සොරකම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවලට ඇතැම් කාන්තාවන්ගේ දායකත්වයේද යම් ප්‍රවණතාවක් ඇති බව යුක්තිය මෙහෙයුමේදී සිදු කරන ලද විමර්ශනවලදී හෙළි විය. සොරකම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු තරම්ය.
මේ ආකාරයට කාන්තාවන්ගේ සංවිධානාත්මක සොර කල්ලි කීපයක කටයුතු සම්බන්ධයෙන්ද මාධ්‍ය පසුගියදා වාර්ත කර තිබිණි. ජැන්ඩියට හැඳ පැලඳගෙන සුපිරි වෙළඳසැල්වලට ගොස් ඒවායේ බඩු සොරාගෙන තමන්ගේ ඇඳුම් අතර සඟවාගෙන පලායන කල්ලියක් ගැන සමාජයේ වැඩිපුර කතාබහක් ඇති විය.
මගීන් ලෙසින් බස්, දුම්රියවල ගමන් කරමින් මගීන් සතු මුදල් පසුම්බි, ජංගම දුරකතන පොකට් ගසන මගීන් සමඟ බොරුවට මිතුරුවී සිසිල් බීම පානය කිරීමට එම මගීන් පොළඹවාගෙන එම පානයට විෂ සහිත යම් දේවල් එකතුකර මඟියාට සිහිමූර්ජා වූ පසු ඔහු – ඇය සතු මිල මුදල් සොරකම් කරගෙන යන කාන්තාවන්ද ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම් ගැන ද පොලිසිය පසුගිය කාලයේ දීර්ඝ විමර්ශන සිදු කළ බව රහසක් නොවේ.
ජැන්ඩියට හැඳ පැළඳගෙන දුර ගමන් බස්රථවලට ගොඩවී එහි ගමන් කරන මගීන් අතරට ගොස් බොරු තදබදයක් පෙන්වා ඒ අතරේදී මගින් සතු මිල මුදල් පසුම්බි, ජංගම දුරකතන, මගී කාන්තා අත්බෑග්වල ඇති මුදල්, රන් ආභරණ, සොරකම් කරන සංවිධානාත්මක කාන්තා කල්ලියක සිවුදෙනෙකු පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ කණ්ඩායමේ සුවිශේෂි ගති ලක්ෂණය වූයේ බසයේදී තමන්ගේ ‘ඉලක්කය’ සම්පූර්ණ කරගත් පසු ප්‍රවේශපත්‍ර ගත් ස්ථානය දක්වා නොගොස් ඉතාම ඉක්මනින් ආසන්නම මගී නැවතුමෙන් බැස ඉතා ඉක්මනට කිසියම් ස්ථානයකට පලා යාමයි. අනුරාධපුරේදී එලෙස පොලිසියට කොටු වූ සංවිධානාත්මක කාන්තා බස් මගී සොර කල්ලිය සිදු කරන ලද සොරකම්වලට ඉතා සමානව සොරකම් සිදු කරන කාන්තා බස් මගී සොර කල්ලියක සාමාජිකාවන් සිවුදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට කන්තලේ මූලස්ථාන පොලිස් නිලධාරීන්ට හැකි විය.
එම කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
හම්බන්තොට සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබුණු මගී බසයක ගමන් කළ මවක් සහ තරුණ දියණිය ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ කන්තලේටය. මේ බසය හම්බන්තොට සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබුණේ රාත්‍රී කාලයේය. බසයට ගොඩ වූ මවට සහ දියණියට වෙන වෙනම ආසනවල වාඩිවීමට ඉඩකඩ සැලසුණේ බසයේ මගීන් වැඩිපුර සිටි නිසාය. ගමන රාත්‍රී කාලයේ බැවින් දියණිය සහ මව තීරණය කරන්නේ ඔවුන් පැළඳ සිටි රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රන් මාලය සහ වළල්ල ගලවා ආරක්ෂිතව අත්බෑගයක දැමීමටය. දියණිය ඒවා මවගේ අත්බෑගයේ ඇතුළත සාක්කුවකට දැම්මාය. මව අත්බෑගය තමන් සන්තකයේ තබා ගත්තාය.
