක් සිදු වුණේ නැහැ කියලා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එයා වැටුණේ පහරදීලා නොවෙයි. එහෙම වැටුණ ගමන් කකුල කැඩෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. කිසිසේත් පහරදීමක් කළේ නැහැ කියලා වගකීමෙන් කියනවා.


මට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කැත විදියට පහර දුන්නා
– පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ

එදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව සිදුවුණේ මොකක්ද?

යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට වසන්ත යාපා මන්ත්‍රීවරයා ගියාට පස්සේ ජනාධිපතිතුමා මාව පත් කළා. ග්‍රාමසේවා වසම් අනූපහේම ග්‍රාමීය කමිටු හරහා ප්‍රයෝජනය ගෙන ලැබෙන ප්‍රතිපාදන යටතේ ඒ සියල්ල ලස්සනට මම කරගෙන ගියා.

මෙහෙම වැඩ කර ගෙන යනකොට මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කරදර කරනවා; එයාට ඒක දෙන්න කියලා. අවුරුද්දක් තිස්සෙම කරදර කරනවා. හැමදාම මට බලකරන හින්දා මම දුන්නා. මම දාලා තියෙන යෝජනා කිසිවක් වෙනස් කරන්න එපා කියලා තමයි මම දුන්නේ. නෑ එහෙම වෙනසක් කරන්නෙ නෑ කියල කොහොම හරි ඒක භාර ගත්තා.

භාර අරගෙන සති දෙකක් ගියේ නැහැ; පළවෙනි සම්බන්ධීකරණ කමිටුවේම දුප්පත් මිනිස්සුන්ගෙන් අපි ගත්තු යෝජනා ටික මෙයා කැන්සල් කළා. එයාගේ ඒවා දාගත්තා මේක මට හම්බුණේ පෙරේදා. මේ වගේ වැඩ කරන්න එපා කියලා මම කිව්වා.මේවා පහත් වැඩ. ඇයි මේවා කළේ කියලා මම ටිකක් දොස් කිව්වා. .ඉන් පස්සේ මාත් එක්ක රණ්ඩුවට ආවා. ජනාධිපතිතුමා ඒ එක්කම ආවා. ඊට පස්සේ රණ්ඩුව නතර වුණා. පැය එකහමාරක් රැස්වීම තිබිලා එළියට යනකොට දොර ගාවදි අල්ල ගත්තා. එතැනදී මට අතින් පයින් ගහන්න පටන් ගත්තා. මම එහිදී ඇඳගෙන වැටුණා. කකුලේ දණහිසෙන් උඩ කොටස කැඩිලා පැය තුනහමාරක ශල්‍යකර්මයක් කළා.

ඔබතුමාට සාක්ෂි තියනවාද පහරදීලා කකුළ කැඩුණා කියලා….

පොලිස්පතිවරයා කතා කළා. මම සිදුවූ ඇත්ත සිද්ධිය කිව්වා. නීතිය හරියට කරන්න කියන එක තමයි මමත් කියන්නේ. පඩි පෙළේ වැටුණා කියන්නේ බොරු කතාවක්. දරුවෝ තමයි පැමිණිල්ලක් හරි දැම්මේ.අපි පක්ෂය ආරක්ෂා කරගෙන ආණ්ඩු ආරක්ෂා කරගෙන ඉන්න මිනිස්සු . එයා මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා. දිස්ත්‍රික් නායකයා හැටියට වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. මගේ යෝජනා කැන්සල් කරලා එයාට අවශ්‍ය විදිහට කටයුතු කිරීමෙන් මනාප ගාන වැඩි කරගන්න තමයි හදන්නේ. මට කරන්න පුළුවන් කැත විදිහට පහර දුන්නා.

ඔබ මහින්දානන්ද මන්ත්‍රීවරයාට දිගටම රැස්වීම් ශාලාවේදි බැණ වැදුණාද? ඉන්පස්සේ නේද බහින් බස්වීම වුණේ…?

මොකුත් බහින් බස්වීමක් වුණේ නැහැ එළියට යනකොටම එකපාරටම ගැහුවා. හිතාගන්නා බැරි විදිහට අකුණු ගැහුවා වගේ ගැහුවා. මං හිතුවේ නෑ මට ගහයි කියලා. එයා එක එක බොරු කියනවා. මිනිස්සු ඒවා පිළිගන්නේ නෑ.ජනාධිපතිවරයාටත් මම කිව්වේ සාධාරණය ඉෂ්ට කරන්න කියලා එච්චරයි.

ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

සාක්ෂි ඔක්කොම තියෙනවානේ. විනිවිදභාවයෙන් කටයුතු කරන්න. නැත්නම් මිනිස්සු වෙන දේවල් හිතනවනේ.

ඔබ කියන්නේ මහින්දානන්ද මන්ත්‍රීවරයා ගහලා කකුල කැඩුණා කියලද?

ගැම්මට ගහපු පාරට තමයි වැටුණේ. නැත්නම් මට ගහන්න කවුරුත් නෑනේ. මම දැන් විඳින්නේ හරි දුකක්. මේ පැත්තට හැරෙන්නත් බෑ. ඇවිදින්නත් බෑ. මගෙ වැඩ ඔක්කොම අවුල් වුණා. මම සාමාන්‍යයෙන් වැරදි වැඩ කරන බොරු කියන කෙනෙක් නෙමෙයි. කිසිම චෝදනාවක් නැති මහනුවර දිස්ත්‍රීක්කයේ සිටින එකම මන්ත්‍රීවරයා මමයි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division