මං ඉගෙන ගත්තේ ඈත පිටිසර ඉස්කොලෙක. අපේ ගම තිබුණේ සිරිපාදයට ආසන්නව. සිරිපාද වන්දනා සමයට අපි ඉස්කෝලේ නොයන තරම් . පවුලේ අගහිඟකම් එමටයි. ඒ කාලෙට අපි වැඩිපුරම ඉන්නේ සිරිපාද නඩ යන මඟ. මොනවාම හරි ගඩා ගෙඩි එකතු කරලා දවසට ගාණක් හොයා ගන්නවා. ඒක ගෙනැල්ලා අම්මාගේ අතට දෙනවා. නංගිලා ජීවත් වුණේ එහෙමයි. තාත්තා නැති අපේ පවුලේ මම වැඩිමලා විදිහට ලොකු රාජකාරියක් කළා. ඒත් අපිට ජීවත් වෙන්න ලොකු ආදායමක් නැති නිසා මම ගමෙන් කොළඹට ආවා. ඒ ආවෙත් හරියට යන්න එන්න තැනක් දැනගෙන නෙමෙයි. නමුත් මොකක්දෝ හේතුවක් හින්දා මට හොද කෙනෙක් හමුවුණා. ගාමන්ට් එකක රස්සාවක් ලැබුණා. ඒ ආව මුල් කාලේ ගෙවාගත්ත හැටි තවමත් මට හීනයක් වගේ. ඉන්න හිටින්න තැනක් නැතිව විඳපු දුක කියලා වැඩක් නැහැ. ගමට වෙලා ලැබෙන දෙයක් කරගෙන හිටියනම් ඉවරයි කියලා හිතුණ වාර අපමණයි. අද වගේ නෙමෙයි එදා දුරකතනත් නැහැ.
ගමෙන් නංගිලා එවන ලියුම තමයි එකම සැනසීම වුණේ. ඒ ගෙවා ගත්ත දුෂ්කර කාලය තුළ විඳපු දුක නිමක් නැහැ. නමුත් අද මම සතුටින්. මගෙ අම්මා ඉන්නේ මා එක්ක. නංගිලා දෙන්නා විවාහකයි. එයාලා පදිංචි වෙලා ඉන්නෙත් ගම්පහ අවට. කොළඹට ඇවිත් අවුරුදු දහයකට පහළොවකට පස්සේ තමයි මම හරියටම ජීවිතේ දැක්කේ. අද මම මගේම කියලා ව්‍යාපාරයක හිමිකරුවෙක්. අතමිට මුදල් ගැවසුනාට, සැපවත් විදිහට ජීවත් වුණාට ජීවිතේ දැනෙනවා. අදත් හීනෙන් වගේ මතක් වෙනවා ඒ දවස්වල දවස ගෙවා ගත්ත විදිහ. එකම එක යාළුවෙක් හිටිය මගෙ තනියට. අදත් ඔහු ඉන්නවා මා එක්ක. මගෙ බිරිඳ බොහොම හොඳ කෙනෙක්. අපි බොහොම අමාරුවෙන් ගොඩදාගත්ත ජීවිතයක් තියෙන්නේ. ඒ අමාරුකම් හැම දෙයක්ම උහුල ගන්න මගෙ හිතට එකම ශක්තිය වුණේ මගෙ අම්මා. අම්මා නොහිටින්න මට මෙච්චර සුන්දර ජීවිතයක් නැහැ.“
ඒ පුතු සිය මව ගැන සිහි කරන්නේ අපමණ භක්තියෙනි. ඒ එක් අම්මා කෙනෙකුගේ කඳුළක්….. සතුටු කඳුළක් පමණි. මෙවන් අම්මලා, දරුවන් තවත් මේ ලොව ඇති…ඒ හැම අම්මා කෙනෙකුගේම කඳුළකට වටිනාකමක් ද ඇත. මට හමු වූ අයෙකුගේ කතාවක් වූ එය තවත් නිකම්ම නිකම් කතාවක් ලෙස බැහැර කරන්නට බැරිය.
