Home » අනියම් පෙමක පැටලී දිවියෙන් සමුගත් රුවැත්තී

අනියම් පෙමක පැටලී දිවියෙන් සමුගත් රුවැත්තී

by thanushika
June 8, 2024 12:30 am 0 comment

මත්පැන් – මත්ද්‍රව්‍ය මේ ජන සමාජයේ ‘පවුල් සංස්ථාවට’ සිදුකර ඇති, සිදුකරගෙන යන විනාශය අතිවිශාලය. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින ඇතැම් දරු පවුල්වල ප්‍රධානියාගේ ක්‍රියා කලාපය නිසා අසරණ අහිංසක දරු පවුල් කොතරම් සංඛ්‍යාවක් මහමඟට වැටී ඇත්ද? කොතරම් සංඛ්‍යාවක් සදාකල් දුක් විඳිණු ඇත්ද? කුඩා දරුවන් කොපමණ පිරිසකට මව – පියා අහිමි වී ඇත්ද? මත්ද්‍රව්‍ය ජනසමාජයකට සිදුකරන අපරාධය විනාශයේ තරම එයින්ම දැකගත හැකිය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බොහෝ දරු පවුල්වල ප්‍රධානියා මේ වන විට සිටින්නේ මහඋළුගෙදරය. එහෙමත් නැත්නම් රෝහලක හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලය. ඒ අයගේ අඹුදරුවන් ගෙවන්නේ අපා දුකකි. ඒ අතරින් ඇතැම් දූ දරුවන්ට පාසල් ගමන පවා එපා වන තත්ත්වයට පැමිණ ඇත්තේ ‘ළඟම යාළුවන්ටවත්’ මුහුණදී ගත නොහැකි නිසාය.

මතට ඇබ්බැහිවී සිටින ඇතැම් පුද්ගලයන් සමාජයේ ‘හොඳ’ යැයි සම්මත තනතුරු දරන අයද වන බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. එහෙත් මතට ඇබ්බැහිවූ පුද්ගලයාට ඒ කිසිවක් අවශ්‍ය නොවේ. කොටින්ම කීවොත් දරුවන්ගේ බිරියගේ ආදරය පවා අවශ්‍ය නැත. අවවාද අනුශාසනා ඔවුනට වධයකි. ගම්පහ දිසාවේ පළාත් පාලන ආයතනයක නියෝජ්‍ය සභාපති තනතුරක් කලක් හෙබවූ පුද්ගලයකු පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟය. ඔහුගේ කතාව ද ඛේදජනක එකකි. ප්‍රදේශයකට ප්‍රධාන තනතුරක් දරන අතරේ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මේ පුද්ගලයා අන්තිමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට ද හුරුපුරුදු විය. මේ හේතුව නිසාම පවුල් ජීවිතයට ද තිත තබන මේ පුද්ගලයා ලොකු මුදලකට නිවසක් කුලියට ගෙන එහි ජීවත් වුණේ තනිවමය. ඒ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා තමාට ‘නිදහස’ ලබා ගැනීම සඳහාය. එහෙත් අන්තිමේදී ඔහුට සිදු වූයේ හිරේ විලංගුවේ ලගින්නටය.

මත්ද්‍රව්‍ය නිසා ‘පවුල් සංස්ථාවටද’ සිදුවී ඇති හානිය, අලාභය, අපකීර්තිය හොඳින්ම පෙන්වන අනූවේදනීය කතාවක් පසුගියදා වාර්තා විය. ඒ හෝමාගම පොලිසියෙනි. මේ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

හෝමාගම හිරිපිටිය, බෝගහවිල පාරේ සුවිසල් නිවසක කිසියම් පුද්ගලයෙක් තනියම වාසය කළේය. ඔහු වෘත්තියෙන් වාහන අමතර කොටස් අලෙවි කරන අයෙකි. ඔහුට ඒ සඳහා ව්‍යාපාරික ස්ථානයක් ද තිබිණි. මේ ව්‍යාපාරිකයා හොඳ පවුල් ජීවිතයක් ගත කළේය.

පසුගිය කාලයේ මේ ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අතර එය ඔහුගේ පවුල් ජීවිතයට ද දැඩිව බලපෑවේය. කවුරුත් දෙන අවවාද උපදෙස් ද නොරිස්සූ ව්‍යාපාරිකයා තමාගේ කටයුතු රිසි සේ සිදුකරගෙන ගියේය.