ත්‍රිකුණාමලය බසය දඹුල්ලට පැමිණෙන්නේ හිමිදිරියේය. දඹුල්ල නගරයෙන් ඊට ගොඩවන්නේ සාරි සහ ගවුම්වලින් සැරසුණු වැදගත් පෙනුමක් ඇති කාන්තාවෝ සිවුදෙනෙකි. මේ අතරින් සාරියකින් සැරසුණු කාන්තාව රන් ආභරණ සහිත අත්බෑගය රැගෙන ගමන් කරන මව අසලින් වාඩි වූවාය. අලුයම් කාලයේ මවට නින්ද යන්නේ දීර්ඝ ගමන නිසාය. කන්තලේ නගරයේදී මව අවදි වූවාය. මව සහ දියණිය බසයෙන් බැසීමට නියමිතව තිබුණේ ඊට කිලෝමීටර් එකහමාරක් පමණ ඈතින් ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි 91 කණුව ප්‍රදේශයේදීය. බසය 91 කණුව අසලට ළඟා විය.
මව සහ දියණිය 91 කණුව අසලින් බසයෙන් බැස යන්නේ රන් ආභරණ සහිත අත්බෑගයද සුරක්ෂිතව තබාගෙනය. මේ අතර ත්‍රිකුණාමලය බලා යාමට ප්‍රවේශපත්‍ර ගත් කතුන් සිවුදෙනාද කඩිමුඩියේම බසයේ සීනුව නාද කර බසයෙන් බසින්නේ කන්තලේ මංසන්ධියේදීය.
දඹුල්ලෙන් බසයට ගොඩවී ත්‍රිකුණාමලයට ටිකට් ගත් මේ කතුන් සිවුදෙනා හදිසියේම ත්‍රිකුණාමල ගමන නවත්වා කන්තලෙන් බැසීම ගැන යම් සැකයක් ඇති වූ නිසා බසයේ කොන්දොස්තර ඒ පිළිබඳව රියැදුරු දැනුම්වත් කරන්නේ බසය ත්‍රිකුණාමලය බලා ධාවනය වන අතරතුරේදීය.
මේ අතර නිවෙසට ගිය මව සහ දියණිය අත්බෑගයේ දැමු රන් ආභරණ එළියට ගැනීමට සැරසෙද්දී ඒවා එහි නැති බව දැන හිස ගිනිගෙන දුවගෙන එන්නේ කන්තලේ පොලිසියටය. ඒ වන විටත් මවට තමා ළඟ වාඩිවී සිටි කාන්තාව ගැන සැකයක් ඇති වී තිබිණි.
මව සහ දියණියගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් විය. කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. එල්. වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එන්.ජේ.බී. නවරත්න ඇතුළු කණ්ඩායමක් ඒ මොහොතේම කන්තලේ නගරයට යන්නේ සැකකාරියන් සොයා ගැනීම සඳහාය. පොලිසිය මේ ගැන සොයා බලද්දී කන්තලේ රෝහල අසල සැක කටයුතු කාන්තාවන් සිවුදෙනෙකු සිටින බවට ලද තොරතුරු අනුව පොලිස් කණ්ඩායම එහි යන්නේ ක්ෂණිකවය. එහෙත් මේ කාන්තාවන් සිවුදෙනා හැඳ පැළඳ සිටින ආකාරය පැමිණිලි කළ මව සහ දියණිය සඳහන් කළ ඒවා නොවුවද පොලිස් නිලධාරීන් මේ කතුන් සිවුදෙනා එතැන සිටියදී මව සහ දියණිය එම ස්ථානයට ගෙන්වා ගන්නේ ඒ මොහොතේමය. එතැනට ආ මව සැකකාර කතුන් සිවුදෙනා හඳුනාගන්නේ ඉන් අනතුරුවය.
පොලිසිය විසින් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන්ගෙන් ප්‍රශ්න කරද්දී මවගේ අත්බෑගයෙන් සොරා ගන්නා ලද රන් මාලය සහ වළල්ල සොයා ගැනීමට හැකි විය. මේ කතුන් රන් ආභරණ සොරා ගැනීමෙන් පසු බසයෙන් බැස කන්තලේ රෝහලේ වැසිකිළියට ගොස් ඇඳුම් මාරු කරගෙන ඇති බවද හෙළි විය.
සැකකාරියන් පුත්තලම, වෙප්පමඩු ප්‍රදේශයේ පදිංචිකාරියෝය. ඔවුන් 24, 29, 30, 40 වයස්වල පසුවන අය වෙති. සැකකාරියන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. එල්. වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති එම්.එන්.ජේ.බී. නවරත්න ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
ඡායාරූප – ප්‍රියාන් මලින්ද
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමූහ
දීපාල් සමරසේකර