මවක පුතකු අතර ඇති බැඳීම කවදත් එකය. එය බොහෝ තද බැඳිමකි. නගරයේ මවක පුතකු අතර තිබෙන බැඳිමටත් වඩා ගම්බද මව්වරුන් දරුවන් අතර ඇති බැඳිම වඩාත් තදය. අද වන විට සමාජයේ විවිධ හේතු සාධක නිසා මේ බැඳීම් දවස දවස ඈත් වී ගියද තවමත් නොනැසී පවතින බැඳුම් අතර සුවීශේෂි බැඳිමක් ගැන කියැවෙන ගීතයක් පසු ගියදාක අසන්නට ලැබිණි. ගීතය ගයන්නේ ප්‍රවීණයකු වන ක්‍රිශාන්ත එරන්දකය. ගීතයේ පද රචනාව නවපරපුරේ ගී පද රචකයකු වන සුගත් සෝමවීර ගේය. සංගීතය නිර්මාණය කරන්නේ නව පරපුරේ සංගීත ශිල්පියෙකු වන මාලක රත්නායකය.
ක්‍රිශාන්තගේ හඬින් ගැයෙන ගීතය පිළිබඳ විමසු විටෙක ගී පද රචක සුගත් සෝමවීරයන් සිය අත්දැකීම පිළිබඳ පැවැසුවේ මෙලෙසිනි.
“මට මේ ගීතය ලියන්න නිම්ත්ත දුන්නේ මාලක රත්නායක සොයුරා. ඒ අවුරුදු නිවාඩුව එන්න ආසන්න කාලයක්. දවසක් මට මාලක කතා කළා. ඔහු හිටියේ මිතුරු හමුවක. අපි හැමෝම ගම්වල ඉපදිච්ච අය. කොළඹට එහෙමත් නැත්නම් කොළඹින් ඈත ප්‍රදේශවල අද දවසේ රැකියාවල නිරත වුණත් අපට කවදාවත් අපට ඕන වෙලාවට ගමට යන්න නිවාඩුවක් නෑ. අපි දහසක් වැඩ රාජකාරි අස්සේ හිර වෙනවා. ගමේ ඉන්න අම්මා අසනීප වුණත් ඒ ඇසිල්ලෙම ගිහිල්ලා අම්මාව බලලා එන්න අපට විවේකයක් නෑ. මිනිස්සු ගාව කොයිතරම් මනුස්සකමක් තිබුණත් තමන්ගේ අම්මාව තාත්තාව බලලා එන්න විවේකයක් නැති වුණාම ඒ මිනිස්සු හිතෙන් අඬනවාර අනන්තයි. එහෙම පුතෙක්ගේ වේදනාව ගැන තමයි අපි එදා කතා වුණේ. ඒ වේදනාව තමයි අවසානයේ මගේ පෑනෙන් ලියැවෙන්නේ. මාලකට ඒ දැනුන දේ මටත් දැනුණා. මට මගේ අම්මා වගේම තවත් බොහෝ අම්මලා ගැන මතක් වුණා. ඒ හැම අම්මා කෙනෙක් වෙනුවෙන් තමයි මම මේ ගීතය අකුරුවලට පෙරළුවේ. මේ පද ලියැවිලා අවුරුදු එකහාමාරක් විතර ඇති. අවසානයේ එය ගීතයක් වුණා. මාලකත් මමත් දෙන්නාම කැමැති වුණා ක්‍රිශාන්ත එරන්දක අයියාගේ ඒ නිවුණු හඬට. ඒ හඬ අපේ පද වලට උපරිම සාධාරණය ඉටුකළා කියන විශ්වාසය මට තියෙනවා.
“ලේ නහර පුරා කාසි දුවන කම්හල් පපුවේ
හදවතක් කොහෙද දුක අහන්න කඳුළක දෑසේ
මාත් එක්ක මං විතරයි මේ මහ නගරේ
මට එවන්න අම්මේ
උහුලන්න හිතක් ඔය වාගේ…”
නගරයේ තනි වුණ පුතෙකුට දැනෙන හැඟීම…
අන්න ඒ වගෙයි. මම ලියන්න උත්සාහ දැරුවේ මා වෙනුවෙන් පමණක්ම නොවෙයි…. එවන් අත්දැකීම ඇති සැවොම වෙනුවෙන්. සිය ගීතයේ අත්දැකීම පිළිබඳ සුගත් පවසන්නේ එවන් අදහසකි.
ඉනෝකා සමරවික්‍රම