මේ අතර ඔහු සිය ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු සඳහා සේවිකාවක් බඳවා ගත්තේය. කලක් යද්දී මේ ව්‍යාපාරිකයා සහ අලුත් සේවිකාව අතර අනියම් සම්බන්ධයක් හට ගත්තේය. එය නතර කිරීමට කිසිවකුට නොහැකි විය.

මේ සම්බන්ධය ව්‍යාපාරිකයාගේ පවුල් ජීවිතයට ද තදින් බලපෑවේය. ඔහුගේ බිරිය ද මේ නිසා කම්පාවට පත් වූවාය. මේ ‘අවුලේ’ තීරණාත්මක මොහොත වන්නේ ඇය නිවෙසින් පිටවී යාමයි.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය පානය කරන ව්‍යාපාරිකයා තමන්ගේ අලුත් පෙම්වතිය වන වාහන අමතර කොටස් අලෙවිහලේ සේවිකාවට ද අයිස් මත්ද්‍රව්‍ය පානය හුරුපුරුදු කළාය. පසුව දෙදෙනාම එකට එකතුවී අයිස් පානයට ද හුරුපුරුදු වූහ.

තමාගේ ජීවිතය මේ නිසාම අවසන් වේයැයි මේ කාන්තාව මොහොතකටවත් සිතන්නට නැත. හාම්පුතා තමාව ‘අසම්මත ප්‍රේමයකට’ කොටුකරගෙන සිටින අතරේ ඉතා නරක පුරුද්දක් ද තමාට හුරුපුරුදු කර දී ඇතැයි ඇය කිසි විටෙක සිතන්නට නැත.

ව්‍යාපාරිකයා මේ වනවිට තනිවම සිටින නිවසට මේ කාන්තාව සහ තවත් පුද්ගලයකු පැමිණෙන්නේ පසුගිය දිනෙකය. මත්ද්‍රව්‍ය සාදය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.

මේ ගැන ව්‍යාපාරිකයාගේ බිරියට ද දැනගැනීමට ලැබෙන්නේ ඔය අතරය. ඇය ඒ ගැන හෝමාගම මූලස්ථාන පොලිසියට දැනුම් දෙන්නේ අදාළ නිවසේ තම සැමියා සමඟ කාන්තාවක් සහ තවත් පිරිමි අයකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බවය.

තමන් ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව ව්‍යාපාරිකයා දැනගන්නේ ඉන් පසුවය. ඉන් කලබලයට පත් සේවිකාව නිවෙසින් පලා යාමට තැත් කරන්නට ඇත්තේ පොලිස් අත්අඩංගුවෙන් බේරීම සඳහා වුවද ඇය ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගය ඇගේ දිවි තොර කිරීමට සමත් විය.

පොලිසියෙන් බේරී පලා යාම සඳහා මේ කාන්තාව නිවසේ උඩුමහලෙන් බිමට පනින්නේ ක්ෂණිකව ගත් තීරණයක් නිසාය. එහෙත් ඇය ඇද වැටෙන්නේ ඒ අසල තාප්පය මත අනාරක්ෂිත ලෙස සවිකර තිබූ යකඩ කූරූ මතටය. ඇගේ උදරයට ඉන් බරපතළ හානි සිදුවිය.

පොලිසිය මේ ස්ථානයට එන්නේ ඒ මොහොතේය. පොලිසිය එහි යන විට බරපතළ තුවාල ලැබූ කත කම්බි කූරුවල එල්ලී සිටියාය. පොලිස් නිලධාරින් ක්ෂණිකව ක්‍රියාත්මක වී සුවසැරිය ගිලන් රිය එහි ගෙන්වා බරපතළ තුවාල ලැබ සිටි කත එහි නංවා රෝහලට යවන්නේ ඒ මොහොතේය. හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කත ජීවිතක්ෂයට පත්වන්නේ ඉන් පසුවය.

එම නිවෙසේ සිටි ව්‍යාපාරිකයා සහ සෙසු පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ සිදුකරන ලද විමර්ශනවලින් පසුවය. මේ දෙදෙනා හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද සෙසු පුද්ගලයා ගංජා භාවිත කර ඇති බවද හෙළි විය. මේ සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරින් ද පැමිණ විද්‍යාත්මක පරීක්ෂණය සිදුකරන ලද අතර හෝමාගම මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලදි.

මියගිය කාන්තාවගේ දේහය පිළිබඳව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ මිය ගිය කාන්තාව 22 හැවිරිදිය. ඇය පාදුක්ක බෝපේ කුරුන්දනිය පාරේ පදිංචිකාරියකි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division